Sunday, May 27, 2012

ග්‍රැෆික් බුවාගේ මොඩ් මණමාලි

මේ කතාවෙ කතානායක හාදයා ග්‍රැෆික් ඩිසයිනර් ( පරිඝණක ආශ්‍රයෙන් කරන චිත්‍ර/පිංතූර වැනි නිර්මානාත්මක දේ කරන ) කෙනෙක්. මිනිහට හැම දේම නියම පිළිවෙලට තියෙන්න ඕනා. පුංචි ඇදයක්, පලුද්දක්, වෙනසක් වුනත් හොඳින් පේන උකුසු ඇස් දෙකක් තමා මිනිහට තියෙන්නෙ. මිනිහගෙ රැකියාවට මේ සුවිශේෂ හැකියාව බොහොම වටිනවා. මිනිහ හදපු පරිඝණක පිටු/චිත්‍ර සැකැස්මක කිසිම වරදක් කියන්න බැහැ. මිනිහ හදපු දෙයක් දැක්ක ගමන් හඳුනගන්න පුලුවන් තරමටම මේ හැකියාව විශේෂයි.

රැකියාවට කොහොම වුනත් මිනිහගේ මේ හැකියාව මිනිහටම කරදරයක් වෙන වෙලාවලුත් තිබුනා. ලෝකෙ තියෙන බොහොම දේ ඉතින් සර්ව සම්පූර්ණ කලාත්මක දෙවල් නෙවෙයිනෙ. ඔන්න ඔහොම අසම්පූර්ණ, කලාත්මක නැති දේ මිනිහට ඇලජික් වගේ. දැක්කම පලු දානවා. ඔය හේතුව නිසාම මිනිහට ලේසියෙන් කෙල්ලෙක් වත් හිතට අල්ලන්නෙ නෑ. පව් අහිංසකයා, මිනිහගෙ හැකියාව නිසාම හිත හදාගන්න බැරිව ළතවෙවී හිටපු දවස් අනන්තවත් ඇති.

 
දවසක් මිනිහා අපිට කිව්වා, "මචං මම හෙට මනමාලියක් බලන්න යනවා, ෆෝන් එකෙන් වත් පොටෝ එකක් අරන් එන්නම්", කියලා. බුවාගෙ හැටි දන්න නිසා අපිත් කැමැත්තෙන් හිටියා කෙල්ලව බලන්න. මොකද මූට හිතට අල්ලනවා කියන්නෙ අනිවාර්යයෙන් පට්ටම ලස්සන කෙල්ලෙක් නෙ. තවත් දෙයක්, මේකා පින්තූර වල කොලිටිය ගැන උනන්දු නිසාම පාවිච්චි කලෙත් හොඳම කැමරාවක් තියෙන ෆෝන් එකක්. අපි ඒ දවස්වල ඒකට කිව්වෙ 'ෆෝන් කැමරාවක් නෙවෙයි, කැමරා ෆෝන්' එකක් කියල. ඉතින් ඕකෙන් ගන්න පින්තූරත් අපි ලඟ තිබ්බ ලඩි ෆෝන් වලින් ගන්න ඒව වගේ නොවෙයි, හොඳ පැහැදිලි
යි.

ඊලඟට බුවා මුණගැහිච්ච දවසක ෆෝන් එකෙ තිබිල පෙන්නුව ගෑනු ළමයෙකුගෙ පින්තූරයක්. කෙල්ලගෙ වරදක් නැහැ පෙනුමෙන් නම්. නමුත් ඒක අපේ ස්ටෑන්ඩඩ් එක නෙ. බුවාට නම් කෙල්ලව හිතට මදි වගේ. ඔය පිංතූරෙ බලබල මොනවද මුමුන මුමුන හිටියා. ටික දවසකට පස්සෙ වෙන යාලුවෙක් එක්ක කතා කර කර ඉන්න ගමන් ග්‍රැෆික් බුවාගෙ මනමාලි ගැන කතාවත් ඇදිලා ආවා.

"මචං අරූට සිරාම ලස්සන කෙල්ලෙක් සෙට් වෙලා නේද?"
"ඈ... ඒ කවද්ද?"
"මේ ළඟදි ඌ කෙල්ලෙක් බලන්න ගියෙ බං, ඇයි අපිටත් කිව්වෙ, මෙදා පාර නම් පට්ටම ලස්සන කෙල්ලෙක් බං හම්බ වෙලා
තියෙන්නෙ, මම හිතන්නෙ ඌ ඔය කෙල්ලව බඳී"
"මේ ළඟදි බලන්න ගිය කෙල්ල? ඌ කියපු විදිහට නම් බඳින එකක් නෑ"
"පලයං බං යන්න, ඒ කෙල්ලගෙ මූණ නිකන් වාත්තු කරලා වගේ බං එක කුරුලෑවක්, තිතක් නෑ. පොටෝ එකට ඔච්චරම ලස්සන නම් ඇත්තට මාර ලස්සන ඇති.
ඒ කෙල්ල බැන්දෙ නැත්තං මම බඳිනවා, අම්මප..."

මේ කතාවෙන් පස්සෙ මං හිතුවෙ අපේ ග්‍රැෆික් බුවා තවත් මණමාලියක් බලන්න ගිහින් කියල මටත් නොකියම. පෞද්ගලික දෙයක් නිසා බුවා කිව්වොත් මිසක් මේ ගැන අහන්නත් බෑ. කොහොම වුනත් මේ කියන පින්තූරේ බලන්න මටත් පුදුම ආසාවක් ආව මේ ගැන කියූ මිත්‍රයාගේ විතරය නිසා. මේ ගැන හිතේ නෝට් එකක් දමාගත් මම හෙමිහිට වෙලාවක ග්‍රැෆික් බුවාගේ මේ ගැන ඇහුවම බුවා කිව්ව ඒ ගෑනු ළමයා ගැන අදහස අත්හැර දැම්ම කියල.


මම, මේ ගැන හාරවුස්සන්නට නොගියත්, මා හා කලින් කථාකල යහලුවා මේ විස්තරේ දැනගත්තම පුදුම වුනා. 
"යකෝ මූ වගේ පිංගුත්තරයෙක්, ඔච්චර ලස්සන කෙල්ලක් වත් මූට ලස්සනට පේන්නේ නැත්නම් මූගෙ ඇස් වල දෝසයක් ද කොහෙද. ඔහොම ඉඳපන් ඌට එපානම් මම යනවා ඔය කෙල්ලව බලන්න...". යහලුවා වැඩේ ගැන ෆුල් සීරියස්. 

පස්සෙ වෙලාවක යහලුවා ග්‍රැෆික් බුවාට හොඳටම බැනවැදී ගැහැණු ළමයාගේ වතගොතයි ෆොටෝ එකයි ඉල්ලගෙන තිබුන.

එහම ඉල්ලගත්තු ෆොටෝ එක යාලුවා මටත් පෙන්නුව. "බලපන් මූට මේ වගේ කෙල්ලෙක්වත් ලස්සන නැත්නම් ඉතින්, කෙල්ලො ඒරොප්පෙන් ගේන්න වෙයි."

පින්තූරෙ දැක්කම මාව හොල්මන් වෙලා ගියා. ඒක මට ග්‍රැෆික් බුවා කලින් පෙන්නපු පිංතූරෙම තමා. නමුත් එහෙමත් නෙවෙයි වගේ. යහලුවා කිව්වා වගේම මුහුණ වාත්තු කලා සේ රන්වන් පාටයි, කම්මුල් ලා රෝස පාටයි. කලින් දුටු පින්තූරෙ තිබුනු කුරුලෑ කලැල් මොකුත් මේ පින්තූරෙ නෑ. ඇස් දෙකත් අමුතුම ලස්සනකින් බබලනවා වගේ. මේ පිංතූරෙ දැක්කම ඕන කොල්ලෙක් පිස්සු වැටෙනවා තමා. හැබැයි හිටියේ කලින් පින්තූරෙ ඉඳපු කෙනාම තමා. දැන් ලස්සන වෙලා. පට්ටම ලස්සන වෙලා.

මොකක් හරි විනාසයක් වෙන්නට යන බව ඉවෙන් වගේ තේරුනු නිසා මම මිතුරාට මොකුත් නොකියා ග්‍රැෆික් බුවා සොයා ගියෙමි. "උඹ අරූට දුන්නෙ මට පෙන්නපු ෆොටෝ එක නෙවෙයි නේද?"
  

ටිකක් වෙලා කල්පනා කළ ග්‍රැෆික් බුවාගේ මූන එක්වරම වෙනස් විය. එහි වූයේ අමතක වූ යමක් සිහි වූ බැල්මකි. "මේ.. මට ඒ කෙල්ලව ඇල්ලුවෙ නෑ නෙ මචං. පස්සෙ මම පොඩ්ඩක් එයාගෙ ෆොටෝ එක ටච් (touch) කලා කම්පියුටරේට දාලා, නිකන් කොහොම වෙයිද බලන්න. ඔරිජිනල් එක මගෙ අතින් මැකිච්ච නිසා එඩිට් (edit) කරපු එක තමා මම අරූට දුන්නෙ."

දෙයියෝ සාක්කි. ග්‍රැෆික් බුවා මුල්  පින්තූරය පරිඝණකයට ඇතුලත්කොට වෙනස් කොට ඇත. ( අද වනතෙක් ඔහු එසේ කලේ ඇයි දැයි මට හිතාගත නොහැක ). වෙනස් කරන ලද පින්තූරය සැබෑ ගහැණු ළමයාට වඩා ඉතාම ලස්සනය. ග්‍රැෆික් බුවාගේ වැඩක් නිසා අඩුපාඩු නැත. මේ පින්තූරය දැක අපේ යහලුවා හිතලා තියෙන්න කෙල්ල ඇත්තටම පින්තූරයේ ඉන්නා තරම්ම ලස්සන බවයි.
 
යහලුවාට ඇත්ත එළිකරලා සිදුවෙන්න යන විනාසය නවත්තන්නට බාර වුනේ මට (ඇයි මටම මෙහෙම වෙන්නේ). මං විස්තරේ කිව්වම යාලුවා පුදුම වෙලා ඇස් දෙක දොට්ට දාගෙන අහගෙන හිටියා. මුලින් මේ කතාව විස්වාස කලේම නෑ. ඒත් පින්තූරෙ ආයෙත් පෙන්නලා ටිකක් තාර්කික විදියට විස්තර කලාම යාලුව කතාව පිළිගත්ත. කොහොම වුනත් මිනිහ ග්‍රැෆික් බුවාගෙ වැඩ ගැන දන්නව. කොහොමෙන් කොහොමන් හරි යාලුව පස්සෙ දවසක ග්‍රැෆික් බුවාට පැත්තකට කතා කරලා හොඳ ලුණු ඇඹුල් ඇති වචනයෙන් ස්තුති කර තිබුන.




10 comments:

  1. අපරාදේ කෑල්ල බලන්න යන්න දෙන්න තිබ්බේ

    ReplyDelete
    Replies
    1. එහෙනම් එක විනාසයක් වෙන්නේ. පව්නේ අසරණ කොල්ලො. ලස්සන කෙල්ලක් බැඳගන්න තියෙන ආසාවනේ.

      Delete
  2. අපරදෙනෙ ඌට යන්න දෙන්න තිබ්බෙ.. කවුද දන්නෙ රියල් මූණටත් ඌ කැමතිද කියලා,..

    ReplyDelete
    Replies
    1. කොහොම වුනත් බොරු කරලා යවන එක නරකයි නෙ. අනික ඔය යාලුවා ටිකක් වසවර්තියා, අපිටත් ගහයි ඌට කැත බයිටක් දුන්න කියල.

      Delete
  3. දැන් ඔය ග්‍රැෆික් කොල්ලා ඉටිරුපයක් වගේ ද?කිසිම අඩුපාඩුවක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. හපොයි නෑ. මට නම් ඌ මැටි රූපයක් වගේ. :) නමුත් ගෑනු ලමයින්ට ලස්සනට පේනවද දන්නේ නෑ.

      ග්‍රැෆික් බුවාට තියෙන්නේ අමුතුම ප්‍රශ්ණයක්. මූට ඕනවට වඩා ඇද කුද පේනවා. ඕකයි අවුල. මම දන්න ග්‍රැෆික් පොරවල් කීපදෙනකුටම ඔය ලෙඩේ තියෙනවා. ස්වභාවදර්මයෙ සර්ව සම්පූර්ණ දේවල් නෑ කියන එක පිලිගන්න බැරුව ඇති. ඒකම වෙන්න ඇති අර ෆොටෝ එකත් එඩිට් කරලා බල බල හිටියෙ. පව්.

      Delete
  4. නිකමටවගේ කෙල්ලව බලන්නයැව්වනම් මොකද?
    (ෆොටෝ එකපස්සෙ පෙන්නන්න තිබුනනෙ)

    ReplyDelete
    Replies
    1. පව් වැඩේනෙ, බොරුවක් කරන එක ඔයවගේ දේකදි. අනික අර අහිංසක කෙල්ල ඔක්කොටම වඩා පව්, අපේ වසවර්තියා එතන පරළ වුනොත් එහෙම.

      Delete
  5. ඒ කෙල්ලව බලන්න යැව්වනම් යාළුව කිව්ව වගේ ඒකිව බදින්නත් තිබුන...

    ReplyDelete
    Replies
    1. හම්මෝ අර වසවර්තියා අපිට පත්තු බඳින්න වැඩ සෙට් කරයි.

      Delete

බ්ලොග් එකක් සිංහලෙන් ලියන එකේ අමාරුව දන්නේ සිංහලෙන් බ්ලොග් ලියපු එකෙක්ම තමා. එහෙව් අමාරුවෙන් ලියන බ්ලොග් එක කියවල ඒකට කමෙන්ටුවක් දාන්නෙ එහෙමත් කරුණාවන්ත ඇත්තෙක් තමා. මට ඒ හැම කමෙන්ටුවක්ම රටක් වටිනව...