Saturday, April 28, 2012

කණ පැලෙන ධනාත්මක චින්තනේ

පාසල් කාලෙ මිත්‍රයෙකුට ලැබිච්ච ටිකක් කන රිදෙන අත්දැකීමක් තමයි මේ කියන්න යන්නෙ;

ඔය කාලෙන් කාලෙට එනවනෙ එක එක විදිහෙ චින්තන. කාලයක් තිබුන විශ්ව විද්‍යාලවල කොල්ලො කෙල්ලො අතරෙ 'සර්ව අසුභවාදී' චින්තනේ. සර්ව අසුභවාදීන්ට ලෝකෙ තියෙන තරමක් දේවල් අසුභයි, නරකයි, වැඩක් නෑ. ඕකට පිළිතුරු දෙන්න ගිහින් හැදුනා 'සර්ව සුභවාදය'. සර්ව සුභවාදය මොඩ් වෙලා හැදුනා ධනාත්මක චින්තනේ (සිංහලෙන් කිව්වොත් 'පොසිටිව් තින්කින්'). 


ධනාත්මක චින්තනේ හඳුන්වා දීමෙදි නොයෙක් කල්ට් වලින් ලොකු සේවයක් වුනා මතකයි. කොහොම හරි, පාසැලේ අපේ කොලු කාණ්ඩෙ එකෙකුත් ඔය මොකක් හරි කල්ට් එකකින් තෙලක් වැදිච්ච එකෙක් වතුර බීපු වීදුරුවකින්ම බීලා, මූටත් හැදුනා පොසිට්ව් තින්කින් උණක්.

දැන් මූ ෆුල් ධනාත්මක පොරක් වෙලා. ලෝකෙ තියෙන තරමක් දෙවල් මූට හොඳයි. කාක්කෙක් ඇඟට වර්චස් පිඬක් දැම්මත් ඒකත් මූට පේන්නෙ හොඳ දෙයක් විදිහට. මුලින් මුලින් මේක අපේ කොලු රෑනට විනෝදයට හේතු උනත්, ටික කලක් යනකොට මේ පොසිටිව් උණ අපිට පොසිටිව් ඇණයක් වෙන්න ගත්තා.

ටික කළකින්ම මේ පොසිටිව් උණ කාරයා තැනක් නොතැනක් නැතුව හැම දේටම 'ඉතින් හොඳයි නෙ' කියලා පටන් අරන් මොනව හරි කෙස් පැලෙන තර්කයක් ගේනවා වෙච්ච දේ හොඳයි කියන්න. තැනක් නොතැනක් නැතුව කරන මේ වැඩේ නිසා අපේ කතානයක 'පොසිටිව් බුවා', කීප සැරයක් කොල්ලන්ගෙන්ම ගුටි කන්නත් ගියා, හොඳට බැනුම් ඇහුවා. ඒත් මේකාගෙ මේ 'පොසිටිව් උණ' එන්න එන්නම වැඩි වුනා මිසක් අඩුවක් වුනේ නැහැ. කොල්ලෙක්ට කෙල්ලෙක් බූට් එක තිබ්බත් මූට ඒකත් පොසිටිව්. ඉස්කෝලෙ ඇරෙන වෙලාවටම වැහැලා හොඳටම තෙමිලා අමතර පන්තිවලට යන්න වුනත් ඒකත් පොසිට්ව්. හැම වෙඩින් එකම මූට පොසිටිව්. කිසිම අසුභ, නරක, පාඩුවක් වුනු කතාවක් මූ ඉන්න තැනක කියන්න බැහැ.

කාලයක් ගියත් පොසිටිව් බුවාගේ මේ පොසිටිව් උණ නම් බැස්සෙම නෑ, වැඩි උනා මිසක්. කට්ටිය පාසල් නිවාඩු කාලෙදි යාලුවන්ගෙ ගෙවල් වලට යනව එනවා. (කාලෙ කනව ඇරෙන්න කරන්න වෙන වැඩකුත් නැහැනෙ.) කොලු රෑනෙන් කීප දෙනෙක් පොසිට්ව් බුවාගෙ ගෙදර ගිහින් තෙයෙනවා ඔහොම දවසක. ගිහින් ටික වෙලාවකින් පොසිට්ව් බුවාගෙ නෑදෑ පිරිසක් ඇවිත් තියෙනවා ගෙදර. පොසිටිව් බුවාගෙ කාමරේට ඇහෙනවා දැන් ආපු නෑදෑයින් අමුත්තන්ගෙ කාමරයෙ කතා කරන කතාබහ. ආපු නෑදෑයින්ගෙ කතාබහෙන් මේ පිරිස ගොවිතැන් කරන උදවිය බවයි තේරිලා තියෙන්නෙ. නෑදෑයින් ආගිය තොරතුරු කතාබහ කරන අතරෙ කෙනෙක් කියල තෙයෙනවා,
"බලන්නකො අයියෙ මෙදාපාර නියඟෙ නිසා කුඹුරු ඔක්කොම වගේ පාලු උනා නෙ" කියල.

ඊලඟට පොසිටිව් බුවාගෙ කාමරේ හිටි කොල්ලන්ට සුපුරුදු පරිදි පොසිටිව් බුවාගෙ "ඉතින් ඒක හොඳයි නෙ,..." කියල පටන්ගන්න පොසිටිව් තින්කින් ලයින් එක ඇහිල තෙයෙනව. හැබයි කියන්න පටන්ගත්තු දේ ඉවර වෙලා තෙයෙන්නෙ "චටාස්..." කියන සද්දෙන් පස්සෙ මොකක් හරි "දඩබඩාස්" ගාල පෙරළගෙන වැටෙන සද්දෙකින්.

මොහොතක් නිහඬ වුනු අමුත්න්ගෙ කාමරෙන් ඊට පස්සෙ ඇහිල තියෙන්නෙ පොසිටිව් බුවාගෙ තාත්තා මූට බනින සද්දෙයි; "ඈ බොල බූරු තඩියො කොහොමද නියඟෙ හොඳ වෙන්නෙ..." කියල පටන් ගත්තු සද්ද පූජාව මිනිත්තු කීපයක්ම ඇහිල තෙයෙනව. පොසිටිව් බුවා කාමරේට එනකොට බුවාගෙ මූනෙ පැත්තක් දම්පාට වෙලා, ඉදිමිලා. ගියපු කොල්ලො කීපදෙනා අමාරුවෙන් හිනාව නවත්තගෙන මාරුවෙලා ඇවිත් තියෙනවා. 

සිද්ධිය අනිත් කොලු රෑනට කියද්දි හොඳට ලුණු ඇඹුල් එහෙමත් එකතු වෙනවනෙ. ඉතින් කතාව ගියෙ අර කොලු කාන්ඩෙට අමුත්තන්ගෙ කාමරෙන් ඇහුනු සද්දෙ 'චටාස්...', සද්දයකට වඩා "ඩිශුම්" (අර පරන සිංහල චිත්‍රපටිවල තියෙන වෙඩි සද්දෙ වගේ) සද්දයක් කියලයි. සද්දෙ 'චටාස්' වුනත් 'ඩිශුම්' වුනත් පොසිටිව් බුවා ඊට පස්සෙ පොස්ටිව් ටෝක් නෙවේ, කණට ඇහෙන්න කතා කලේ නැහැ. 

මොන චින්තනේ වුනත්, කොච්චර පොසිට්ව් වුනත් හැම තැනටම එකවගේ හොඳ නෑ.

Saturday, April 21, 2012

ඇගෙ මුව සඳ වතකි :( සොරි වුනු අපෙ බුවෙකි

අද මතක පොතේ ලියවෙන්නෙ පිටරටකදි මම කලින් වැඩකරපු කන්තෝරුවක හාදයෙකුට වෙච්ච ඇබැද්දියක්.

මේ කියන ආයතනෙට කොල්ලන්ව බඳවගෙන පිටරට කොම්පැනි වල වැඩට යවන එක තමා සිද්ධවුනේ. ඔය විදිහට මාවත් මේ කතාවෙ කතානායක හාදයාවත් ජපානෙට යැව්ව. යන්න කලින් අපි ලංකාවෙ ඔෆිස් එකේ වැඩකරන කාලෙ ජපන් රටෙන් ආපු ශිෂ්‍යාවක් ඒ ඔෆිස් එකේ ටික කලක් වැඩ කලා පුහුනු පාඨමාලාවක කොටසක් විදිහට. මම රට යන දවස්වල කතානායක හාදයව හොඳින් දැනගෙන හිටියෙ නෑ. කොහොම හරි මේ ගොයියත් ජපානෙ වැඩට යන්න කැමති වෙලා තියෙන්නෙ අර ගෑනු ළමයව ආයෙත් මුනගැහෙන්න පුළුවන් වෙයි කියන විශ්වාසෙට. ඒ විස්තරේ මම දැනගත්තෙත් ජපානෙට ගියාට පස්සෙ.

අපට වැඩකරන්න වුනෙ ටෝකියෝ අගනුවර තියෙන පුංචි ඔෆිස් එකක. දැන් අපේ බුවා එහෙ ගිය දවසෙ ඉඳලම කල්පනාව අර ගෑනු ළමයව මුනගැහෙන්නෙ කොහොමද කියල. අන්තිමේ මම කිව්ව, 'බලා ඉන්නෙ නැතුව ඊ-මේල් එකක් දාපන් දැන් මම ඉන්නෙ ටෝකියෝ වල කියල'. මූත් ඉතින් ඇඹරි ඇඹරි ඉඳල දවසක් හොරෙන්ම ඊ-මේල් එකක් යවල. මට ඒ ගැන කිව්වෙ කෙල්ල උත්තර එව්වටත් පස්සෙ.

කොහොම කොහොම හරි, ජයසිරි මංගලම් කියල, බුවා කෙල්ල එක්ක ඊමේල් එහෙම හුවමාරු කරගෙන ඊට පස්සෙ දවසක ශොපිං එහෙමත් ගිහින් තිබුනා. දැන් මූට තියෙන ප්‍රශ්නෙ තමයි "කොහොමද කෙල්ලට ලව් කරන බව කියන්නෙ?" කියන එක. තවත් කීප දවසක් කෙල්ල එක්ක රවුම් ගහලා ආවට පස්සෙ මූට මාර ගටක් ඇවිත්. මූ අපිට ටෝක්ස් දෙන්න ගත්තෙ ජපානෙ පුරවැසිභාවය හම්බ වුනා වගේ. බුවා ඉතින් බයිට් ලෝකයයි.

තවත් දවසක මූ කෙල්ල එක්ක කොහෙද හිහින් ආව. හැබයි මිනිහ ආපු වෙලාවෙ ඉඳලා හිතේ අප්සෙට් එකේ ඉන්නව කියල පෙනුන නිසා අපිත් විමසිල්ලෙන් හිටිය මූ මොනවහරි අන්තරාවක් කරගත්තොත් කියල. අපිට මොකුත් නොකිව්වත් මූ විස්තරේ එහේ ඔෆිස් එකේ හිටපු ජපන් බුවෙකුට කියල තිබුන. මිනිහගෙන් තමා අපි ප්‍රශ්නෙට මුල දැනගන්න ලැබුනෙ. කතාව මෙහෙමයි: 

කෙල්ලට ට්‍රයි කර කර උන්නු අපේ බුවා දවසක් හෙමිහිට හෙමිහිට තටමලා තටමලා, කොහොමහරි කෙල්ලගෙ මූඩ් එක හදාගෙන තියෙනව වචනෙ දාන්න. ඔය මූඩ් ෆික්ස් කෙරිල්ලෙ එක ස්ටෙප් එකක් විදිහට බුවා කෙල්ලගෙ ලස්සන වර්ණනා කරල. ඔය මොන මොනවහරි කෙල්ලො ආසකරන විදිහෙ මෝඩ කතා ටිකක් කිය කිය ඉන්න ගමන් මූ කියල "ඔයාගෙ මූන හඳ වගේ ලස්සනයි" කියල. ( හරියටම කියපු දේ දන්නෙ නෑ. හැබයි කියල තියෙන්නේ ඔයවගේ දෙයක් ). මෙච්චර වෙලා මූත් එක්ක තොඳොල් වෙවී හිටපු කෙල්ල මේක ඇහුනු හමන් ෆුල් අප්සෙට් ගහල. මොකක් හින්ද මෙහෙම උනාද කියල අපේ බුවාට නිනව්වක් නෑ. ඇයි ඉතින් ලංකාවෙ විදිහට නම් හඳ කියන්නෙ ලස්සන දෙයක් නෙ. කොහොම වුනත් මේ කතාවෙන් පස්සෙ කෙල්ලගෙ මූඩ් ඔක්කොම කනපිට ගහල. එදා හමුවීමත් ඉක්මනින්ම ඉවර වෙලා.

අපේ බුවා එදා එපාර්ට්මන්ට් එකට ඇවිත් කල්පනා කර කර ඉඳල තියෙන්නෙ ඕකයි. කොහොම වුනත් මූ අපිට මේ ගැන කිව්වෙ නැත්තෙ අපි මූව බයිට් එකට ගන්න නිසා වෙන්න ඇති. මූ හොරෙන්ම ජපන් බුවාට විස්තරේ කිව්වම ජපන් බුවා තෙරුම් කරල දීල තියෙනව කරපු වැරැද්ද. 

ඔය උපමා රූපක කියන දෙවල් රටින් රටට, ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවනෙ. ඒවා අහන කෙනෙක් තෙරුම් ගන්නෙ තමන්ගෙ ප්‍රදේශයේ ඒ සඳහා දීපු අර්ථයෙන්. ජපානෙ විදිහට 'හඳ වගේ' කියන එකේ තෙරුම හුඟක් විශාල, පළල් දෙයක් කියන එක. ඒ විදිහට බැලුවම අපේ බුවා ජපන් නංගිට කියල තියෙන දේ ඒ ළමයා තෙරුම් ගන්න ඇත්තෙ; 'ඔයාගෙ මූණ පොල්බෑමූක් වගේ ලස්සනයි' කියල.

ඉතින් කෙල්ලට මල නොපැන තියෙයි ද?

Saturday, April 7, 2012

නොබී ගිහින්... 2

මීට කලින් අපි බීල ගිහින් වෙච්චි සිද්ධි ටිකකුයි නොබී ගිහින් වෙච්චි සිද්ධි ටිකකුයි ඇහුවනෙ, මෙන්න තවත් නොබීපු හාදයෙකුට වෙච්චි දෙයක්;

මේ කියන හාදයා ... සරසවියෙ ඉගෙන ගත්තෙ. කියන්න ඒ හැටි දොසක් නැති අහිංසක පහේ කොලුවෙක්. ජීවිතේකට රහමෙර පොදක් වත් කටේ තියලා නැති ( අර ටී ටෝටලර් කියන්නෙ ), බහුතරයක් ශ්‍රී ලාංකික තරුණයින් වගේම බොහොම ගුණ යහපත්, අහිංසක, නිවුනු ගති පැවතුම් ඇති හොඳ ළමෙයෙක්.

'ඔක්කොම හොඳයි, මුක්කම නරකයි' කිව්වා වගේ මේ හාදයගෙත් තිබුනා පොඩි ප්‍රශ්නයක්. මිනිහා සාමාන්‍යයෙන් කතා කරන විදිහ ටිකක් අමුතුයි. හිටගෙන ඉන්න, ඇවිදින තාලෙ වුනත් ටිකක් විතර වෙනස්. වෙනස් කිව්වෙ මේ විදිහයි; මිනිහ කතා කරන කොට සමහර ව්‍යංජන ශබ්ද ටිකක් වැඩියෙන් ඇදෙනවා, ස්වර වුනත් අසාමාන්‍ය බවකින් උච්චාරණය කරන්න මිනිහ පුරුදු වෙලා හිටියා. හරිම අමුතුයි. මිනිහට කෙලින් හිටගෙන ඉඳලා පුරුද්දක් ඇත්තෙම නෑ. කොහෙට හරි හේත්තුවක් දාලාමයි ඉන්නෙ, පුලුවන් හැම වෙලාවෙම. ඇවිදිල්ල මේ ඔක්කොටම වඩා අන්තයි. මිනිහා ඇවිදින්නෙ හඳ මත ඇවිදින්න ගිහින් ලිස්සලා වැටිච්ච ගගනගාමියෙක් වගේ. (හරියටම කියනවා නම් 'සිම්පල් හාර්මොනික් මෝශන් එකකට මූන් වෝක් එකක් දැම්මා වගේ).

ඉතින් ඔය සරසවියෙන් පිටවෙන අනෙකුත් උපාධිධාරීන් වගේ මේ හාදයත් ඉංජිනේරු අංශයෙ තමයි රැකියාව කලේ. සාමන්‍යයෙන් ඉංජිනේරු වෘත්තියෙ ඉන්න හැමෝටම වගේ මෙයාටත් රෑ වෙනකන් වැඩකරන්න වෙනවා. ඔහොම දවසක මෙයත් පාන්දර ගෙදර එන්න පිටත් වුනා. කවුරුත් දන්නවනෙ කොළඹ කාර්යාලවල වැඩකරන බොහොම දෙනෙක් සිකුරාදාට 'සෙට්' වෙන විත්තිය, රාළහමිලා කවදා නැතත් සිකුරාදට නම් කොළඹ තැන් තැන් වල ඉන්නවමයි බීල වාහනේ එලවගෙන ගෙදර යන ගොයියල ටික අල්ලගන්න.

ඉතින් ගෙදර යන මේ හාදයාවත් පොලිසියෙන් නවත්තගත්තා. රාළහාමි කෙනෙක් වාහනේ ඇතුලට ඔලුව දැම්මා.

"මහත්තයා කොහෙද යන්නෙ?". 

අපේ හාදයත් සුපුරුදු අමුතු කතා විලාසෙන්ම "ගෙදර... යනවා රාළාමි...".

රාළහමිටත් හරි සතුටුයි. එකෙක් අහුවුනා කියලා. තවත් ටිකක් සැක හැර දැනගන්න වෙන්න ඇති, රාළහමි කිව්වලු; "හා... මහත්තයා පොඩ්ඩක් බැහැල එන්නකො".

අපේ හාදයත් වාහනෙන් බැහැලා සුපුරුදු අමුතු ගමන් විලාසෙන් ම ඇවිදගෙන ගියා, ගිහින් හෙත්තු වුනා ලඟ තිබුනු වාහනේකට. රළහාමිගේ ඉහේ මලක් පිපුනා වගේ. අද අතටම අහුවුනානෙ බීල වාහනේ එළවපු එකෙක්. පස්සෙ අපේ හාදයා කියපු විදිහට රාළහමි රැකියාවට ටිකක් අලුත් පොරක් කියලලු මිනිහට හිතුනෙ. මොකද, රාළහාමිට ඕනැ උනාලු නීතිය අකුරටම කරන්න.

දැන් රාළහාමි අහනවලු; 'මහත්තය බීල නේද?'

හාදයා: 'රාළාමි.. මම බිව්වොත් ඉතින් වතුර තමයි'.

රාළහාමි: 'ඒක තමයි නේද, මහත්තයා හේත්තු නොවී ඉන්නකො, ටිකක්'.
 

හාදයා: 'හරි..අරි අවුලක් නෑ...', කියලා ඔන්න දැන් වාහනෙන් එහාට වෙලා ඉන්නවා.නමුත් ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියලා මිනිහා ටික වෙලාවකින් ආයෙමත් හේත්තුව දැම්මා. රාළහාමිත් බලා ඉඳලා 'මහත්තයා අපි යමුකො පොලිසියට' කියලා, අපේ හාදයාවත් පොලිසියට එක්ක ගියා තව සැකකරුවො ටිකක් එක්ක.

අපේ හාදයා කොච්චර කිව්වත් රාළහාමි පිළිගන්න කැමති වුනේම නැහැ 'බීලා නැති විත්තිය'. ඇයි ඉතින් මේකා වැනි වැනී, හේත්තු වෙවී ඇවිදින තාලෙටයි වෙරිකාරයෙක් වගේ කතා විලාසෙටයි රාළහාමි රැවටිලා. කරන්නම දෙයක් නැති නිසා අපේ හාදයත් ගියා පොලිස් ස්ථානෙට රාළහාමි එක්ක. ලංකාවෙ පොලීසිය සැකකරුවන්ට විරුද්ධව සාක්ෂි ගොඩනඟන්නෙ Breathalyzer Test එකක් කරලයි. ලංකාවෙ පොලිසිය සුලභව භාවිතා කරන්නෙ මේ සඳහාම නිපදවපු බැලුන් විශේෂයක්. සැකකරුට මේ බැලුමක් පුම්බන්න දෙනවා, ප්‍රශ්වාස වාතයේ තියෙන ඇල්කොහොල් ප්‍රමාණය වැඩිනම් බැලුමේ පාට වෙනස් වෙනවා.

කොහොම හරි අපේ හාදයා දීපු බැලුම පිම්බුවා. බැලුමේ පාට වෙනස් නොවෙච්චි නිසා දැන් ඔප්පු වුනා මේ බීපු කෙනෙක් නෙවෙයි කියලා. හපොයි, රාළහාමිගෙ මූණ මළගෙයක් වගේ. 'බීල නැත්නම් ඇයි මහත්තයො මේක පිම්බුවෙ?'

'ඉතින් රාළාමි... මම කිව්වනේ බිව්වෙ...ම නෑ කියලා, ඕක පිම්බුවේ රාළාමි...කියපු නිස්සානේ...'

'බලන්න මහත්තයා කරපු වැඩෙන් මේකෙ ගාන මගේ පඩියෙන් නෙ කැපෙන්නේ,' කියලා රාළහාමි බැලුම පෙන්නුවලු. අපේ හාදයත් බැලුම රාළහාමිගෙන් ඉල්ලගෙන ඒක දිහා බලලා, 'ශහ්, අපරාදෙ නේද?' කියලා ඒකත් අරන් යන්න හැදුවලු.

රාළහාමි: 'මහත්තයා ඔය බැලුම දීල යන්න'.

හාදයා: 'මේ...ක මම පිම්බුව එකනෙ, මම මේ...ක අරන් යනවා'. බුවාට
බැලුම ගෙදර ගෙනිහින් වැඩකරන හැටි බලන්න ආසා හිතිලා...

රාළහාමි: 'හපොයි මහත්තයා අපි ඕවා ආපහු බාර දෙන්න ඕනා' කියල රාළහමි වදෙන් පොරෙන් බැලුම උදුරගෙන තියෙනවා.

අදටත් අර හාදයාට දුකයි එයා පුම්බපු බැලුම
රාළහාමි තියාගත්තට.

Thursday, April 5, 2012

පාර දිගට එළි බල බල මහ පාරේ හරි කලබල

ඔන්න සිංහල අවුරුදු කාලෙත් ලංවීගෙන එනවනෙ. පාරෙ වාහන එවන හැමෝටම දැනෙනවා ඇති පාරෙ තියෙන වාහන ප්‍රමානය වැඩිවෙලා කියල. අපේ පාර්ලිමේන්තුව ළඟකදි අළුත් පනතක් සම්මතකරගත්තනෙ ඩ්‍රයිවර්ලට ලකුණු දෙන ක්‍රමයකුත් එක්ක. මේ නීතියට අනුව ඩ්‍රයිවර් කෙනෙකුට කරන වරදට අනුව ලකුණු ලැබෙනව. අවුරුදු දෙකක් ඇතුළතදි ලකුණු 24කට වඩා එකතු වුනොත් අවුරුද්දකට රියදුරු බළපත්‍රය අත්හිටවනව. ඒ නීතිය ගැන විස්තර මෙතනින් කියවන්න. (Adobe Acrobat Document)

මේ විදිහට නීති තද වෙනකොට කාටත් අපහසුතා ඇතිවෙනව තමයි, හැබයි මිනිස්සු උන්මත්තකයො වගේ පාරෙ යකඩ ගොඩවල් එහෙමෙහෙ කරල අනතුරු සිදුකරන හරි, අන් අයට අනතුරක් සිදුවෙන තැනට වැඩකරන එක නවත්තන්න වෙන කරන්න දෙයක් නෑ. අපි බලා ඉන්නවා මේ නීතිය හැමෝටම එක විදිහට සාධාරණව ක්‍රියාත්මක වේවි කියල.

මේ පෝස්ට් එකෙන්ම මම කියල දාන්නම් මම දැක්ක උන්මත්තක ගණයට වැටෙන චර්යාවන් කීපයක්. ඔබටත් පුළුවන් කමෙන්ටුවකින් ඔබේ වටිනා අදහස මේකටම එක් කරන්න.

1. හෝන් එක නෑහී යෑම: මේ ප්‍රශ්නෙ සමහර ඩ්‍රයිවර්ලට වගේම පදිකයන්ටත් තියෙනව. කොච්චර හෝන් කළත් මේ ජාතියෙ අය නෙවෙයි ගානකට වත් ගන්නෙ. ඔහේ යනවා හරක් වගේ. පුදුමෙ තියෙන්නෙ හරකෙකුට හෝන් කලොත් ඌ අඩුගානෙ ඔලුව හරවලා වත් බලනවා. ඒත් මේ ජාතියෙ මිනිස්සු නෙවෙයි එහෙමවත් කරන්නෙ. කෙනෙක් හෝන් එක ගහල කරන්නෙ ඉල්ලීමක්. මෙයාල, මෙයාලගෙ සාමාන්‍ය ජීවිතේදි වගෙම පාරෙදිත් බිහිරො වගේ ඔහෙ යනව. කාගෙවත් ඉල්ලීමකට කන් දෙන්න තරම් උවමනවක් නැති බත් කන ගවයන්. දවසක් මගෙ වාහනේ ගිය වැඩිහිටි මහත්මයෙක් මේ කාරනේ දැකල කිව්වෙ 'පුතා, මුන් පොඩිකාලෙ බීල තියෙන්නෙ මව්කිරි නෙවෙයි, එළකිරි. බීපු කිරිවල ගති ලක්ශණ තමයි ඔය ඉස්මතු වෙන්නෙ' කියල. අම්මප ඇත්ත.

2. හෝන් එකෙන් එලවන්නෝ: මේ ගොල්ලන්ට හෝන් එක නොගහ ඉන්න බෑ. ඉස්සරහ තියෙන වාහනේ හෝන් එකෙන් තල්ලු කරන්න හදනවා වගේ හෝන් ගහනව. මෙයාල හෝන් ගහල කරන්නෙ ඉල්ලීමකටත් වඩා 'ගේම ඉල්ලීමක්'.

3. හිතේ ඇතත් පත නැති අය: මෙයාල හිතන් ඉන්නවා තමන් එලවන වාහනේ අඩි 8ක් වත් පළල අඩි 20ක් වත් දිග එකක් කියල. ඉතින් පොඩ්ඩක් වත් අයින් කරන්නෙ නෑ. පාරෙ ලේන් එකකින් තවත් එකකට මාරු වෙන්න අඩුගානෙ මීටර් 300-400ක් වත් ඕනෙ. පුදුමෙ කියන්නෙ මේ මානසිකත්වය ඇත්තටම බොහෝවිට තියෙන්නෙ පුංචි වාහන එලවන ඩ්‍රයිවර්ලට.

4. හිතේ ඇතත් කරගන්න බැරි අය: මේ වගේ අය ලේසියෙන්ම හඳුනගන්න පුළුවන්. මේ ජාතියෙ අය ඉස්සරහින් තියෙන වානේ ඕවටේක් කරන්න වගේ පාරෙ දකුණු පැත්තෙ නැත්නම් පාරෙ මැද්දෙ යනව. හැබැයි මලාට ඕවටේක් කරන්නෙ නම් නෑ. හිතේ තියෙනව කරන්න, හැබැයි කරගන්න බෑ. බොහෝවිට කොහේ හරි පටු පාරක ඇදෙන බර වාහනයක් පස්සෙ මේ වගේ අය යන්නෙ. මෙයාලගෙ මේ ගතිය නිසා නිතරම විශාල වාහන පෝලිම් හැදෙනව. ඇයි, වෙනකාටවත් ඉස්සර කරගන්න තියෙන ඉඩ මෙයාල අහුරගෙන යනවනෙ. හිතේ ලොකුවට තිබ්බට කරගන්න බෑ, පව්.

5. වහනේ අළුත්, අනේ මට බයයි: මේ ජාතියෙ අය අළුත් වාහනයක් ළඟදි ගත්ත අය. අර 'හිතේ ඇතත් පත නැති අය' වගේ මේගොල්ලොත් අයින් කරන්නේ නෑ වාහනේ කීයටවත්. පාර මැද්දෙ බොහොම හෙමින් ලතාවට තමයි එලවන්නෙ. මූදෙන් ගොඩදාපු මාලුවා වගේ පපුව ගැහෙනව ඇති බයේ. ඔහොම බයේ යනවට වඩා නරකද වාහනේ විකුනලා ටැක්සියක යන එක? 

6. මගමරුවා: මේ කියන ටයිප් එකේ කට්ටිය ඔය ලොරි, බස්, ටිපර් වගේ ලොකු වාහන එලවගෙන තමා යන්නෙ. මේ කාලණ්නින්ට පාරෙ යන අනිත් වාහන, මිනිස්සු ගැන වගේ වගක් නෑ. ඔහේ යනවා පාර පුරාම. පුලුවන්නම් වමෙන්, නැත්නම් දකුනෙන්, එහෙමත් බැරිනම් පදික වේදිකාව උඩින් හරි යන්න මෙයාලට පුලුවන්. විශාලම වගේම වැඩිම අනතුරක් කරන්න පුලුවන් මෙයාලට නීති නෑ. බලාගෙන ගියහම වාහනේ ලොකු වෙන තරමට ඒක එලවන එකාගෙ මොලේ පුංචි වෙන එක නෙ අභාහ්‍යය. ගාලුපාරෙ වාහනය එලවගෙන යද්දි මේ වගේ පාරෙ වැරදි පැත්තෙන් වේගයෙන් ආපු මගමරුවකුගෙන් බේරෙන්න මට පුළුවන් වුනේ වානේ පාරෙන් එළියට දාලා. මම බලා ඉන්නේ ඔය නීතිය ක්‍රියාත්මක වුනහම වත් මේ වගේ මාරයො පාරෙන් ඉවත්වේවි කියල.

7. අල තොරන්නෝ: මේ කට්ටිය වැඩිපුරම එලි බහින්නෙ සති අන්තවල. පාරෙ යන ගමන්ම කඩේ ගෝනියෙ තියෙන අල තෝරනව. නැත්නම් මාලු ලෑල්ලෙ ඉන්න කුම්බලාවො අළුත්ද කියල බලනව. මුන් ආත්මාර්ථය ඊලඟ ලෙවල් එකට අරගෙන යන ජාතියක්.

8. හීනමානයට රෝද ලැබීම: මේ කට්ටිය කැමති නෑ කිසිකෙනෙක් තමන්ගෙ වානේ ඉස්සර කරලා යනවා නම්. ඇම්බියුලන්ස් එකක් වුනත් එන්න ඕනෙ මේ කට්ටියට පිටිපස්සෙන්. තමන්ගෙ හිතේ තියෙන පුහු හීනමානය නිසාත් කුඩුකේඩු කම නිසාත් මෙයාල අනිත් මිනිස්සුන්ට පුදුම වදයක්. 
මෙයාල කරන තවත් දෙයක් තමා වෙනත් වහනයක් අමාරුවෙන් ඉස්සර කරන්න හැදුවොත් හෙමීට තමන්ගෙ වෙගයත් ඉස්සර කරන වාහනයට සාපේක්ෂව වැඩි කරන එක. ඉතින් ඉස්සර කරන්න හදපු මිනිහ අමාරුවේ. පාරම බදු අරගෙන තමන් විතරක්ම යන්න හිතන් ඉන්න මොවුන් සමාජයට පිළිලයක්. 

9. මොන්ගලෙන් එලවන්නෝ: මේ කට්ටිය පාරෙ වාහනය එලෙව්වත් හිත තියෙන්නෙ වෙන ලෝකෙක, නැත්තම් ෆෝන් එක කනේ. මේ හැසිරීම රටාව ඉතාම ලේසියෙන් හඳුනගන්න පුලුවන්. මොකද, මේ කට්ටිය එලවන හැටි දැක්කම හිතෙන්නේ මන්ද බුද්ධිකයෙක් වාහනේ එලවනවා කියලයි. ඇයි අවධානයක් නෑනේ පාරෙ වෙන්නෙ මොකද කියල. මම දැකල තියෙන සමහර මේ වගේ උදවිය වාහනේ එලවගෙන යන්නෙ නින්දෙන්ද කියල සැක හිතෙන තරම්ම විකාර විදිහට තමා එලවන්නෙ. මේ කට්ටිය අනතුරක් නොවී යන්නෙ මෙයාලගෙ දක්ෂ කමකට වඩා පාරෙ වාහන එලවන අනෙත් රියදුරන්ගෙ දක්ෂකම නිසා.

10. වාමාංශික පැදි: මෝටර් සයිකල් වල නැගල දූවිලි දුම් කාගෙන අව්වෙ යන එක දුකක් තමයි. මෝටර් සයිකල් වමෙන් ඉස්ස කරද්දි හොරෙන් හොරෙන් එන්නෙ නැතුව, අඩුගානෙ හෝන් එක ගහල ඉස්සර කරන වාහනේ රියදුරාට තමන් එන බව දැනුම්දීල එන්න.

ඔන්න ඕවා තමා මට පෙනිච්ච stereotypes. තව තියෙනවා නම් කමෙන්ටුවකින් අපිත් එක්ක බෙදාහදා ගන්න.

ලංකවෙ මිනිස්සු තමන්ගෙ ආත්මාර්ථකාමී කම අත් හැරල පාරෙ යන අන් අයටත් ඉඩක් දීල අවධානෙන් රිය පදවන්න හිතට ගනීවි කියන බලාපොරොත්තුවෙන් තමා මේ ටික ලිව්වෙ.

Sunday, April 1, 2012

හිතේ අමාරුවට බීලා ගේට්ටුවක් නිසා මාට්ටුවුනු හැටි

මේ කතාවට මගෙ අතිජාත මිත්‍රයො දෙන්නෙක්ම සම්බන්ධයි. එකෙක් 'භානුක' , අනෙකාගෙ නම 'ප්‍රශාන්ත'. නම් දෙකම ඇත්ත නම් නෙවෙයි, හැබයි හුඟක්ම ළඟින් යන නම් දෙකක් දුන්නේ ඕං.

පාසල් කාලෙ ඉඳන්ම අපේ කොලු නඩේ හිටපු රොමැන්ටික් බුවා තමා 'භානුක'. මූ කොහෙන් හරි මොකක් හරි පටලැවිල්ලක් හදා ගන්නවා කවුරු හරි කෙල්ලෙක් එක්ක. ඉතින් අපි යනවා කතාවෙ වීරයගෙ සපෝටර්ලා හැටියට. ඔහොම මාරක ගමන් කීපෙකුත් ගිහින් තියෙනවා. පූරුවෙ පිනකට ගිය කාටවත් අනතුරක් වුනේ නෑ. භානුකයා ෆුල් රොමැන්ටික්, සත්‍යප්‍රේමයේ බෘංගරාජ වගේ තමා කොයි කෙල්ලට වුනත් ලව් කලේ. සමහර කෙල්ලො දන්නෙත් නෑ මූ ලව්ද කියලා, හැබයි මූ බොක්කෙ ඉඳන් හක්කට යනකම්ම අනුලෝම ප්‍රතිලෝම වශයෙන්ම ලව්. 

එක දවසක් ප්‍රශාන්තගෙ ගෙදර ගිහින් කතා කර කර ඉන්නකොට භානුකයා ආව මූන නිකන් ශ්‍රමදානෙ වගේ කරගෙන. "බෑ බං මට මාර හිතට අමාරුයි අද නම් බොන්න ඕන". විස්තර අහනකොට මූ මනෝමෙන් ලව් කරපු කෙල්ලෙක්ට බෝයිෆ්‍රරෙන්ඩ් කෙනෙක් ඉන්නව කියන ආරංචිය ලැබිල. බුවා හරිම අප්සෙට් එකේ ඉන්නෙ. මට මතක හැටියට මේක තමා පලවෙනි පාරට හිතේ අමාරුවට බිව්ව සැරේ. භානුක මීට කලින් බීලා තියෙනවා කියලා මට මතකයක් නෑ. හිතේ අමාරුවට බොන එක මම අනුමත නොකලත් ( මම කවදත් හොඳ බබා නෙ ), අනිත් දෙන්නගෙ ඇවටිල්ලට මාත් අන්තිමෙ කැමති වුනා ලඟම තියෙන ට්වුමෙ බාර් එකට සෙට් වෙන්න. 

තුන්දෙනා එක්ක බයිසිකල් දෙකක නැගගෙන ගියා බාර් එකට. ඔය කාලෙ අතේ සල්ලි බාගෙ එහෙමත් වැඩිපුර නැහැ. රස්සාවල් කරන්න පටන්ගත් අලුතම වගේ. ඉතින් තුන් දෙනාගෙම අතේ තිබ්බ සල්ලි ටික දාල ගත්ත බියර් බෝතල් දෙකයි මොනවහරි බයිට් ටිකකුයි (බයිට් ගැන මතක නෑ). කොහොම හරි බියර් බෝතල් දෙක මේසෙ උඩින් ගෙනැල්ල තිබ්බ විතරයි, භානුක වීදුරුව පුරවලා බියර් දාගෙන ගුඩු ගුඩු ගාල බීල දැම්ම. මෙහෙම බෝතල් බාගයක් විතර එක හුස්මට බීල මූ කියපි, "හම්මෝ මටනම් ඇති බන්, මේව තිත්තයි නෙ. මට නම් වෙරිද කොහෙද දැන්". මූ බීපු බියර් ටික තාම උගුරෙන් පහලට ගියෙ නෑ, මූට වෙරි ව්හෙන්නෙ කොහොමද? මම කතාකරන්න හදනකොටම ප්‍රශාන්ත මාව නවත්තලා "හරි උඹට ඇති නම් වෙන බොන්න එපා" කියල කිව්ව. මොකක් හරි මම නොදන්න දෙයක් තියෙනවා කියල හිතිච්ච හින්ද මමත් කටවහගත්ත. ඉතුරු බියර් විසිකරන්නයැ. මායි ප්‍රශාන්තයි, ( බොන්න කෙනෙක් නැති නිසාම ) භානුකයගෙ හිතේ අමාරුව අඩුවෙන්න කියල ඒ ටික බීල දැම්ම. 

ගෙදර යන්න කියල තුන්දෙනාම පාරට බැස්සම භානුක කියනව "මචං මට වෙරිද  කොහෙද අපි පොඩ්ඩක් ඉඳල යමුද?" කියල. බියර් ඇබින්දක් බීල වෙරි වෙන්නෙ කොහොමද කියල අහන්න හදනකොටම, ප්‍රශාන්ත මාව ආයෙත් නවත්තල, "හරි මචං උඹට වෙරි බහින්නත් එක්ක අපි බයිසිකල් තල්ලු කරගෙන හෙමින් ඇවිදගෙන යමු", කිව්ව. පස්සෙ ප්‍රශාන්ත මට හෙමිහිට කිව්වෙ; "මචං, මූට බීල පුරුදු නෑ. කලින් දවසකත් බීල පිස්සු කෙළල තව පොඩ්ඩෙන් ගෙදරටත් මාට්ටු. ඒක නිසා අපි කොහොම හරි මූව shape කරගෙන ගෙදර ගිහින් දාමු".

විනාඩි පහලොවක් විතර ඇවිදලා, අන්තිමේදි භානුක වෙරි බැස්සයි කියල බයිසිකලේට නැඟගත්ත. මූ මටත් අඬගහනව ඒකටම නගින්න. "වරෙන් මම උඹවත් දාගෙන පදින්නම්". හම්මෝ, මට ඇතිවෙච පරාන බයක්. මූ හොඳින් ඉන්න වෙලාවටත් බයිසිකලේ හැම වලක, අගලක, ගලක, මුලක දාන, හප්පන එකේ දැන් මේ බීල වෙරිපිට ඉන්න වෙලාවෙ කොහෙ යයිද? හොඳ වෙලාවට ප්‍රශාන්තයා මගේ පිහිටට ආවෙ. "නෑ මායි මූයි, මේ බයික් එකේ එන්නම්".

කොහොම කොහොම හරි තුන්දෙනා පන බේරගෙන ගෙදර ආව. මුලින්ම අපි ගියෙ භානුක ව ගෙදරට ඇරලවන්න. ඇයි, මූට වෙරිලු නෙ. බලනකොට භානුකගෙ අම්ම ගෙයි ඉස්සරහ ඉන්නව. ගෙදර උදවිය මේ බොන පුරුද්ද දන්නෙ නැති නිසා කොහොම හරි අම්මව මඟහැරල ගෙට ගොඩවෙන්න තමයි භානුකයගෙ කල්පනාව. ප්‍රශාන්තයි මමයි කොහම හරි මූව කවර් කරන්න හිතාගෙන තුන්දෙනාම ගේට්ටුව ලඟ නතර වෙලා කතා කර කර ඉන්නව.

භානුකගෙ අම්ම හරිම සංවෙදී චරිතයක්. මම හිතන්නෙ අපි ගෙදරින් යනකොටම අම්මා දැනගන්න ඇති මේ නම් හොඳකට නෙවෙයි කියල. කොහොම වුනත් භානුකගෙ අම්ම ගෙයි දොරකඩට වෙලා බලාගෙන හිටිය. තුන්දෙනාම ඉතින් සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ බොහොම සාමාන්‍ය කතාබහක ( අපි හිතන් හිටියෙ අපිව පේන්නෙ එහෙමයි කියල ). දැන් රෑබෝවීගෙනත් එනව.

කොහොමෙන් කොහොමෙන් හරි පැය කාලකට විතර පස්සෙ භානුකගෙ අම්ම ගෙට්ටුවෙ ඉබ්බව භානුකට ගෙනැත් දීල, "පුතා ඔයා ඇතුලට එනකොට ගේට්ටුව ලොක් කරගෙන එන්න" කියල ආයෙත් ගෙදර පැත්තට ඇවිදගෙන ගියා.

භානුක දැන් හොඳ සුවච කීකරු පුතා කියල අම්මට පේන්නත් එක්ක මූ 'හා හරි හරි අම්මි' කියල ඉබ්බා අතට ගත්ත ගමන්, ගෙට්ටුවට පිටින් ඉඳලා ගේට්ටුවට දැම්මෙ නැතෑ ඉබ්බා. ප්‍රශාන්තයි මමයි ගල් ගැහිලා බලා ඉන්නවා මො මේ වෙන්නෙ කියල. ගේට්ටුවට ඉබ්බ දාපු භානුක ඊලඟට කිසිම අමුත්තක් නොවුනා වගේ ගේට්ටුව දිගේ බඩගාලා ඒකට උඩින් පැනගත්තා. ප්‍රශාන්තටයි මටයි ඉබේම භානුකගෙ අම්මා දිහා බැලුන. අපි දෙන්න දිහාට විනිවිද යන රැවිල්ලකුත් එක්ක ඇය ගෙට ගියා. ප්‍රශාන්තයි මමයි දැනගත්ත පටි රෝල් තමයි කියල. ආයෙ භානුකගෙ අම්මට මූන දෙන්නෙ කොහොමද?

භානුක තවත් කතා කරන්න හැදුවත්, ප්‍රශාන්තයි මමයි 'අපි යන්නං මචං' කියලා එතනින් මාරු වුනේ ආයෙ කාලෙකට ඒ පැත්තෙ නොයන්න හිතාගෙන. මදෑ භානුකයගෙ හිතේ අමාරුවට ගෙදරට හොරෙන් බිව්වා.