Thursday, April 5, 2012

පාර දිගට එළි බල බල මහ පාරේ හරි කලබල

ඔන්න සිංහල අවුරුදු කාලෙත් ලංවීගෙන එනවනෙ. පාරෙ වාහන එවන හැමෝටම දැනෙනවා ඇති පාරෙ තියෙන වාහන ප්‍රමානය වැඩිවෙලා කියල. අපේ පාර්ලිමේන්තුව ළඟකදි අළුත් පනතක් සම්මතකරගත්තනෙ ඩ්‍රයිවර්ලට ලකුණු දෙන ක්‍රමයකුත් එක්ක. මේ නීතියට අනුව ඩ්‍රයිවර් කෙනෙකුට කරන වරදට අනුව ලකුණු ලැබෙනව. අවුරුදු දෙකක් ඇතුළතදි ලකුණු 24කට වඩා එකතු වුනොත් අවුරුද්දකට රියදුරු බළපත්‍රය අත්හිටවනව. ඒ නීතිය ගැන විස්තර මෙතනින් කියවන්න. (Adobe Acrobat Document)

මේ විදිහට නීති තද වෙනකොට කාටත් අපහසුතා ඇතිවෙනව තමයි, හැබයි මිනිස්සු උන්මත්තකයො වගේ පාරෙ යකඩ ගොඩවල් එහෙමෙහෙ කරල අනතුරු සිදුකරන හරි, අන් අයට අනතුරක් සිදුවෙන තැනට වැඩකරන එක නවත්තන්න වෙන කරන්න දෙයක් නෑ. අපි බලා ඉන්නවා මේ නීතිය හැමෝටම එක විදිහට සාධාරණව ක්‍රියාත්මක වේවි කියල.

මේ පෝස්ට් එකෙන්ම මම කියල දාන්නම් මම දැක්ක උන්මත්තක ගණයට වැටෙන චර්යාවන් කීපයක්. ඔබටත් පුළුවන් කමෙන්ටුවකින් ඔබේ වටිනා අදහස මේකටම එක් කරන්න.

1. හෝන් එක නෑහී යෑම: මේ ප්‍රශ්නෙ සමහර ඩ්‍රයිවර්ලට වගේම පදිකයන්ටත් තියෙනව. කොච්චර හෝන් කළත් මේ ජාතියෙ අය නෙවෙයි ගානකට වත් ගන්නෙ. ඔහේ යනවා හරක් වගේ. පුදුමෙ තියෙන්නෙ හරකෙකුට හෝන් කලොත් ඌ අඩුගානෙ ඔලුව හරවලා වත් බලනවා. ඒත් මේ ජාතියෙ මිනිස්සු නෙවෙයි එහෙමවත් කරන්නෙ. කෙනෙක් හෝන් එක ගහල කරන්නෙ ඉල්ලීමක්. මෙයාල, මෙයාලගෙ සාමාන්‍ය ජීවිතේදි වගෙම පාරෙදිත් බිහිරො වගේ ඔහෙ යනව. කාගෙවත් ඉල්ලීමකට කන් දෙන්න තරම් උවමනවක් නැති බත් කන ගවයන්. දවසක් මගෙ වාහනේ ගිය වැඩිහිටි මහත්මයෙක් මේ කාරනේ දැකල කිව්වෙ 'පුතා, මුන් පොඩිකාලෙ බීල තියෙන්නෙ මව්කිරි නෙවෙයි, එළකිරි. බීපු කිරිවල ගති ලක්ශණ තමයි ඔය ඉස්මතු වෙන්නෙ' කියල. අම්මප ඇත්ත.

2. හෝන් එකෙන් එලවන්නෝ: මේ ගොල්ලන්ට හෝන් එක නොගහ ඉන්න බෑ. ඉස්සරහ තියෙන වාහනේ හෝන් එකෙන් තල්ලු කරන්න හදනවා වගේ හෝන් ගහනව. මෙයාල හෝන් ගහල කරන්නෙ ඉල්ලීමකටත් වඩා 'ගේම ඉල්ලීමක්'.

3. හිතේ ඇතත් පත නැති අය: මෙයාල හිතන් ඉන්නවා තමන් එලවන වාහනේ අඩි 8ක් වත් පළල අඩි 20ක් වත් දිග එකක් කියල. ඉතින් පොඩ්ඩක් වත් අයින් කරන්නෙ නෑ. පාරෙ ලේන් එකකින් තවත් එකකට මාරු වෙන්න අඩුගානෙ මීටර් 300-400ක් වත් ඕනෙ. පුදුමෙ කියන්නෙ මේ මානසිකත්වය ඇත්තටම බොහෝවිට තියෙන්නෙ පුංචි වාහන එලවන ඩ්‍රයිවර්ලට.

4. හිතේ ඇතත් කරගන්න බැරි අය: මේ වගේ අය ලේසියෙන්ම හඳුනගන්න පුළුවන්. මේ ජාතියෙ අය ඉස්සරහින් තියෙන වානේ ඕවටේක් කරන්න වගේ පාරෙ දකුණු පැත්තෙ නැත්නම් පාරෙ මැද්දෙ යනව. හැබැයි මලාට ඕවටේක් කරන්නෙ නම් නෑ. හිතේ තියෙනව කරන්න, හැබැයි කරගන්න බෑ. බොහෝවිට කොහේ හරි පටු පාරක ඇදෙන බර වාහනයක් පස්සෙ මේ වගේ අය යන්නෙ. මෙයාලගෙ මේ ගතිය නිසා නිතරම විශාල වාහන පෝලිම් හැදෙනව. ඇයි, වෙනකාටවත් ඉස්සර කරගන්න තියෙන ඉඩ මෙයාල අහුරගෙන යනවනෙ. හිතේ ලොකුවට තිබ්බට කරගන්න බෑ, පව්.

5. වහනේ අළුත්, අනේ මට බයයි: මේ ජාතියෙ අය අළුත් වාහනයක් ළඟදි ගත්ත අය. අර 'හිතේ ඇතත් පත නැති අය' වගේ මේගොල්ලොත් අයින් කරන්නේ නෑ වාහනේ කීයටවත්. පාර මැද්දෙ බොහොම හෙමින් ලතාවට තමයි එලවන්නෙ. මූදෙන් ගොඩදාපු මාලුවා වගේ පපුව ගැහෙනව ඇති බයේ. ඔහොම බයේ යනවට වඩා නරකද වාහනේ විකුනලා ටැක්සියක යන එක? 

6. මගමරුවා: මේ කියන ටයිප් එකේ කට්ටිය ඔය ලොරි, බස්, ටිපර් වගේ ලොකු වාහන එලවගෙන තමා යන්නෙ. මේ කාලණ්නින්ට පාරෙ යන අනිත් වාහන, මිනිස්සු ගැන වගේ වගක් නෑ. ඔහේ යනවා පාර පුරාම. පුලුවන්නම් වමෙන්, නැත්නම් දකුනෙන්, එහෙමත් බැරිනම් පදික වේදිකාව උඩින් හරි යන්න මෙයාලට පුලුවන්. විශාලම වගේම වැඩිම අනතුරක් කරන්න පුලුවන් මෙයාලට නීති නෑ. බලාගෙන ගියහම වාහනේ ලොකු වෙන තරමට ඒක එලවන එකාගෙ මොලේ පුංචි වෙන එක නෙ අභාහ්‍යය. ගාලුපාරෙ වාහනය එලවගෙන යද්දි මේ වගේ පාරෙ වැරදි පැත්තෙන් වේගයෙන් ආපු මගමරුවකුගෙන් බේරෙන්න මට පුළුවන් වුනේ වානේ පාරෙන් එළියට දාලා. මම බලා ඉන්නේ ඔය නීතිය ක්‍රියාත්මක වුනහම වත් මේ වගේ මාරයො පාරෙන් ඉවත්වේවි කියල.

7. අල තොරන්නෝ: මේ කට්ටිය වැඩිපුරම එලි බහින්නෙ සති අන්තවල. පාරෙ යන ගමන්ම කඩේ ගෝනියෙ තියෙන අල තෝරනව. නැත්නම් මාලු ලෑල්ලෙ ඉන්න කුම්බලාවො අළුත්ද කියල බලනව. මුන් ආත්මාර්ථය ඊලඟ ලෙවල් එකට අරගෙන යන ජාතියක්.

8. හීනමානයට රෝද ලැබීම: මේ කට්ටිය කැමති නෑ කිසිකෙනෙක් තමන්ගෙ වානේ ඉස්සර කරලා යනවා නම්. ඇම්බියුලන්ස් එකක් වුනත් එන්න ඕනෙ මේ කට්ටියට පිටිපස්සෙන්. තමන්ගෙ හිතේ තියෙන පුහු හීනමානය නිසාත් කුඩුකේඩු කම නිසාත් මෙයාල අනිත් මිනිස්සුන්ට පුදුම වදයක්. 
මෙයාල කරන තවත් දෙයක් තමා වෙනත් වහනයක් අමාරුවෙන් ඉස්සර කරන්න හැදුවොත් හෙමීට තමන්ගෙ වෙගයත් ඉස්සර කරන වාහනයට සාපේක්ෂව වැඩි කරන එක. ඉතින් ඉස්සර කරන්න හදපු මිනිහ අමාරුවේ. පාරම බදු අරගෙන තමන් විතරක්ම යන්න හිතන් ඉන්න මොවුන් සමාජයට පිළිලයක්. 

9. මොන්ගලෙන් එලවන්නෝ: මේ කට්ටිය පාරෙ වාහනය එලෙව්වත් හිත තියෙන්නෙ වෙන ලෝකෙක, නැත්තම් ෆෝන් එක කනේ. මේ හැසිරීම රටාව ඉතාම ලේසියෙන් හඳුනගන්න පුලුවන්. මොකද, මේ කට්ටිය එලවන හැටි දැක්කම හිතෙන්නේ මන්ද බුද්ධිකයෙක් වාහනේ එලවනවා කියලයි. ඇයි අවධානයක් නෑනේ පාරෙ වෙන්නෙ මොකද කියල. මම දැකල තියෙන සමහර මේ වගේ උදවිය වාහනේ එලවගෙන යන්නෙ නින්දෙන්ද කියල සැක හිතෙන තරම්ම විකාර විදිහට තමා එලවන්නෙ. මේ කට්ටිය අනතුරක් නොවී යන්නෙ මෙයාලගෙ දක්ෂ කමකට වඩා පාරෙ වාහන එලවන අනෙත් රියදුරන්ගෙ දක්ෂකම නිසා.

10. වාමාංශික පැදි: මෝටර් සයිකල් වල නැගල දූවිලි දුම් කාගෙන අව්වෙ යන එක දුකක් තමයි. මෝටර් සයිකල් වමෙන් ඉස්ස කරද්දි හොරෙන් හොරෙන් එන්නෙ නැතුව, අඩුගානෙ හෝන් එක ගහල ඉස්සර කරන වාහනේ රියදුරාට තමන් එන බව දැනුම්දීල එන්න.

ඔන්න ඕවා තමා මට පෙනිච්ච stereotypes. තව තියෙනවා නම් කමෙන්ටුවකින් අපිත් එක්ක බෙදාහදා ගන්න.

ලංකවෙ මිනිස්සු තමන්ගෙ ආත්මාර්ථකාමී කම අත් හැරල පාරෙ යන අන් අයටත් ඉඩක් දීල අවධානෙන් රිය පදවන්න හිතට ගනීවි කියන බලාපොරොත්තුවෙන් තමා මේ ටික ලිව්වෙ.

9 comments:

  1. මචන් , මේකට දාන්ඩ ඕන තව සෙට් එකක් ඉන්නවා ....
    හයිබ්‍රිඩ් කාර් පදිනඋන්.
    මුන් සෙට් එකම පෙට්රෝල් ඉතුරු කරගන්ඩ යන්නෙම 40ට.
    පාගල යන්න ඕන තැනදී යන්නැතුව 40ට ලව් කර කර ගියාම තියන ට්‍රැෆික් තව වැදීවෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. කාර් එක අළුත් නිසා අයින් කරන්නත් හොරයි කියල මමත් දැකල තියෙනව. යන්නේත් නෑ අනුන්ට යන්න දෙන්නෙත් නෑ.

      Delete
  2. මගේ අම්මේ බං..මේකනං සම්මාන දෙන්න වටින පෝස්ටුවක්... පුළුවන්නං මේක ප්‍රින්‍ට් කරලා පාරේ යන එන රියදුරන්ට නොමිලේ බෙදා හරින්න ඕන..ඒ තරමට වටිනවා...

    මෙතනින් කිව්ව කාරණා දෙකක් ගැන මටත් පොඩි සම්බන්ධයක් තියේ..එකක් වමෙන් ඉස්සර කිරීම... ඒත් මංනං මතක ඇතිව හෝන් එක ගහලා පොඩ්ඩක් දන්නනවා..මොකද සමහරු ඔහේ පාර මැද තියං ගිහිං කවුරු හරි වමෙන් දානවා දැක්ක ගමන් ආයේ අයිනට කපන හින්දා... වමෙන් නොදා කොහොමද..එක දවසක් මං ගිරිදර ඉඳන් කිරිඳි වැලට එනකල් (කිලෝ මීටර් දහයකට වැඩියි) කොකාකෝලා ලොරි කාරයෙක් පස්සේ ඇවිත් බැරිම තැන කිරිඳිවැලදී දැම්මා වමෙන්..දාන කොටම කරුමෙට පොලිසියෙන් ඉස්සරහා... මාව නවත්තනකොටම අර ලොරියට පිටිපස්සේ තියං ආව තවත් ලොරියක් නැවැත්තුවා මොනවා හරි දේකට.. මං බයික් එක නවත්තලා බිමට අඩිය තියන ගමන්ම මට කිය උනේ අර හු*න්නා කොට කොට පාර මැද්දෙ තියං යනවා පේන්නේ ‍නැද්ද කියලා..මුලින් පොලිස් කාරයින්ට තද උනත් ඒ එක්කම එතනට ආව අර නවත්තපු ලොරියේ රියදුරත් අරූට බැන බැන ආවේ..එතකොට පොලිස්කාරයින්ට තේරුනා කරන්න දෙයක් නැති කමට කල දෙයක් කියලා..කොහොම හරි ආයේ කිලෝ මීටර් පහක් විතර ගාටලා තමා අරකට ඉස්සර කලේ... හිතලා බලහංකෝ පටු පාරක ඉස්සර කරන්නත් නොදී කොට කොට යන පත ලොරියක් පස්සේ කිලෝ මීටර් 15ක් විතර එන්න උනාම යන කේන්තියක්...

    අනිත් එක හෝන් එක ගගහා එළවිල්ල..අනේ දෙයියෝ හෝන් එක නොගහා කොහොමද අපේ උන් එක්ක යන්නේ..එක්කෝ පාර මැද තියං ගාටනවා..එහෙම නැත්තං මෙලෝ සිහියක් නැතිව හිටි හැටියේ පාර මැදට කපනවා..සයිඩ් කණ්නාඩි තියෙන්නේ පාර බලලා මැදට ගන්න නෙවෙයි උන්ගේ අම්මලට අහවල් එක බලන්නද කොහේද..මතක් වෙද්දී යකා නගිනවා බං... දන්න හින්දා කියන්නේ වැරදිලාවත් ත්‍රීවීල් එහෙකටනං ඉස්සර කරන්න එපා හෝන් එක හත් අට වතාවක් නොගහා...

    ඔය කිව්ව දෙක කරන්න වෙලා තියෙන්නේ මුං යන විදියට අපි පණ බේරං යන්න ඕන හින්දා...

    මේ ලිපියේ තියෙන කරුණුවලට සීයට සීයක් නෙවෙයි දාහක්ම එකඟයි...

    ReplyDelete
    Replies
    1. වෙන සම්මාන මොකටද මාරයා අයියේ මේ කොමෙන්ටුවම මට හම්බවෙච්ච සම්මානයක් වෙනකොට.

      වාහනයක් වමෙන් ඉස්සර කරනකොට, දකුනේ යන වාහනය තේරුම් ගන්න ඕනෙ තමන් පාර මැද්දෙ ගෑටුවා කියන එකයි. ඉස්සර කරන වාහනේට ඇඟට කපන එකෙක් නම් ඒකා මානසික රෝගියෙක්. පාරෙ යන්නෙ ගමනක් යාගන්න මිසක් අණතුරක් කරගන්න නෙවෙයි නේ. වමෙන් ඉස්සර කරද්දි හෝන් එක ගහන එක ඉතා වැදගත් වෙන්නේ, දකුනෙන් යන වාහනේට ඊට එහා ලේන් එකේ යන වාහනයක් ඇඟට කැපුවොත්, අනිච්ඡානුග ක්‍රියාවක් වගේ ඉබේම වමට කැපෙන නිසා. එහෙම වුනොත් වමෙන් ගිය වාහනය අමාරුවේ.

      මතකයා නම් වැඩියෙන්ම බය මෝටර් සයිකල් වලට. එහෙන් මෙහන් දාලා යනවා තමා. නමුත් අනතුරක් වුනොත් යකඩ ගොඩක් හැපෙන්නේ මනුස්සයෙක් ගේ ඇඟේ නේ. ඒකයි වැඩියම බය. මනුස්ස සරීරෙට මොන ස්පෙයාර් පාට්ස් දැම්මත් ඔරිජිනල් වගේ නෑනෙ.

      අනේ ලංකාවෙ නීති නැද්ද මංදා මේ කොට කොට පාරෙ මැද්දේ යන අයව නවත්තන්න. ඒ අය නිසා කොච්චර නම් අනතුරු වෙනවද? කොච්චර නම් මිනිස්සුන්ගෙ කාලය නාස්ති වෙනවද?

      හෝන් එකෙන් එළවනවා කියලා කිව්වෙ යන්න ඉඩක් නැතත් ඉස්සරහ තියෙන වාහනේට හෝන් ගහලා ගේම ඉල්ලනවට. සමහර වෙලාවල් තියෙනවා, හෝන් එක නොගැහුවොත් විනාසයි. කාලයක් රට ඉඳලා ආපු යාලුවෙක් වාහනේ ත්‍රී වීල් එකක හප්පගත්තා පිටරට පුරුද්දට හෝන් එක නොගහ ගිහින්.

      බොහොම ස්තුතියි මේ අදහස් බෙදාහදාගත්තට.

      Delete
  3. මට වාහන නැතත් බස්‍ එකේ යන එක‍ කොට පේන දෙයක් හොදට ලියලා තියෙනවා. මාරයාට ක්‍රෙඩිට් එක යන්න ඕන බෙදාගත්තට. තව රියදුරු අත්දැකීම් ටිකක කමෙන්ට් වලට වැටේවා.

    ReplyDelete
  4. ඇයි අර ලංගම පෞද්ගලික ගැටිලි... මට තියෙන අත්දැකීමි ඕවා තමා.. එකක් කියන්නම්..

    අපේ ගෙදර ඉඳලා සෑහෙන දුරක් ආවාම තමා හයිලෙවල් පාර හම්බවෙන්නේ.. ඉතින් දවසක් මම හිටියෙ ලංගම බස් එකේ.. ඉස්සරහින් යනවා පෞද්ගලික බස් එකක්.. නවත්ත නවත්ත සෙනඟ ගන්නවා විතරක් නම් මඳෑ.. ලංගමේට ඉස්සර කරන්න බැරි වෙන්න නවත්තන්නෙත් පාර මැද.. අපේ පාරවල් එච්චරම ලොකු නැති නිසා යන්තමට වාහන දෙකකට එහි මෙහා විතරයි යන්න පුළුවන්.. අන්තිමේ හයිලෙවල් පාරට ඇවිත් ලංගමේ රියදුරා හැප්පුවේ නැතෑ පෞද්ගලිකේ පස්ස පැත්තේ.. ඇදල අරන් ගැහුවා ඒ මනුස්සයාට.. අනේ යට ඇඳුම පිටින් දිව්වා.. පව්.. වැරදි ඇති.. ඒත් අප්පා.. මනුස්ස පරාණයක් අච්චර ඉවසපු එක...

    ReplyDelete
    Replies
    1. හප්පේ කියලා වැඩක් නෑ. මිනිස්සුන්ට ගමනාගමන සේවයක් සලසන්න පෞද්ගලික බස් කොච්චර උනන්දුද කියනවා නම්, ගහමරාගෙන නෙව මිනිස්සුන්ව ගෙනියන්නෙ. ටක්කෙටම කියන්නම් ලංගම බස් එක වෙලාවට එන්න ඇති, ප්‍රයිවට් බස් කාරයා කොට කොට ආපු නිසා බස් දෙක එකම වෙලාවට සෙට් වෙන්න ඇති. ඉතින් අනිත් වාහන පාරෙ ගිහින් ඉවරයි. බස් දෙකම ඇතුලෙ ඉන්න මිනිස්සුන්ට දෙයියන්ගෙ පිහිටයි. ඉතින් ඔය බස් දෙක රේස් ගියා, අසරන මිනිස්සු බලා ඉන්න එපැයි පාරෙ ඊළඟ බස් එක එනකන්. ඇයි බස් දෙකටම තමන්ගෙ අරමුණ (ගමනාගමන සේවය සැලසීම) අමතක වෙලා නෙව. මිනිස්සුන්ව මඟ දාලා රේස් ගිහින් මොනව ලබන්න හිතන් ඉන්නවද මංදා.

      Delete
  5. ම්ම් ලිපිය හොඳයි. අදහස් ඇත්තම ඇත්ත.


    1. හෝන් එක නෑහී යෑම

    2. හෝන් එකෙන් එලවන්නෝ:

    තියෙනවා නේද? ඔය දෙක ඇවිල්ලා, සර්කල් එකක් මට හිතෙන්නේ. කෙනෙක් හෝන් එක ගහනවා. එයා හිතින් හෝ කටින් බනිනවා ඔයා මේ පළවෙනි එකේ කියලා තියෙන විදිහට. අනිත් කෙනා හෝන් එක නෑහුනා වගේ යනවා, ඔයා මේ දෙවැනි එකේ කියලා තියෙන විදිහට හිත හිතා හෝ කිය කියා. ඔය දෙකම මං අත් දැකලා තියෙනවා. :)

    මගේ අදහස නං හෝං එක නැතුව යන්නම බැහැ.......... ඇත්තමයි මට ඊයේ යද්දි හිතුනා, ත්‍රීවිල් කට්ටියට ඇස් පෙන්නෙ නැහැ කන් විතරයි ඇහෙන්නේ හෝන් එකෙන් කථා කර කර යන්න ඕනා කියලා... එයාලා එක පාරම ට්‍රැක් මාරු කරනවා. හරවනවා. අයිනට දානවා. මං හොඳට දැකලා තියෙනවා පස්සෙන් එන කෙනා හෝන් ගහපු ගමන් එයාලා එක පාරම ඇහැරිලා වගේ වට පිට බලන්නේ... :)

    පාරේ යනකොට හිතුනු කාරණා වලින් මාත් පෝස්ට් එකක් ලියන්න හිටියේ, ඒත් හැමදාම ඒක කල් ගියා. ඒක නිසා තව හිතුණු දෙයක් දැන් කියලාම යන්නම්.

    සිග්නල් ලයිට් වලට නවතද්දි, රෝද හතරේ වාහන පිළිවෙලකට, පාරේ ඉඩ තියෙන විදිහට ට්‍රැක් වශයෙන් නවත්තන එක තමයි හොඳ, නැතුව ඉඩ තියෙන තියෙන මුලු වල ඒවා හිර කලහම සිග්නල් ලැබුනු ගමන් හෝන් කඩා ගන්න එක තමයි කරන්නේ. එයාලා ට්‍රැක් වල නැවැත්තුවහම බයික් කට්ටියට ඉතිරි ඉඩෙන් ගිහින් පැක් වෙලා ඉන්න පුළුවන්. එහෙම නැතුව මුලින් බයික් ටික සේරම ගිහින් ඉස්සරහටම ඔබා ගන්න එකත් වැරදියි. භාජනයකට වැලි හා ගල් දාන්න දුන්නහම මුලින් වැලි ටික දැම්මොත් ගල් ඔබා ගන්න තියෙන ඉඩ නැති වෙනවා, ඒක නිසා මුලින් ලොකු ගල් ටික දාලා පස්සේ වැලි දැම්මහම වැලි රූටලා ස්ථාන ගත වෙනවා. ආන් ඒ වගේ පොදු යාන්ත්‍රණයකින්, එකම යන්ත්‍රයක ඇණ මුරිච්චි වගේ ගමනාගමන යාන්ත්‍රණය ක්‍රියාත්මක වුනා නං අනතුරු අඩු, වඩා පහසු ගමනක් නිමවෙයි.

    (මාත් ඉතිං වමෙන් ඕවටේක් කරනවා තමයි, හැබැයි හෝන් එක අතින් අරගෙන) :D

    ReplyDelete
    Replies
    1. ආයෙත් ඉතින් අපේ රටේ පිළිවෙලකට වැඩක් කෙරුනොත් කොහෙද? වාහන නැවැත්තිල්ලත් ඒ වගේ තමයි. ප්‍රශ්නේ කියන්නේ කිසිම පාරක නැති හික්මීමක් අධිවේගී මාර්ගෙ යනකොට තියෙන එකයි. බැරිකම නෙවෙයි ඕනෙ නැතිකම. පිළිවෙලකට වැඩක් කරන්න තියෙන කම්මැලිකම.

      ත්‍රීරෝද වලට නම් හෝන් එක නොගහා ඉස්සර කරන එක මාරන්තිකයි. එයාල කණ්නාඩිය බලලා හරවන සිරිතක් නෑ. හරවලා, හෝන් එකක් ඇහුනොත් අනිත් පැත්තට කපන එක තමා පුරුද්ද. බහුතරයක් ත්‍රීරෝද රියදුරන් ඔය විදිහයි. මට පුදුමයි මේ ඔක්කෝම එකම තැනකින් වත් ත්‍රීරෝද එළවන්න ඉගෙන ගත්තද කියල.

      මතකයාට නම් කවුරු හරි වමෙන් ඉස්සර කලොත් ලැජ්ජාවෙ බෑ. ඒකෙන් කියවෙන්න මතකයා තමන්ගෙ වාහනේ පාර මැද ගෑටුවා, අනිත් අයට කරදරයක් වුනා, පොදු දේපළක් ආත්මාර්ථකාමී විදිහට පරිහරණය කරලා තව කෙනෙකුට ඇණයක් වුනා කියලනෙ. විළි ලැජ්ජාවයි. මතකයා මූන හංගගෙන වේගෙ අඩු කරලා පහු බහින්නේ ඔය වෙලාවට තමා.

      Delete

බ්ලොග් එකක් සිංහලෙන් ලියන එකේ අමාරුව දන්නේ සිංහලෙන් බ්ලොග් ලියපු එකෙක්ම තමා. එහෙව් අමාරුවෙන් ලියන බ්ලොග් එක කියවල ඒකට කමෙන්ටුවක් දාන්නෙ එහෙමත් කරුණාවන්ත ඇත්තෙක් තමා. මට ඒ හැම කමෙන්ටුවක්ම රටක් වටිනව...