Tuesday, March 6, 2012

සිංහල බෞද්ධ කාන්තාවන් සතු විමුක්තිය

March 8, International Women's Day
මාර්තු 8 වෙනිදට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙනුයි මේ සටහන ලියවෙන්නෙ. මේ සටහන වෙනදා වගේ හුදු විනෝදය සඳහාම නොවී, බුද්ධිමත් සංවාදයකට පෙරෙලෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

අද මගේ දිනපොතේ සටහනට පාදක වුනු කතාව සිද්ධවුනේ මම වැඩකරන ඔෆිස් එකේ අලුතෙන් පිරිස බඳවගන්න යන වතාවක ගැහැණු ළමයෙක් කියපු කතාවක්. මගේ සිතුවිලි වලට පාදක වුනු මේ ළමයා දුන් කමෙන්ටුව හරියටම මතක නැතත්, එහි අදහස වූයේ "ගැහැණුන්ට එතරම් තැනක් නෑනෙ" යන අර්ථයක්. මා දැනුවත්ව අප රැකියා ස්ථානයේ කිසිදු දිනක ගැහැණියක් වීම නිසාම කිසිවෙකුට අසාධාරණයක් කර නැත. මේ නිසාම මම කමෙන්ටුව කල ළමයාගෙන් වැඩිදුර විස්තර විමසා සිටියෙමි. ඇයගේ පිලිතුරෙන් ගම්‍යවූයේ ඇය කාන්තාවක් නිසාම තමා ගැන අවතක්සේරුවෙන් බලන බවකි. මේ ප්‍රවනතාවය තවත් කිහිප තැනක දැක ඇති බව මතක තිබූ නිසා මේ සටහන දිනපොතට එකතු කරන්න හිතුවෙ. 

දැනට ටික කලකට කලින් ලංකාවෙ ජනප්‍රිය මාතෘකාවක් වුනේ කාන්තා විමුක්ති සටනයි. කාන්තා විමුක්ති සංවිධාන කියල ජාතියක් හතු පිපෙන්නා වගෙ ඇති වුනා. දැන් ඒවා තියෙනවද මංදා? කොහොම වුනත් මේ සංවිධාන වලින් ඇති කරපු සංකල්ප නම් තාමත් ලාංකික කාන්තාවන්ගෙන් ඈත් වෙලා නැහැ. කාන්තා විමුක්තිය කියලා පටන්ගත්තු සංවිධාන බොහොමයක් කලේ කාන්තාවන්ට තමන් ගැන හීනමානයක් දීපු එක. කාන්තාවක් වීම නිසාම තමන් හෑල්ලුවට ලක්වෙන, අසාධාරනයට ලක්වෙන බව, තමයි බොහොමයක් මේ සංවිධාන වලින් උලුප්පල පෙන්නුවෙ. ඒ සංවිධාන පවුල් කීයක් කඩාකප්පල් කලාද කියලා කියන්න සංගණනයක් තියන්න වෙයි.

ලෝකෙ අනිත් රටවල තත්ත්වෙ මොකක් වුනත් මේ කතාව ලංකාවට ගැලපෙනවද කියන එක අපේ බුද්ධිමත් කාන්තාවන්ම කල්පනා කර බැලිය යුතුයි. 

ලාංකේය සමාජය

සමාජ විද්‍යාඤයින් කොහොම මේක පිලිගනීද දන්නෙ නෑ. නමුත් අපි සාධාරනව බැලුවොත් ලාංකේය ජන සමාජය එකට බැඳ තබන අපේ සමාජයේ අත්තිවාරම වගේ ඉන්නෙ හෙළ කුල කාන්තාවන්. සිංහල අපි අපේ පවුල් සංස්ථාව මත කොයිතරම් යැපෙනවද? ඉතින් ඒ පවුල කියන ඒකකය ගත්තොත් ඒකෙ මුර දේවතාවි වගේ ඉන්නෙ අම්මා නෙවේද? පවුලෙ සාමාජිකයො මොන තරාතිරම් වල, මොන බුද්ධිමට්ටම් වල හිටියත්, පවුල කියන ඒකකය එකට ගැටගහගෙන ඉදිරියට ගෙනියන්නෙ අපේ අම්මල නෙවෙයිද? පවුලක තත්තා කොච්චර පිස්සු කෙලියත් ඒ පවුලේ අම්මා ඉන්න තාක්කල් විනාස වෙන්න තෙයෙන ඉඩකඩ කොයිතරම් නම් ඈ අවුරනවද? එහෙව් එකේ අම්මා අපේ සමාජයේ අඩිතාලම දැම්මෙ නෑ කියන්න පුලුවන්ද? අපේ සමාජයෙ පුංචිම ඒකකය වන පවුල ගෙනියන්නෙ අම්මා නම් අපේ සමාජය මාතෘ මූලික එකක් නෙවෙයි ද? එහෙව් සමාජයක ඉන්න කාන්තාවක් කියන්නෙ ලෝකය දිහා නිහතමානී ආඩම්බරෙන් බැලිය යුතු පිරිසක් හැටියටයි මම දකින්නෙ.

ආර්ථිකයට  සිදුකරන දායකත්වය

අනෙක් අතට බැලුවොතින් කාන්තාවන් අපේ ආර්ථිකයට වන දායකත්වය ඉතාම විශාලයි. ආර්ථිකයට දායක වෙන්නෙ රැකියා කරන කාන්තාවන් විතරක් නෙවෙයි. 'අනේ අපි රස්සාවක් කරන්නෙ නෑ නෙ' කියල ලාංකික කාන්තාවන් දුක් වෙන්න ඕනෙ නැහැ. ඔබ ගෘහණියක් නම්, අම්මා කෙනෙක් නම්, නැත්නම් ගෙදර නංගිලා මල්ලිලා බලාකියාගෙන ගෙදර වැඩපල කරගෙන ඉන්න දුවක් නම්, ඔබ රටට කරන සේවය අති මහත්. ඔබේ සේවය ජාතික ගිණුම් වලට ඇතුලත් නොවන බව සැබෑව. නමුත් ඔබ දන්නවාද ඔබේ සේවය ඇතුලත් කලානම් අපේ රටේ දළ ජාතික නිශ්පාදිතය දෙගුනයක් විතර වෙන්න ඉඩ තිබුනා. අද ලෝකයේ ඉන්න නොම්මර එකේ ආර්ථික විද්‍යාඤයින් පවා පිලිගන්නවා ගෘහණියන්ගේ දායකත්වය ඇතුලත් නොකරන ජාතික ගිණුම් ක්‍රමය වැරදි බව. නමුත් අභාග්‍යකට වගේ ඔබේ අතින් ඉටුවන සේවය මුදලින් තක්සේරු කරන්න බැරි නිසා, ජාතික ගිණුම් වලින් ගිලිහී යනවා. 

නමුත් රැකියා කරන සියලු ලාංකිකයින් තෙරුම් ගතයුතු දෙය නම් ඔබ රැකියාවට යන්නේ ගෙදර බලා කියාගෙන, දරුමල්ලන්ට උගන්නගෙන, අරපිරිමැස්මෙන්, ආදරයෙන් ඔබව බලාගන්නා කාන්තාවක් ගෙදර ඉන්න නිසයි. ඇය නිහඬව කරන ඒ සෙවය අප සියලු දෙනාම අගය කල යුතු නොවේද?

විමුක්තිය ලෙස හුවාදක්වන මායාව

ඔය කාන්තා විමුක්තිය කියලා දඟලපු අය කරපු එක දෙයක් තමා කාන්තාවන්ට පිරිමි කරන ඕනැම දෙයක් කරන්න පුලුවන් කියලා, ලංකාවේ කාන්තාවන් ගතානුගතිකව පිරිමි කල රැකියා වල නියුක්ත කරන්න දඟලපු එක. පිරිමි කරන රැකියා කාන්තාවන්ට කරන්න බැරි වෙන්න කිසිම හේතුවක් නෑ. උවමනා නම් කරන්න පුලුවන්. අතීතයේ අපේ වීර හෙළ කාන්තාවන් යුද්ධවලට පවා සහභාගී වූ කතා එමටයි. අනෙක් අතට ගත්තත් අපේ ජන සමාජයේ කාන්තාවක් කිසියම් රැකියාවකින් ඈත්කර තබන නීතිරීති නැහැ. කාන්තාවන් තේරුම්ගත යුතු දේ නම් ගතානුගතිකව 'පිරිමි වැඩ' ලෙස වෙන් වුනේ කාය ශක්තිය වැඩියෙන් අවශ්‍යවන රැකියාවන්. නැතුව ඒ රැකියා කාන්තාවන්ට කරන්න බැරි නිසා නොවෙයි. වරදවා තෙරුම් නොගනීවි කියලා බලාපොරොත්තු වෙනවා 'කාය ශක්තිය' කියන වචනය. ඉන් අදහස් කරන්නෙ නෑ කාන්තාවන් කාය ශක්තිය අතින් දුබලයි කියලා. නමුත් කිසිම පිරිමියෙක් කැමති නැහැ කාන්තාවක් රළු/බර වැඩක නිරත වෙනවා දකින්න. මොකද හැම කාන්තාවක් තුලම ඔවුන් තමන්ගෙ මවගෙ ප්‍රතිරූපය දකින නිසා. අදටත් ගිනි අව්වෙ පාරෙ තාර දාන තැන්වල වැඩකරන අම්මලා දැක්කම ඉතා විශාල කනගාටුවක් ඇති වෙන්නෙ. ඒ දර්ශනය තරම් අසරණ කමක් ඇතිකරන වෙනත් දසුනක් නැති තරම්.

බෞද්ධ ලාංකික කාන්තාවන්ට ආගමික වශයෙනුත් විශාල නිදහසක් බුක්ති විඳින්න පුලුවන්. ආගමික වශයෙන් කිසිම තහන්චියක් නැහැනෙ. නමුත් සංස්කෘතිය, සභ්‍යත්වය වගේ වචන වලින් කාන්තාවන්ට තමන්ව තැලෙනවා කියල හිතෙන්න පුලුවන්. මොකද, ඔය වචන කටේ ගා ගත්තු ස්මහරක් දෙනා ඒවා බලාපොරොත්තු වෙන්නෙ කාන්තාවන්ගෙන් පමණක් නිසා. ( හැමෝම එහෙම නෑ ). නමුත් අපි එකක් අවිවාදයෙන් පිළිගන්න ඕන. ඒ තමයි අපේ සංස්කෘතියක්, සභ්‍යත්වයක් ඉතුරු වෙලා තියෙනවා නම් ඒකෙ ගෞරවය ලැබෙන්නෙ කාන්තාවන්ට කියන එක.

කාන්තාවන්ට සමහර විමුක්තිකාමීන් කියාගන්නා ඊනියා මතධාරීන් කියන්නා වගේ පිරිමින් මෙන් 'සම තැන' නොව, උසස් ලෙස සලකා 'නිසි තැන' ලැබිය යුතුයි. ලෝකෙ අනිත් රටවල් කොහොම උනත් ලාංකිකයින් තේරුම්ගත යුතුයි ලාංකේය කාන්තාව රටට සම්පතක් බව. මෙහෙම බැලුවහම ලාංකේය කාන්තාව කියන්නෙ ලෝකය දිහා නිහතමානී ආඩම්බරෙන් බැලිය යුතු උතුම් පිරිසක්.

තවත් ලියන්න කරුනු තිබුනත් වෙලාව මට හරස් වෙලා නිසා මහචාර්ය අබ්දුල් කලාම් කියූ දෙයකින් මේ පොස්ටුව නිමා කරනවා: "ඔබ පුංචි වන්නේ ඔබ, ඔබගැනම හිතා ඉන්න ප්‍රමානයටමයි. ඔබ කොතරම් හැකියාවන් ඇති කෙනෙක් වුනත් වැඩක් නෑ ඔබ, ඔබ ගැනම අවතක්සෙරුවෙන් ඉන්නවා නම්". ලාංකීය කාන්තාවන් මේ ගැනත් හිතයි කියලා මම බලාපොරොත්තු වෙනවා.


සිව් හෙළයටම හෙළ මව් වරුන්ගේ පිහිටයි!

No comments:

Post a Comment

බ්ලොග් එකක් සිංහලෙන් ලියන එකේ අමාරුව දන්නේ සිංහලෙන් බ්ලොග් ලියපු එකෙක්ම තමා. එහෙව් අමාරුවෙන් ලියන බ්ලොග් එක කියවල ඒකට කමෙන්ටුවක් දාන්නෙ එහෙමත් කරුණාවන්ත ඇත්තෙක් තමා. මට ඒ හැම කමෙන්ටුවක්ම රටක් වටිනව...