Wednesday, August 15, 2012

එඩිතර ශර්ලොක් භානුක සහ බයේ දැඟලූ වොට්සන් (දෙවන කොටස)


භානුක ගැන මතක පොත කියවන අය දන්නවනෙ. අර හිතේ අමාරුවට බීලා ගේට්ටුවක් දිගේ බඩගාපු හාදයා. මේකත් එයා ගැන කතාවක්ම තමා. මේ කතාවෙ භානුක, ශර්ලොක් හෝම්ස් ගෙ චරිතය රඟපානව. මතකයා, දොස්තර වොට්සන්ගෙ චරිතය රඟපානව. මේ කතාවෙ පළවෙනි කොටස කියෙව්වෙ නැත්නම්, ඒක කියවලා ඉන්න.

මාරක හංදියේ නිළ නොළත් ග්‍රාමසේවක අංකල්ගෙන් විස්තර අහගෙන භානුකයා වොට්සන්වත් ඇදනෙග දුවනවා හරියට ඇන්ටිලෝප් සතෙක් කරත්තයක් ඇදෙගන යනව වගේ. ඉතින් භානුකයා බී එම් ඩබ්ලිව් කාර් එකක ජී පී එස් සිස්ටම් එකක් වගේ ගෙවල් හොයන්නෙ. ඔහොම දුවලා දුවලා ගිහින් කියපු තැන නතර වුනා.

විසාල ගෙට්ටුවක් දාපු ගෙයක් එතන තිබුනෙ. ගේට්ටුව තල්ලු කරන විදිහෙ (sliding) සෑහෙන බර එකක්. හෙන ගෙමක් දීල ඒක තල්ලු කරගත්තා. භානුකයා ගේට්ටුව තල්ලු කරනව ඉවරයක් නෑ. මනුස්සයෙකුට ඇතුල්වෙන්න නෙවෙයි ලොරියක් වත්තට දාන්න තරම් වෙනකම්ම මේකා ගේට්ටුව තල්ලු කලා. 'යකෝ පයින් ආවෙ, ඕක අරින්නෙ මොන වෙඩින් එකකටද?'. ඒ පාර භානුකයා ඒක නවත්තලා ගෙදර පැත්තට යන්න ගත්තා ගිහින් බෙල් එක ගැහැව්ව. ගෙයි ඇතුලෙන් ගෑනු ළමයෙක් එළියට ඇවිත් විස්තර අහන්න පටන් ගත්ත. වොට්සන් බොරු කියන වැඩේට එච්චර දක්ශ නැති හින්ද, භානුක තමා උත්තර දෙන්නේ.

භානුක: නංගි, මේක චමින්දලගෙ ගෙදරද?
ගෑනු ළමයා: නැහැ, මෙහෙ එහෙම කෙනෙක් නෑ.
භානුක: නංගි, අපි මේ යාලුවෙක්ගෙ ගෙයක් හොයනව. එතකොට මෙහෙ චන්දන කියල කෙනෙක් ඉන්නවද?
ගෑනු ළමයා: නැහැ.
භානුක: චාමර කියල?
ගෑනු ළමයා: නැහැ.
භානුක: චාමිකර කියල?
...

ඔය විදිහට කතාව කෙරීගෙන යනව. භානුකයා මේ ලෝකෙ 'ච'යන්නෙන් පටන්ගන්න නම් ඔක්කොම කියකියා අහනව එහෙම කෙනෙක් ඒ ගෙදර ඉන්නවද කියල. හම්මෝ... 'ච'යන්නෙන් එච්චර නම් තියෙනව කියල මතකයා නම් හිතලා වත් තිබුනේ නෑ. භානුකට මේ නම් මෙච්චර ඉක්මනට කොහොම මතක් වෙනවද කියල මතකයා කට බලියාගෙන බලාගෙන හිටිය. ඔය අතරෙ, මතකයත් හෙමීට ඇන්ටනාව කරකවලා බැලුව මේ මොනවගේ තැනක්ද කියල. එතකොට තමා දැක්කෙ ගෙදර ජනේලෙ. ඒ ජනේලෙන් එක එක වයස් වල ගෑනු ලමයි බලාගෙන ඉන්නව, ජනෙල් කූරු වල එල්ලීගෙන. චූටිම චූටි බබාල, ලොකුම ලොකු බබාල, මධ්‍යම ප්‍රමානෙ බබාල හැට හුටාහමාරක් ජනේලෙ එල්ලිලා බලන් ඉන්නව. 'හුටා... මේ මොකද?' කියල මතකයත් තක්බීර් වෙලා බලා ඉන්නව.


පුදුම වෙලා බලාඉන්න මතකයා, හෙමීට අර කතා කරන්න එලියට ආපු ගෑනු ලමයා දිහා බැලුව. ඒ ලමයා දැන් කතාකරන්නේ හරිම සැකෙන්. සැක හිතෙන්නෙ නැද්ද කොල්ලො දෙන්නෙක් ඇවිත් චමින්ද, චාමර, චාමිකර, චා... ඔක්කොම ඒ ගෙදර ඉන්නවද කියල අහනකොට. හම්මපා මේ භානුකයගෙ රහස් පරීක්ශක කම කිසිම කමකට නෑ. මූව පාර්ලිමේන්තුවට යවනව ඇරෙන්න මේ ටොම් පච කියන හැකියාවෙන් වෙන ප්‍රයොජනයක් ගන්න නම් බෑ. බලා ඉන්දැද්දි අර ගෑනු ලමයගෙ මූන සැකෙන් පිරෙනව ඇහෙන නමක් ගානෙ. ඒ අතරෙ ඒ ලමයා සම්පූර්ණයෙන් ඇරල දාපු ගෙට්ටුව දිහාත් බලනව.

මේක දැකපු මතකයගෙ මීටරේ හෝ ගාල වැඩකරන්න පටන් ගත්ත. මේ මොනවගේ තැනක්ද? ඇයි මේ තරම් ලමයි ගොඩක්? මේක බාලිකා විද්‍යාලයක්ද? කාන්තා ළමා නිවාසයක්... බුදු අම්මෝ... මේක කාන්තා ළමා නිවාසයක් වෙන්න ඇති. ඒකනේ මේ එක එක වයස් වල ලමයි ගොඩක්... එතකොට භානුකයි මතකයයි මේ අනවසරෙන් ඇතුල්වෙලා තියෙන්නෙ කාන්තා ළමා නිවාසයකටද? මතකයාගෙ හිතේ එකපාරටම පරාණ බයක් ඇතිවුනේ අර කතාකරපු ගෑනු ලමය දැන් භානුකයි මතකයයි දිහා බලා ඉන්න හැටි දැක්කම. ඒ මූනෙ සැකයයි කෙන්තියයි බේරෙනව...

ඒ අතරෙ මතකය බයන් වෙව්ලන්න ගත්තෙ මතකයගෙ හිතේ ඇතිවෙච්ච භයානක චිත්තරූප නිසා. මතකයට මැවිල පේන්න ගත්ත අර ගෑනු ලමය සැක හිතිල කෑ ගහන හැටි, ගමේ මිනිස්සු ඇවිත් දෙන්නටම හොඳට නෙළන හැටි, ඊට පස්සේ පොලීසියෙන් එන හැටි, අරන් ගිහින් කූඩුවට දාන හැටි, නඩු අහන හැටි, ගෙදරින් ඇවිත් ඇප දීල බේරගෙන යනහැටි... ගෙදර ගිහින් මතකයාව හමගහන හැටි... ඒ හම බෙරේකට බන්දවල ඒකටත් කෝට්ටකින් ගහන හැටි... හරියට චිත්‍රපටයක රූපරාමු පෙළක් වගේ. මොන විනාසයක්ද මේ? මතකයාට නම් තව මොහොතක් වත් මෙතන ඉන්න බෑ. භානුකයාවත් ඇදගෙන මෙතනින් මාරු වෙන්න හිතන්, හෙමිහිට භානුකයටත් තට්ටුවක් දාල 'මචං අපි යමු, මේ ඇඩ්‍රස් එක වැරදි ඇති' කියලා ඇදගෙන යන්න බැලුව. කොහෙද, මොන යැවිල්ලක්ද. මූ අතත් ගසාදාලා දිගටම කතාව. 'යකෝ මට බඩගිනියි, යමං, පස්සෙ ඇවිත් මේක හොයමු' කියල මතකය, භානුකගෙ කමිස කොලර් එකෙන් ඇදගෙන එළියට ආව. ඒ වෙලාවෙ බයටම මතකයාට මාර ෆිට් එකක් ඇවිත් තිබුනෙ.භානුකගෙ බලවත් විරුද්ධතා මැද වුනත් මතකයා කොහොම හරි භානුකව පාරට ඇදගෙන ආව. ඇවිත් පුලුවන් ලොකුම රකුසු මූන දාල 'මට බඩගිනියි යකෝ, කාල ඇවිල්ල හොයමු' කිව්ව. ඒකට අන්තිමේ භානුක යටත් වුනේ. අපි එළියට ආවම අර ගෑනු ලමයා සෑහෙන ගේමක් දීල තඩි ගේට්ටුව ඇදලා වහල දැම්ම. එය රවපු රැවිල්ල මතක් වෙනකොට තාමත් මතකයගේ ඇඟේ මයිල් ඉස්මයිල් වෙනව.. බැල්මකට මනුස්සයෙක් මරන්න පුලුවන් නම්, අපි දෙන්නගෙම කෑල්ලක් වත් හොයන්න ලැබෙන්නේ නෑ.

මතකයා රවාගෙන, රකුසු මූන දාගෙනම ගෙදර නොපෙනෙන තරම් දුරට ගිහින්, භානුකයට දෙහි කපන්න පටන් ගත්ත. 'යකෝ ගුටි කාල මැරෙන්නද හදන්නෙ? උඹ දන්නවද ඒක කාන්තා ළමනිවාසයක් ද කොහෙද...'
භානුක: නෑ... උඹ කොහොමද දන්නෙ?
මතකයා: ඇයි බං අර ගෑනු ළමයි සෙට් එකක්ම ජනෙලෙ එල්ලිලා හිටියෙ. උඹගෙ යාලුව ඕකෙ ඉන්න බෑ. වැඩේ දෙල් වෙන්න කලින් මාරු වෙමු.
භානුක: ඔහොම හිටපං මම ආයෙ ගිහින් බලලා එන්නම් එක ළමා නිවාසයක් ද කියල?

මූට පිස්සුද? පන බේරගෙන එන්න ලැබුනෙ වාසනාවට. දැන් ආයෙමත් යන්නෙ ඉල්ලගෙන කන්නද? මතකයා කතාකරන්නත් කලින් භානුක ආයෙමත් අර ගෙදර පැත්තට දුවලා, ගේට්ටුව ඉස්සරහ නතර වෙලා, ගේට්ටුවට උඩින් වටපිට බලනව. මූට නම් අපලයක්ද කොහෙද. ඔච්චර ඕනෙම නම් ගුටිකාල වරෙන්කො කියල, මතකයා හිටි තැනම හිටිය. ටික වෙලාවක් ගෙවල් පැත්ත බල බලා ඉඳල මූ ආපහු දුවගෙන ආව.

භානුක: උඹට විකාර බං. ඒක ළමා නිවාසයක් වෙන්න බෑ. බෝඩ් එකක් වත් ගහල නෑ.
මතකයා: එහෙනං බෝඩ් නැති ළමා නිවාසයක් වෙන්න ඇති. මට නම් දැන් ඇති වෙලා මේ වැඩේ. යමං ගෙදර.
භානුක: පිස්සුද බං මෙච්චර ආව එකේ බුවාව හොයාගෙනම යමු.
ඔන්න ඔයවෙලාවෙ තමා මතකයාට මල පැනීම කියන සංසිද්ධිය වුනේ.
මතකයා: උඹට ඕනෙ නම් හිටපන් මම යනව. උඹ ඉඳල ගමෙන්ම ගුටි කාල, පොලිසියෙනුත් කාල, මදිපාඩුවට ගෙදරිනුත් ගුටි කාපන්. ඒත් මදිනම් කියපන්, මමත් ඇවිත් පාරක් දෙකක් ගහන්නම්.
මතකයා තමන්ගෙ භයානක චිත්තරූප ටික වචනයෙන් එළියට දැම්ම.

කොහොමෙන් කොහොමෙන් හරි භානුකයා අන්තිමේ අකමැත්තෙන්ම එකඟ වුනා ගෙදර යන්න. ආපහු එන්න තියෙන්නේ අර නිළ නොළත් ග්‍රාමසෙවක (නි.නො.ග්‍රා) අංකල්ගෙ ගේ ළඟින්. එනකොට මෙන්න ඉන්නවා මේ යකා ගේට්ටුව ළඟට වෙලා... ඒක දැක්කා විතරයි මතකයාට නම් නයාට අඳුකොළ දැක්ක වගේ. අම්මපා බුවා එච්චර උස නැත්නම් කතා කලොත් ගහනවා කණට... මතකයා දත්කූරු කකා මාරුවෙන්න බැලුව එතනින්. මොන මාරුවීමක්ද... මේ මිනිහා ආයත් කතාවට එනව... 'ඈ පුතා... යාලුවව හම්බ වුනාද?'

භානුක: නෑනෙ අංකල් බලන්නකො මෙච්චර ඇවිදලත් හොයාගන්න බරි වුනානෙ
නි.නො.ග්‍රා: කෝ ඉතින් පුතාල හරියට ඇඩ්‍රස් එක අහගෙන නෑනෙ...
මතකයා: කමක් නෑ අංකල් අපි වෙන දවසක ඇඩ්‍රස් එක අහගෙනම එන්නම්
භානුක: ඔව් අංකල් මෙන්න මූට බඩගිනියිලු නෙ, අපි ගිහින් එන්නම්
අම්මපා මේ භානුකයාගෙ කටේ බ්‍රේක් නෑනේ..
නි.නො.ග්‍රා: බඩගිනි නම් තේ එකක් එහෙම බීල එන්න, අපි කොහොම හරි යාලුවාව හොයාගමු


'හරි අංකල් අපි ගිහින් තේ බීල එන්නම්', කියල මතකයා, භානුකයවත් ඇදගෙන එතනින් මාරු වුනා.

පව්, ඒ අංකල් අපි තේ බීල එනකං බලාගෙන ඇති නේද?


෴ නිමි ෴

Saturday, June 30, 2012

එඩිතර ශර්ලොක් භානුක සහ බයේ දැඟලූ වොට්සන් (පළමු කොටස)

භානුක ගැන මතක පොත කියවන අය දන්නවනෙ. අර හිතේ අමාරුවට බීලා ගේට්ටුවක් දිගේ බඩගාපු හාදයා. මේකත් එයා ගැන කතාවක්ම තමා.

භානුකයගෙ කවදත් තිබුනෙ අහිංසක වැඩ. අහිංසක කම වැඩි නිසාම තමා කාපු පරිප්පු ඔක්කොම කෑවෙ. විනෝදාංශ වුනත් අහිංසක විදිහෙ ඒව. ඒ අතරෙ තිබුනු එක විනෝදාංශයක් තමයි පෑනේ මිතුරන්ට ලිවීම. ඉතින් මූ ඔය ලියුම් වල පොඩි පොඩි නයි ඇරියෙ නෑ කියන්නම බෑ. නමුත් කාටවත් හානියක් නෑ නෙ. 

තවත් විනෝදාංශයක් තමා රහස් පරීක්ශක පොත් කියවීම. මේකනම් උණක් ගානටම තිබිච්ච දෙයක්. මතකයා දන්න හැටියට භානුක නොකියවපු ශර්ලොක් හෝම්ස් පොතක් නැතුව ඇති. මොන කතාවක් වුනත් රහස් පරීක්ශක පොතක් නම් කියවලා ඉවර කරනකම් මිනිහට තාමත් නින්ද යන්නෙ නෑ.  රහස් පරීක්ශකයෙක් වෙන්න කොච්චර ආසාවක් තිබුනද කියනවා නම් භානුකගෙ පාසල් බෑග් එකෙත්, උත්තල කාචයකුයි, අඬුවක් (Tweezers) සහ පුලුන් කෑල්ලක් දාගෙන ආව. පොඩි කාලෙ හැටියට ඕව තමා මහා රහස් පරීක්ශකයන්ගෙ උපකරණ.

තත්ත්වය ඔය වගේ තියෙද්දි සාමන්‍යපෙළ කරල ගෙදර ඉන්න දවසක භානුකයා ආව අපේ ගෙදර. ඇවිත් මාවත් ඇදගෙන ගියා ප්‍රදර්ශණයකට මොකද්ද මංද අටමගලයක් අටවන්න. කොහොම හරි කිරිබත්ගොඩ පහුවෙනකොට මේකා කියපි, 'මචං මගේ පෙන් පැල් (පෑනේ මිතුරෙක්) ඉන්නවා මාකොළ, මිනිහ මං ගැන විස්තර හොයාගෙන මට පොඩි නෝන්ඩියක් දුන්නා, අපි මිනිහ ගැන විස්තර හොයාගෙන රිටන් එකක් දෙමුද?' කියල. මට හොඳටම ශුවර් අර පෑනෙ මිතුරා, මූ ඔය ලියුමක යවපු නාගරාජයෙක්ව භූමිතෙල් වලින් බැදලා හැරෙන තැපෑලෙන් එවන්න ඇති. කොහොම හරි භානුකයා මතකයාව වැඩේට කැමති කරව ගත්තා, 'මේක නිකං රහස් පරීක්ශක වැඩක් වගේ බං', කියලා.

දෙන්න එක්ක යන්න ගිය ගමනත් පැත්තකින් තියලා, කිරිබත්ගොඩින් බැහැලා, මාකොළ පාරෙ ඇවිදගෙන යනවා. භානුකයි මතකයයි නියම ශර්ලොක් හෝම්ස් සහ දොස්තර වොට්සන් වගේ තමා. භානුක කෙට්ටු උස (ඉතියෝපියාවෙන් ආපු) ශර්ලොක් හෝම්ස් වගේ. මතකයා බෝලගෙඩියක් වගේ; දොස්තර වොට්සන් මහතයි නේද? (මහත නැත්නම් ඔය හුලං ටිකක් ගහල හරි මහත් කරල දාමු, කතාවට හරියන්න).

දෙන්නගෙ සැලැස්ම වුනේ ලිපිනය පාවිච්චි කරලා ගේ හොයාගෙන බුවා ගැන විස්තරත් වටපිටින් හොයාගෙන, බුවාට මාට්ටු නොවී මාරු වෙන්න. ලිපිනය මාකොළ එකක් නිසා, දෙන්නත් එක්ක කිරිබත්ගොඩ ඉඳන් මාකොළටම පයින්ම ගෑටුවා. කතාව ගමනට දෝලාව කිව්වහේ, මාකොළටම පයින් ගියා දැනුනෙ වත් නෑ. දැන් නම් තක් වෙනකොටත් හන්දිපත් රුදාව.

කවද කාපු ටකරන්ද කිව්ව, දෙන්න එක්ක වටපිට මිනිස්සුන්ගෙන් අහගෙන හෙමිහිට හෙමිහිට මාට්ටු නොවී ගෙදර හොයාගන්න ට්‍රයි එක දුන්න. අහුවෙන්න කැමති නැති නිසා ඇත්ත බුවාගෙ නම කියන්න බෑ. ඉතින් භානුකයා කටට එන එක එක නම් කියනවා. ඒ මදිවට ගෙදර නොම්මරේ ළඟින් යන නොම්මර මිසක් හරි එක කියන්නෙ නෑ. නියම ලිපිනයෙ තියෙන්නෙ 2/122 වගේ අමුතුම නොම්මරයක්. කොහොම හරි දෙන්න එක්ක එක එක මිනිස්සුන්ගෙන් අහගෙන අහගෙන ටික ටික කිට්ටු කලා. කිට්ටු කලා කියල හිතාගත්තෙ නොම්මර ටිකක් ගැලපෙන නිසා. තාමත් ලිපිනයේ තියෙන පාරවල් හරියට ගලපගන්න බෑ. මේ වෙනකොට දෙන්නා මඟපෙන්වන්නන්ගෙ කීම අනුව එක එක අතුරු පාරවල් වලින් හැරිලා ගිහින් ප්‍රධාන පාරෙන් හුඟක් ඈතට ගිහින්.

ඔහොම යද්දි ගොඩවෙච්චි එක ගෙදරකදි අපිට තලත්තෑනි මනුස්සයෙක් හමුවුනා. කලින් වගේම එඩ්‍රස් එක වෙනස් කරල කිව්වම, මිනිහ ටිකක්වෙලා කල්පනා කරල, දිගට හරහට ප්‍රශ්ණ අහන්න ගත්තා. හොයන්නේ කාවද? මොකටද? අඳුනගත්තෙ කොහොමද? අරකද, මේකද, ඔක්කොම විස්තර අහනව. දොස්තර වොට්සන් (මතකයා) ට නම් බොරුවක් වත් ගොතාගන්න බැරි තරමට ප්‍රශ්ණ පත්තරේ සංකීර්ණයි. වොට්සන්ගේ සද්ද වානා. ඒ වුනාට ශර්ලොක් භානුක  බොරු ඇදබානවා ගේමක් නැතුව. වොට්සන් කට බලියාගෙන බලාගෙන ඉන්නවා මේ කෙප්ප කොහෙන් පාත් වෙනවද කියලා. කොහොම හරි ප්‍රශ්න පත්තරේ ඉවර වෙලා, අර මනුස්සයා එතන තියෙන හංදියකින් හැරිලා යන පාරක් ගැන කිව්ව. හම්මෝ... ඇති යන්තං කියලා වොට්සන්, ශර්ලොක්වත් ඇදගෙන අර හංදිය පැත්තට ශේප් වුනා. ශර්ලොක්ට වගේ වගක් නෑ. අර කියපු පාර දිගේ ගිහින් බලන්නම ඕනය කියල කිව්ව නිසා වොට්සන් අකමැත්තෙන් වුනත් (කරන්න දෙයක් නැතිකමටම) පස්සෙන් ගියා. හප්පේ ඒ පාර නිකං අඩිපාරක් වගේ එකක්. ඒ පාරෙ නම් පෑනේ මිතුරෙක් ඉන්න බෑ. තැපැල් පියුන් කවදාවත් මේ පාරෙ ගිහින් නැතුව ඇති. ටිකක් දුර ගිහින් වැඩේ හරි යන්නේ නැති බව තේරුනු නිසාම ශර්ලොක් භානුක ආපහු හරවගන්න වොට්සන්ට පුලුවන් වුනා. දැන් ඔන්න ගිය පාරෙන්ම ආපහු එනවා.

ආපහු එන්න තියෙන්නේ අර මනුස්සයගෙ ගේ ලඟින්. මෙන්න යකෝ මේ මිනිහා ගේට්ටුව ලඟට වෙලා බලාගෙන ඉඳලා අල්ලගත්තෙ නැතෑ අපිව. 'ආ පුතා... යාලුවාව හම්බ වුනාද?'

වොට්සන්ට නම් කටේ කෙළ නෑ ඇවිදලා එපාවෙලා. ශර්ලොක් භානුක ගේමක් නැතුව උත්තර දෙනවා, 'නෑනෙ අංකල්, මට එඩ්‍රස් එක වැරදිලාද කොහෙද'.

'හ්ම්ම්... එහෙම වෙන්නත් පුලුවන්, හැබයි පුතාල ගියහම තමා මට මතක් වුනේ චමින්ද කියල ලමයෙක් ඔය පල්ලෙහා පාරෙ ඉන්නව. එයා වෙන්න ඇති ඔය හොයන්නෙ. ආයෙත් හන්දියට ගිහින් දකුණු පැත්තෙ පාරෙ 8වෙනි ගෙදර. ගිහින් බලන්නකො'.

වොට්සන් තක්බීර් වෙලා බලං ඉන්නව. මේ මිනිහා මේ පළාතෙ ග්‍රාමසේවකද? නොදන්න කෙනෙක් නෑ වගේ ටෝක්ස් දෙන්නේ. මේ කතාවෙන් ශර්ලොක් භානුක ආයෙත් ෆෝම් වුනා. වොට්සන්ව කුනු මාලු කෑල්ලක් වගේ ඇදගෙන මූ ආයෙත් දුවපි අර කියපු හංදිය පැත්තට. වොට්සන්ට බඩගිනියි, මහන්සියි, හම්මෝ මේ රහස් පරීක්ශක වැඩේ නම් මරණයක්.

කතාව දිග වැඩියි. ලබන සතියේ දෙවෙනි කොටසේ වොට්සන් මරණ බයෙන් තැතිගත් හැටි, ශර්ලොක් භානුක ගේ ලොමු දැහැගැන්වෙන බොරු, සහ මාරක හංදියේ නිළ නොළත් ග්‍රාමසේවකගෙන් බේරී ආ හැටි කියවෙනවා.

Sunday, June 24, 2012

සාපයෙන් මිදුනු උතුරේ මිනිස්සු

පහුගිය දවසක දන්න හඳුනන යහලුවෙකුගෙ ආයතනයකින් උතුරෙ කරන ව්‍යාපෘතියක ස්වෙච්ඡා සේවකයෙක් විදිහට මටත් උතුරු පළාතට යන්න ලැබුනා. මතක පොතේ මේ පිටුව වෙන් කරන්න යන්නෙ උතුරෙදි ලැබුනු අත්දැකීම් බෙදාහදා ගන්න.

පැහැබර අනාගතයක් වෙත දෑස් දල්වා...
අවුරුදු තිහකටත් වඩා වැඩි කාලයක් උතුරෙ මිනිස්සුන්ව පෙළපු සාපලත් යුද්ධය නිමා වෙලා අවුරුදු ගානක් ගතවෙලා ගියත්, ඒ පළාත් වල ඉන්න සාමාන්‍ය ජනතාවගෙ ජීවිතය තාමත් සාමාන්‍ය තත්ත්වය කරා එලඹෙමින් තිබුනා. නමුත් අඩුපාඩු බොහොමයි. හමුදාවෙ සහෝදරයො එකතු වෙලා තමන්ගෙ පඩියෙන් සල්ලි ටිකක් ඉතුරු කරලා සමහර තරුණයන්ට බයිසිකල් අරන් දීල තිබුන. මේ මිනිස්සුන්ට ‍යුද්ධය නිසා හැමදේම නැති වෙලා තිබුනු නිසා, ආපහු බිංදුවෙ ඉඳන් පටන්ගන්න වෙලා. ඔවුන්ගෙ ජීවිත් නැවත ගොඩනඟන්න හමුදාවෙන් ඉටුකරන මෙහෙය ඉතාම ප්‍රශංසනීය බව නොකියා බැහැ. හැබයි මොන දේ නැති වුනත් ඔවුන්ගෙ හිතේ සාමකාමී ජීවිතයක් ගතකරන්න තියෙන බලාපොරොත්තුව නම් නැති වෙලා ගිහින් තිබුනෙ නෑ.

වෙනදට කාර්යාලයෙ මේසෙට පුටුවට හිරවෙලා උන්නු අපි හැමෝම, මේ අසරණ වුනු අපේම සහෝදර සහෝදරියන්ට පිහිට වෙන්න ලැබීම ගැන ඉතාම සන්තෝශයට පත්වුනා. බරවැඩට හුරු නැති අතපය කැපුන, සීරුනා, අත්වල දියපට්ට ආවා වුනත්, කිසිම කෙනෙක් ඒ ගැන පැමිනිලි කලේ නැහැ. කවුරුත් තමන්ට පුළුවන් විදිහට ශ්‍රමදානෙට සහභාගී වුනා. ව්‍යාපෘතිය යටතෙ ගෙවල් පනහකට වැඩි ගණනක් හදන්න නියම වෙලා තිබුනා. ඒවායින් 80%කටත් වඩා පුනරුත්ථාපනය කරපු කොටි සාමාජිකයින්ගෙ පවුල් වලට බෙදාදෙන්න නියම වෙලා තිබුනෙ. අපිට ලැබුනෙ වැසිකිළි වලවල් කපන්න, අත්තිවාරම් වේයන්ගෙන් ආරක්ශා කරගන්න රසායනික තවරන්න, බදාම/කොංක්‍රීට් අනන්න, බාසුන්නැහෙලට ගඩොල්, බදාම ගෙනිහින් දෙන්න වගේ වැඩ. ගෙදර එනකොට මුළු ඇඟම රිදෙනවා. අතපයේ කෑලි නැහැ. කරගැටත් ඇවිත්. නමුත් සහභාගි වෙච්ච හැමෝම ආවෙ ඉතාම සතුටින්. අසරනයින්ට පුලුවන් තරමින් පිහිට වෙන්න ලැබුනා කියන සන්තෝසෙන්.

එයාලට එක සිංහල වචනයක් වත් බෑ. අපි දෙමළ දන්නෙ නෑ. නමුත් කොහොම කොහොම හරි දන්න දෙමළ වචන කීපයක් කියලා, අතින් පයින් කතාකරලා තමා වැඩ කරන්නෙ. වැඩවල කිසි අඩුපාඩුවක් නෑ.

අපි වැඩකරන අතරෙ අපට නොයෙක් සැළකිලි සංග්‍රහ. ඒ පළාතට ආවේණික පළතුරු, කුරුම්බා එහෙම හම්බවුනා. හප්පේ පළතුරු වල රස! පැපොල් ගෙඩියක් වුනත් පුදුම රසයි. වැස්ස අඩු නිසා වෙන්න ඇති.

මේ ගිය හැම ගමනකදිම මතකයා මේ දුප්පත් අසරණ මිනිස්සුන්ගෙන් පාඩම් ඉගෙන ගත්තා. ඒ එක පාඩමක් තමා මේ මිනිස්සු තමන් කරන වැඩේට බොරුකරන අය නෙවෙයි. හොරට වැඩ කෙරිල්ලක් නෑ. වැඩක් කරන්න ගත්තොත් ඒක හරියට කරනවා. අනුන් කියනකම් ඉන්නෙ නෑ. තමන්ම ඉදිරිපත් වෙලා කරනවා. තවත් දෙයක් තමයි ඔවුන් කරන වැඩක ඇති නිමාව. වළක් කැපුවත් ඒක හරියටම චතුරශ්‍රයක්, අංශක අනූවෙ කෝණ. නිමාව (Finishing) කියන දේ හරියට ආගමක් වගේ භක්තියෙන් කරන්නෙ.  ගිය කවුරුත් පුදුම වෙලා බලන් හිටියා.

මතකයා වැඩියෙන්ම පුදුම වුනේ පුංචි පැටියෙක් නිසා. මතකයා ඇතුලු පිරිස වැඩකරන තැනට සංග්‍රහ විදිහට දිවුල් හම්බවුනා. ගැට වුනත් පුදුම රසක්. කට්ටිය දිවුල් කාලා එක දිවුල් ගෙඩියක් ලඟ තිබුනු පුටුවක් උඩ තියලා තිබුනා. පුංචි දරුවො පිරිසක් අපි වැඩ කරනව බලන්නත්, සෙල්ලම් කරන්නත් ඒ අවට ගැවසෙමින් හිටිය. ඒ අතරින් පුංචි පුතෙක් ඇවිත් අපේ නඩේ කෙනෙක්ට ඇඟිල්ලෙන් ඇනල පුටුව පෙන්න පෙන්න මොකද්ද කියනව. 'තන්නි?' පුටුව උඩ තිබුනු වතූර බෝතලේ අතට ගන්න ගමන් අපි ඇහුව. ඔළුව දෙපැත්තට වනල නෑ කියල, අර පුංචි බබා, දිවුල් ගෙඩිය දිහාට ඇඟිල්ල දික් කරනව. අපි එයාට ඒක දුන්න. මතකයා පුදුම වුනේ ඒ දරුවගෙ පුංචි වයසට තිබුනු ආචාරශීලී කමට. ඉල්ලගත්තා මිසක් ගත්තෙ නෑ. ඒ විතරක් නෙවෙයි තමන්ට හම්බවුනු දිවුල් ගෙඩිය අනිත් අය එක්ක බෙදාගෙන කනව මතකයා බලාගෙන. මතකයා තවත් අත්දැකීමක් මතක පොතට එකතු කරගත්ත, පාඩමක් විදිහටම.

මොනවද ඕනෙ කියල වැඩිහිටි පිරිමින්ගෙන් ඇහුවම ඔවුන් ඉල්ල්න්නේ ඊලම් වත්, රටෙන් කෑල්ලක් වත්, පොලිස් බලතල වත් නෙවෙයි. ඔවුන් ඉල්ලුවෙ ඔවුන්ගෙ වගාකටයුතු සඳහා වතුරත්, බීජ පැලත් පමණයි. 'අපට වගාකරගෙන කන්න පුළුවන්', ඔවුන් එහෙම කියන්නෙ දැඩි ආත්ම විශ්වාසයකින්. ඒ ආත්මවිශ්වාසය හෙට දිනයේ අපේ රට ඉසුරුමත් කරවන්නට ලාංකික අප කාටත් දිරියක් වේවි.
සිවු හෙළයටම සතරවරම් දෙවි පිහිටයි!

(පින්තූරය ලබාදුන් සුභාශ් සහෝදරයාට මතකයාගෙන් නොවක් තුති)

Sunday, June 17, 2012

දියවෙන විදේශ සංචිත, අවප්‍රමාණය වන රුපියල සහ ණයබර

පහුගිය දොහක ලංකාවෙ මහ බැංකුව කියල තිබුන රුපියල ඇමරිකානු ඩොලරයෙන් 1/125ක තත්ත්වයට ඒවි කියල. නමුත් ලාංකික ව්‍යාපාරික ප්‍රජාව නම් ඒ ගැන වැඩි විශ්වාසයක් පළකලේ නැහැ. ලංකාවෙ විදෙශ සංචිත හැමදාම දියවෙලා යන එක තමයි වුනේ. ඇයි අපට එහෙම වෙන්නෙ? ඇයි අපි හැමදාම අනිත් රටවලින් ණයට ගන්නෙ? ඇයි රුපියල හැමදාම අවප්‍රමාණය වෙන්නෙ?
 
ඔය ප්‍රශ්ණ වලට මූලික වෙන ආර්ථික කාරණා බොහොමයි. නමුත් ඒ අතරින් වැදගත්ම දෙයක් තමයි, ලංකාවෙ ආනයන, අපනයනයන්ට සාපේක්ශව ඉහළ අගයක් ගැනීම. ඉතින් අපි මොකද කරන්නෙ? පිටරටින් බඩු ගෙන්නන එක තහනම් කරමු! පිටරටින් ගෙනෙන බඩු වලට ඉහළ බදු ගහමු! එහෙමත් නැත්නම් පිටරටින් ගෙන්වන බඩු වර්ජනය කරමු! එහෙම කරලා ගල් යුගයට යමු! 


ගෝලීයකරණය විසින් වෙලාගත්, ගෝලීයකරණය විසින්ම සැදූ න්‍යායන් මත පාලනය වන නූතන ලෝක ආර්ථික රටාව තුළ අපට ආනයනයන්ගෙන් තොරව නැගී සිටිය හැකිදැයි කල්පනා කර බැලිය යුතුය.

නීති දමා, බදු වැඩිකර ආනයනයන් පාලනය කිරීම රජයකට කළහැකි වුවත්, ඒ ආනයනයන්ගේ අවශ්‍යතාවය රජයකට පාලනය කල හැකිදැයි සිතා බැලිය යුතුය. කිසිවෙකු පිස්සුවට පිටරටින් භාන්ඩ ආණයනය කරන්නේ නැත. රට තුලින් සපුරාගත නොහැකි අවශ්‍යතාවයන් සපුරා ගැනීමට ආනයනයන් කරනු ලබයි. එහෙනම් නීතිරීති, බදු මඟින් අවශ්‍යතා පාලනය කරන්නට පුළුවන් විය යුතුය. නැත්නම් බඩයන්නට බෙහෙත් බීපු එකාගේ පස්සා පැත්ත මසා දැමුවාක් මෙන් අවශ්‍යතාවයන් ඉටු නොවීම තුලින් අනවශ්‍ය පීඩනයන් රට තුළ ඇති වෙයි. මීට කදිම උදාහරණය වන්නේ, ඉදිකිරීම් සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයක් වන වැලි, ගොඩදැමීම හා ප්‍රවාහනය සීමා කරමින් පැනවූ නිතිරීතීන්ය. වැලි නැතුව ගොඩනැඟිලි හදන්නට බැරිය. ගොඩනැඟිලි හදන තැන් වල වැලි නිධි පහල වන්නේද නැත. ගංගා පතුල වැලි ගොඩදැමීමෙන් විනාශවන බව ඇත්තකි. එහෙනම් එයට විකල්පයක් හොයනවා විනා අතීසාරයට අමුඩගසන්නා සේ වැලි ප්‍රවාහනයට, ගොඩදැමීමට අවහිරතා පැනවීම අණුවන කමකි. පමාවී හෝ මේ සත්‍යය වටහාගත් රජය මෑතකදී වැලි ප්‍රවාහනය සඳහා වූ නීති රීති ලිහිල් කලේය. ඒ වැටහීම වූ පාලකයන්ට ජය!

ආනයනයන්ටද කළ යුත්තේ මෙයම නොවේද? රජය හෝ මහ බැංකුව ඉදිරිපත් වී ලංකාවට වැඩිම වියදමක් දරා ගෙන්වන ආනයන භාණ්ඩයන් සොයා බලා, ඒ භාණ්ඩයන්ගෙන් සපුරාගන්නා අවශ්‍යතා සොයාබලා, ඒ සඳහා හැකිනම්, දේශීයව සොයාගතහැකි අමුද්‍රව්‍ය ඇසුරින් දේශීය ආදේශකයන් ලබාදිය යුතුය. දේශීයව මුළු අවශයතාවයම සපුරාගත නොහැක්කේ නම් ඉතිරිය පමණක් ආනයනයට ඉඩ දිය යුතුය. දේශීය නිශ්පාදකයන් ආරක්ශා කොට, ඔවුන්ට දිරි දී, දේශීය නිශ්පාදනය ඉහළ දැමීම තුළින්ම පමණකි අපට මේ සදානනික වූ ණය චක්‍රයෙන් ගැලවිය හැක්කේ.

හැම දෙයක්ම අපට අපේ රට තුළම නිෂ්පාදනය කරගත නොහැකි බව අප තේරුම් ගත යුතුය. එසේනම්, එබඳු දේ අවම මිළකට හා එම මිළට සරිලන තත්ත්වයෙන් (Quality) ලබාගත හැකි වෙළඳපළවල් සොයාගත යුතුය. අපේ ජනපතිතුමා ඉරාණයෙන් සහන මිළ යටතේ ඉන්ධන ලබාගන්නට කටයුතු කළ ආකාරය මෙයට කදිම උදාහරණයකි.

ආණයන භාණ්ඩයන්ගේ තත්ත්වය පරීක්ශා කර බැලිය යුතුය. තත්ත්වයෙන් බාල, ප්‍රයෝජනයට ගත නොහැකි භාණ්ඩ සඳහා අපේ රටේ මුදල් නිකරුනේ නාස්ති නොකළ යුතුය.

අපේ නිශ්පාදන සඳහා ඉහළම මිළක් ගෙවන වෙළඳපලවල් සොයාගත යුතුව ඇත. භාණ්ඩ වල වටිනාකම වැඩිකරන, තත්ත්වය ආරක්ෂා කරන ඇසුරුම් ක්‍රමවේදයන් අප පුරුදු පුහුණු කළ යුතුය. 

මේ කළහැකි දේ වලින් අල්පයකි. මේ දේවල් රජයට පමණක් කළ නොහැක. මහජනතාව ලෙස අපද අපේ ලක් මව උදෙසා කැපවී කටයුතු කළයුතු වෙමු. 

අපනයනයන් වැඩිවන තාක් රුපියල සඳහා වූ ඉල්ලුම වැඩි වන්නේ නැත. එනම්, එය දිගටම අවප්‍රමාණය වීම වැළැක්විය නොහැක. ආනයනයන්ට සාපේක්ශව අපනයනයන් වැඩිකර නොගන්නේ නම්, ලංකාවේ ගෙවුම් ශේෂය සෘණ අගයක් ගැනීම වැලක්විය නොහැක. ගෙවුම් ශේෂය සෘණ අගයක් ගන්නා විට විදේශ සංචිතයන් ගොඩනගන්නේ කෙසේද? ණය වලින්මය. ආණ්ඩුව අද ණය ගන්නේ ආසාවට නොව නොගෙන බැරි නිසාය. ඒකට ආණ්ඩුවට බැනලා වැඩක් නැත. ණය නොගන්නා තත්ත්වයට රට ගෙන ආ හැක්කේ අණ්ඩුවට නොව ඒ රටේ ජනතාවටය.

Saturday, June 9, 2012

දිනිති නඟාගෙ 'පටලැවිල්ල'

මේ පෝස්ටුව දාන්න හිතුනේ මතකයාගෙ හිතවතියකගෙ දස්කමක් ගැන හොරනෑවක් නඟන්න. බොරු සෝබන නැති කලාකාරයන්ට දක්ශකම් තිබුනත් තැනක් ලැබෙන්නේ අඩුවෙන්. ඒ දක්ශකම් වල තියෙන අඩුපාඩුවක් නිසා නොවෙයි, බොරු සෝබන නැතිකම නිසා. කළාකාමී උසස් රසවින්දනයක් ඇති ජාතියක් වුනු අපේ හෙළ කළාකෙත් පුරන් වෙන්න මේ හේතුවත් බලපාන්න ඇති. කිසිම තෙරුමක් නැති, අඩුම ගනනේ ශබ්ද රසයක් වත් නැති, ඇඟ හොල්ලන්න විතරක් නිර්මාණය වන සිංදු අතරෙ, අමාරුවෙන් හරි උඩුගංබලා පීනන තරුණ කළාකරුවො ඉන්නවා කියන එකත් වාසනාවක්. නිකන්ම නිකන් වචන පේළි, රසයක් නැති ඔක්ටොපෑඩ් සංගීතය මුසුවුන සිංදු අතරින් එහෙම අවංක නිර්මාණයක් හොඳින් කැපිල පේනව. මේ කියන්න යන්නෙත් ඒ වගේ උඩුගං බලා පීනන තරුණ කළාකාරියකගෙ නිර්මාණයක් ගැන.

මතකයා මේ කියන්නේ දිනිති බෝගොඩ ගායනා කරන 'පැටළුනා' ගීතය ගැන. නෑ නෑ මතකයට පැටළුනා නෙවෙයි. ඕක තමයි ගීතයෙ නම. ගීතයෙන් කියවෙන්නේ, නන්නාදුනන වංක ආදරය පස්සෙ ගිහින් ජීවිතය පටලවගත්තු තරුණියක් ගැන. මාතෘකාව ඉතාම කාලෝචිතයි. නූතන සමාජයේ මුල්බැසගෙන තියෙන 'රැවටිල්ල' සහ 'රැවටීමට භාජනය වන' අහිංසකයින් ගැන මේ ගීතයෙන් අනුකම්පාසහගත විවරනයක් කෙරෙනව. වසන්ත දුක්ගන්නාරාළ (දුකා) අතින් ලියවුනු සංවේදී පදපේළි අතරින් නැඟෙන අර්ථරසය වගේම රංග දිසානායකයන් අතින් සංගීත නිර්මාණය වුනු මේ ගීතයට දිනිති බෝගොඩ තම ගායන හැකියාවෙන් දායක වෙන්නෙ, අති සාර්ථක නිර්මාණයක් බිහි කරන්න.

මතක පොතේ පාඨකයන්ටත් මතකයා ආරාධනා කරනවා මේ ගීතය අහලම බලන්න...


Sunday, June 3, 2012

ඉන්ධන ඉතුරු කරගෙන වාහනේ යමු

අපි වාහන එලවන හැටි ගැන, common courtesies ගැන, බීල ගිහින්, නොබී ගිහින් වෙච්චි දේවල් එහෙම කතා කලානෙ. මතකයාගෙ පඩි පැකට්ටුවෙන් ලොකු ප්‍රතිශතයක් ඉන්ධන වලට වෙන් කරන්න වෙලා තියෙනව. කාලීන මාතෘකාවක් විදිහට, ඉන්ධන මිළ අහස උසට යන නිසාම ඉන්ධන ඉතුරු කරගන්න පුළුවන් විදිහවල් ටිකකුත් කතා කරමු.

1. හරිහමං එන්ජින් ඔයිල් එකක් පාවිච්චිය: අද වෙළඳපොලේ නොයෙක් නම් වලින්, එක එක මිළගණන් වලට නොයෙක් අවශ්‍යතාවන්ට හරියන විදිහට හදපු එන්ජින් ඔයිල් තියෙනව. ඉතින් ඔය අතරින් තමන්ගෙ වාහනයට හරියන ඔයිල් වර්ගය තෝරගත්තොත් 2% විතර ඉන්ධන ඉතිරියක් වෙනව කියල 'ෆෝඩ්' මෝටර් රථ සමාහම කරපු අධ්‍යයනයකින් හෙළිවෙලා තියෙනව. ඉතිං කොහොමද මේක කරන්නේ?


වෙළඳපොලේ තියෙන එන්ජින් ඔයිල් වර්ග අතර තියෙන ජනප්‍රිය වර්ග තමයි; සින්තටික් (Synthetic), සෙමි-සින්තටික් (Semi-synthetic), හා මිනරල්/මිනරල් මල්ටිග්‍රේඩ් (Mineral/Mineral Multigrade) යන වර්ග. මේවායේ තියෙන ගතිගුණ වෙනස්. එන්ජින් ඔයිල් එකක් තෝර ගැනීමේදි වැදගත්ම අංගය වෙන්න එහි ඝණත්වය (Viscosity).


තෙල් වල ඝණත්වය ගැන එහි ඇසුරුමේ සඳහන් කරල තියෙනව. ඔය දකුනු පැත්තෙ පිංතූරෙ තියෙන කෑන් එකේ නිල් පාට කොටුවක් ඇතුල සුදු පාට අකුරින් ලියලා තියෙන්නේ ඝණත්වය ගැන තමයි. අළුත් එන්ජිමකට නම් ඒකෙ නිෂ්පාදකයා නියම කරල තියෙන ඝණත්වය අනුව තෙල් යොදන්න ඕන. ඔය ලියල තියෙන්න තෙල් එක එක උශ්ණත්වයෙදි ඝණත්වය වෙනස්වෙන පරාසයක්. සාමාන්‍යයෙන් නම් අළුත් එක්ජිමකට දාන්නෙ කුඩා W අගයක් හා කුඩා පරාසයක් ඇති තෙල්. නමුත් එන්ජිමේ වයස අනුව (කොච්චර කිලෝමීටර් ගානක් දුවල තියෙනවද) කියන එක අනුව දාන්න ඕන තෙල් වල ඝණත්වය වැඩි වෙනවා. එහෙම කරන්න වෙන්නේ එන්ජිම කාලයක් දුවනකොට ගෙවෙන නිසා. පරන එන්ජිමකට ඝණත්වය අඩු තෙල් දැම්මොත් ඒ එන්ජිමේ ගෙවීම තවත් සීග්‍ර වෙනවා. ඒ වගේම එන්ජිමේ ඇතුලත නියමිත පීඩනය පවත්වාගන්න බැරි නිසා වාහනේ අදිනවා හොරයි. අළුත් එන්ජිමකට ඝණත්වය වැඩි තෙල් දැම්මොත් එතකොටත් එන්ජිමේ ගෙවීම තවත් සීග්‍ර වෙනවා.
ඝණත්වය වැඩි තෙල් වලින් එන්ජිමේ ක්‍රියාකාරිත්වයට අනවශ්‍ය ප්‍රතිරෝදයක් ඇතිකරන නිසා ඒත් වාහනේ අදිනවා හොරයි.

2. ටයර් වල හුලං: දැන් බලනව ඇති ටයර් වල හුලං නැතුව ගල් තියෙනවයැ කියල. තමන්ගේ වාහනයෙ නිශ්පාදකයා නියම කරපු රිම්/ටයර් සයිස් එකම පාවිච්චි කරන එක හොඳයි. නිශ්පාදකයා නියම කරන පීඩන අගයටම නියම විදිහට ටයර් වල හුලං පීඩනය තියාගත්තොත්, වාහනය ඉන්ධන ලීටරයකින් උපරිම දුරක් යාවි. ඒක වෙන්න මෙහෙමයි. ටයර් වල හුලං පීඩනය
නියම ප්‍රමානයවඩා අඩු වුනොත් ටයර් එකේ වැඩි පෘශ්ඨ ප්‍රමානයක් පාරේ ගෑවෙනවා. උවමනාවට වඩා වැඩි ඝර්ශණය මැඩගෙන ඉදිරියට යන්න එන්ජිමට වැඩියෙන් ඉන්ධන පුච්චලා වැඩි බලයක් යොදන්න වෙනවා. නියම ප්‍රමානය වැඩියෙන් හුලං පීඩනය තියාගත්තොත් අඩු පෘශ්ඨ ප්‍රමානයක් පාරේ ගෑවෙනවා, ඒක මාරන්තිකයි. මොකද බ්‍රේක් අහන්නේ නෑ. ටයර් වලටත් ඉතා හොඳයි නියම හුලං පීඩනය තියාගත්තොත්.

3. එන්ජිම නියම ලෙස සූසර කොට තබාගැනීම: (මොකක් යකෝ, මේක රේඩියෝ එකක්ද සූසර කරන්න?) හැම එන්ජිමක්ම කිලෝමීටර ගණනකට වරක් සූසර (නැත්නම් සිංහලෙන් කිව්වොත් ටියුන්) කලයුතුයි. මේක අපට කරන්න බැහැ. ඒ සඳහාම පුහුණු කරපු කාර්මිකයෝ ඉන්නව. ඒවට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර උපකරණ තියෙනව. එහෙම විශ්වාසදායී කෙනෙක් ලඟට ගිහින්
එන්ජිම සීරුමාරු කරගත්තොත් එන්ජිම උපරිමෙන් වැඩ කරයි.

4. වා පෙරණය පිරිසිඳුව තබාගැනීම: මේකට සිංහලෙන් කියන්නෙ 'එයා ක්ලීනර්' (Air Cleaner) එක කියල. දැන් මතක් වුනානෙ. මේක හරහා තමා එන්ජිම හුස්ම ගන්නේ. එන්ජිමට ඇදගන්නා වාතයේ තියෙන දූවිලි, බොරළු, කුණු පෙරලා පිරිසිඳු වාතය ලබාදීම තමා මේකෙ කාර්යය. අපේ රටේ සාමාන්‍යයෙන් දූවිලි අධිකයි. ඒක නිසා මාසයක
වරක් වත් වා පෙරණය පිරිසිඳු කරගත යුතුයි. ළඟම තියෙන සර්විස් සෙන්ටර් එකේ මල්ලි කෙනෙකුට රුපියල් 20-30ක් දීල කිව්ව නම් එයා ඔය වැඩේ කරල දෙයි. පිරිසිඳු කරන්නේ පීඩනයකින් යුත් හුලං පාරක් අල්ලලා. (කටින් පිම්බට බෑ.) වා පෙරණය පිරිසිඳුව තබාගැනීම ඔබේ නහය පිරිසිඳුව තබාගැනීම තරම්ම වැදගත්. නිකන් හිතල බලන්න නහය හිරවෙච්ච් දවසක බල්ලෙක් හපාකන්න එළවගෙන ආවොත් දුවද්දී හුස්ම ගන්න එක කොච්චරම අමාරුද කියල. එන්ජිමටත් ඒ වගේම තමා.

5. වායුසමීකරණයේ වා පෙරණය පිරිසිඳුව තබාගැනීම: මොකද්ද ඒ? මේ වා පෙරණය තියෙන්නේ අලුත් වාහන වල. පරණ ඒවයෙ මම දැකල නෑ. සමහර විට ඇති. ඔය දකුනෙන් තියෙන්න ඒ පෙරනය සාමාන්‍යයෙන් තියෙන තැන. පහළ රූප සටහනත් බලන්න.


ඔබේ වාහනයෙ වායු සමීකරණය වාහනය ඇතුලතින් හුලං ඇදල අරගෙන ශීත කරලා අත අරිනවා වාහනය ඇතුලටම. ඔහොම හුලං ඇදල ගන්න මෝටරයකින් වැඩකරන පංකාවක් (සිංහලෙන් කිව්වොත් ෆෑන් එකක්) තියෙනවා. ඇතුලත තියෙන වායුසමීකරණ උපාංග වල ආරක්ශාවට, අළුත් වාහන වල (2000න් වගේ පස්සෙ ආපු) වා පෙරණයක් තියෙනවා ඇතුලතින් ඇදල අරගත්තු හුලං පිරිසිඳු කරන්න
 වාහනය ඇතුලේ තියෙන දූවිලි හිරවෙලා මේකත් අවහිර වෙනවා. මේක සාමන්‍යයෙන් තියෙන්නේ වාහනයෙ ඩෑශ් බෝඩ් එකේ තියෙන ලාච්චුවට (glove compartment) ඇතුලෙන්. තමන්ටම ගලවලා සුද්ධකරගන්න පුළුවන්. නමුත් දන්නේ නැත්නම් වාහන වල වායු සමීකරණ අලුත්වැඩියා කරන තැනකින් කරගන්න පුළුවන්. ඔවුන් කරන දේ හොඳින් බලා හිටියොත් මේක ඔබටත් ගෙදරදිම කරගන්න පුලුවන්. 



6. අනෙකුත් කාලීන නඩත්තු: වාහනයෙ තියෙන අනිකුත් ඉන්ධන පෙරනයන්, ගියර් පෙට්ටියේ තෙල්, ආදියත් නියමිත කාලයේදී මාරු කරවා ගැනීම වැදගත්. මීට අමතරව පුහුණු කාර්මිකයෙක් ලවා වාහනය සර්විස් කරවා ගැනීම කරන්න පුලුවන්.

ෆෝඩ් ආයතනය කියන විදිහට සමහර වාහන වල ඉන්ධන පිරිමැස්ම 25%කින් වැඩිකරගන්න පුළුවන් නියමිත නඩත්තු හරියට කලොත්.
අපිත් අපේ රටේ සල්ලි නිකං අපරාදෙ පුච්චන්නේ නැතුව ගෙවන මුදලින් උපරිම ප්‍රයෝජනේ ගනිමු.

ඔබේ අත්දැකීමුත් අපිත් එක්ක බෙදාහදාගන්න. අපේ රට අවුරුද්දකට ඉන්ධන වලට කොච්චර නම් විදේශ සංචිත දිය කරනව ඇත්ද? ඒකෙන් ටිකක් වත් ඉතුරු කරගන්න ඇත්නම්...

Sunday, May 27, 2012

ග්‍රැෆික් බුවාගේ මොඩ් මණමාලි

මේ කතාවෙ කතානායක හාදයා ග්‍රැෆික් ඩිසයිනර් ( පරිඝණක ආශ්‍රයෙන් කරන චිත්‍ර/පිංතූර වැනි නිර්මානාත්මක දේ කරන ) කෙනෙක්. මිනිහට හැම දේම නියම පිළිවෙලට තියෙන්න ඕනා. පුංචි ඇදයක්, පලුද්දක්, වෙනසක් වුනත් හොඳින් පේන උකුසු ඇස් දෙකක් තමා මිනිහට තියෙන්නෙ. මිනිහගෙ රැකියාවට මේ සුවිශේෂ හැකියාව බොහොම වටිනවා. මිනිහ හදපු පරිඝණක පිටු/චිත්‍ර සැකැස්මක කිසිම වරදක් කියන්න බැහැ. මිනිහ හදපු දෙයක් දැක්ක ගමන් හඳුනගන්න පුලුවන් තරමටම මේ හැකියාව විශේෂයි.

රැකියාවට කොහොම වුනත් මිනිහගේ මේ හැකියාව මිනිහටම කරදරයක් වෙන වෙලාවලුත් තිබුනා. ලෝකෙ තියෙන බොහොම දේ ඉතින් සර්ව සම්පූර්ණ කලාත්මක දෙවල් නෙවෙයිනෙ. ඔන්න ඔහොම අසම්පූර්ණ, කලාත්මක නැති දේ මිනිහට ඇලජික් වගේ. දැක්කම පලු දානවා. ඔය හේතුව නිසාම මිනිහට ලේසියෙන් කෙල්ලෙක් වත් හිතට අල්ලන්නෙ නෑ. පව් අහිංසකයා, මිනිහගෙ හැකියාව නිසාම හිත හදාගන්න බැරිව ළතවෙවී හිටපු දවස් අනන්තවත් ඇති.

 
දවසක් මිනිහා අපිට කිව්වා, "මචං මම හෙට මනමාලියක් බලන්න යනවා, ෆෝන් එකෙන් වත් පොටෝ එකක් අරන් එන්නම්", කියලා. බුවාගෙ හැටි දන්න නිසා අපිත් කැමැත්තෙන් හිටියා කෙල්ලව බලන්න. මොකද මූට හිතට අල්ලනවා කියන්නෙ අනිවාර්යයෙන් පට්ටම ලස්සන කෙල්ලෙක් නෙ. තවත් දෙයක්, මේකා පින්තූර වල කොලිටිය ගැන උනන්දු නිසාම පාවිච්චි කලෙත් හොඳම කැමරාවක් තියෙන ෆෝන් එකක්. අපි ඒ දවස්වල ඒකට කිව්වෙ 'ෆෝන් කැමරාවක් නෙවෙයි, කැමරා ෆෝන්' එකක් කියල. ඉතින් ඕකෙන් ගන්න පින්තූරත් අපි ලඟ තිබ්බ ලඩි ෆෝන් වලින් ගන්න ඒව වගේ නොවෙයි, හොඳ පැහැදිලි
යි.

ඊලඟට බුවා මුණගැහිච්ච දවසක ෆෝන් එකෙ තිබිල පෙන්නුව ගෑනු ළමයෙකුගෙ පින්තූරයක්. කෙල්ලගෙ වරදක් නැහැ පෙනුමෙන් නම්. නමුත් ඒක අපේ ස්ටෑන්ඩඩ් එක නෙ. බුවාට නම් කෙල්ලව හිතට මදි වගේ. ඔය පිංතූරෙ බලබල මොනවද මුමුන මුමුන හිටියා. ටික දවසකට පස්සෙ වෙන යාලුවෙක් එක්ක කතා කර කර ඉන්න ගමන් ග්‍රැෆික් බුවාගෙ මනමාලි ගැන කතාවත් ඇදිලා ආවා.

"මචං අරූට සිරාම ලස්සන කෙල්ලෙක් සෙට් වෙලා නේද?"
"ඈ... ඒ කවද්ද?"
"මේ ළඟදි ඌ කෙල්ලෙක් බලන්න ගියෙ බං, ඇයි අපිටත් කිව්වෙ, මෙදා පාර නම් පට්ටම ලස්සන කෙල්ලෙක් බං හම්බ වෙලා
තියෙන්නෙ, මම හිතන්නෙ ඌ ඔය කෙල්ලව බඳී"
"මේ ළඟදි බලන්න ගිය කෙල්ල? ඌ කියපු විදිහට නම් බඳින එකක් නෑ"
"පලයං බං යන්න, ඒ කෙල්ලගෙ මූණ නිකන් වාත්තු කරලා වගේ බං එක කුරුලෑවක්, තිතක් නෑ. පොටෝ එකට ඔච්චරම ලස්සන නම් ඇත්තට මාර ලස්සන ඇති.
ඒ කෙල්ල බැන්දෙ නැත්තං මම බඳිනවා, අම්මප..."

මේ කතාවෙන් පස්සෙ මං හිතුවෙ අපේ ග්‍රැෆික් බුවා තවත් මණමාලියක් බලන්න ගිහින් කියල මටත් නොකියම. පෞද්ගලික දෙයක් නිසා බුවා කිව්වොත් මිසක් මේ ගැන අහන්නත් බෑ. කොහොම වුනත් මේ කියන පින්තූරේ බලන්න මටත් පුදුම ආසාවක් ආව මේ ගැන කියූ මිත්‍රයාගේ විතරය නිසා. මේ ගැන හිතේ නෝට් එකක් දමාගත් මම හෙමිහිට වෙලාවක ග්‍රැෆික් බුවාගේ මේ ගැන ඇහුවම බුවා කිව්ව ඒ ගෑනු ළමයා ගැන අදහස අත්හැර දැම්ම කියල.


මම, මේ ගැන හාරවුස්සන්නට නොගියත්, මා හා කලින් කථාකල යහලුවා මේ විස්තරේ දැනගත්තම පුදුම වුනා. 
"යකෝ මූ වගේ පිංගුත්තරයෙක්, ඔච්චර ලස්සන කෙල්ලක් වත් මූට ලස්සනට පේන්නේ නැත්නම් මූගෙ ඇස් වල දෝසයක් ද කොහෙද. ඔහොම ඉඳපන් ඌට එපානම් මම යනවා ඔය කෙල්ලව බලන්න...". යහලුවා වැඩේ ගැන ෆුල් සීරියස්. 

පස්සෙ වෙලාවක යහලුවා ග්‍රැෆික් බුවාට හොඳටම බැනවැදී ගැහැණු ළමයාගේ වතගොතයි ෆොටෝ එකයි ඉල්ලගෙන තිබුන.

එහම ඉල්ලගත්තු ෆොටෝ එක යාලුවා මටත් පෙන්නුව. "බලපන් මූට මේ වගේ කෙල්ලෙක්වත් ලස්සන නැත්නම් ඉතින්, කෙල්ලො ඒරොප්පෙන් ගේන්න වෙයි."

පින්තූරෙ දැක්කම මාව හොල්මන් වෙලා ගියා. ඒක මට ග්‍රැෆික් බුවා කලින් පෙන්නපු පිංතූරෙම තමා. නමුත් එහෙමත් නෙවෙයි වගේ. යහලුවා කිව්වා වගේම මුහුණ වාත්තු කලා සේ රන්වන් පාටයි, කම්මුල් ලා රෝස පාටයි. කලින් දුටු පින්තූරෙ තිබුනු කුරුලෑ කලැල් මොකුත් මේ පින්තූරෙ නෑ. ඇස් දෙකත් අමුතුම ලස්සනකින් බබලනවා වගේ. මේ පිංතූරෙ දැක්කම ඕන කොල්ලෙක් පිස්සු වැටෙනවා තමා. හැබැයි හිටියේ කලින් පින්තූරෙ ඉඳපු කෙනාම තමා. දැන් ලස්සන වෙලා. පට්ටම ලස්සන වෙලා.

මොකක් හරි විනාසයක් වෙන්නට යන බව ඉවෙන් වගේ තේරුනු නිසා මම මිතුරාට මොකුත් නොකියා ග්‍රැෆික් බුවා සොයා ගියෙමි. "උඹ අරූට දුන්නෙ මට පෙන්නපු ෆොටෝ එක නෙවෙයි නේද?"
  

ටිකක් වෙලා කල්පනා කළ ග්‍රැෆික් බුවාගේ මූන එක්වරම වෙනස් විය. එහි වූයේ අමතක වූ යමක් සිහි වූ බැල්මකි. "මේ.. මට ඒ කෙල්ලව ඇල්ලුවෙ නෑ නෙ මචං. පස්සෙ මම පොඩ්ඩක් එයාගෙ ෆොටෝ එක ටච් (touch) කලා කම්පියුටරේට දාලා, නිකන් කොහොම වෙයිද බලන්න. ඔරිජිනල් එක මගෙ අතින් මැකිච්ච නිසා එඩිට් (edit) කරපු එක තමා මම අරූට දුන්නෙ."

දෙයියෝ සාක්කි. ග්‍රැෆික් බුවා මුල්  පින්තූරය පරිඝණකයට ඇතුලත්කොට වෙනස් කොට ඇත. ( අද වනතෙක් ඔහු එසේ කලේ ඇයි දැයි මට හිතාගත නොහැක ). වෙනස් කරන ලද පින්තූරය සැබෑ ගහැණු ළමයාට වඩා ඉතාම ලස්සනය. ග්‍රැෆික් බුවාගේ වැඩක් නිසා අඩුපාඩු නැත. මේ පින්තූරය දැක අපේ යහලුවා හිතලා තියෙන්න කෙල්ල ඇත්තටම පින්තූරයේ ඉන්නා තරම්ම ලස්සන බවයි.
 
යහලුවාට ඇත්ත එළිකරලා සිදුවෙන්න යන විනාසය නවත්තන්නට බාර වුනේ මට (ඇයි මටම මෙහෙම වෙන්නේ). මං විස්තරේ කිව්වම යාලුවා පුදුම වෙලා ඇස් දෙක දොට්ට දාගෙන අහගෙන හිටියා. මුලින් මේ කතාව විස්වාස කලේම නෑ. ඒත් පින්තූරෙ ආයෙත් පෙන්නලා ටිකක් තාර්කික විදියට විස්තර කලාම යාලුව කතාව පිළිගත්ත. කොහොම වුනත් මිනිහ ග්‍රැෆික් බුවාගෙ වැඩ ගැන දන්නව. කොහොමෙන් කොහොමන් හරි යාලුව පස්සෙ දවසක ග්‍රැෆික් බුවාට පැත්තකට කතා කරලා හොඳ ලුණු ඇඹුල් ඇති වචනයෙන් ස්තුති කර තිබුන.




Friday, May 25, 2012

මතකයාට සතුටු දවසක්

හප්පේ... මතකයාට සතුට වැඩිකමට කොහෙන් පටන්ගන්නද කියලා හිතාගන්න බැරුව පැය ගානක් තිස්සේ බයිලා ලියලා, මකලා අන්තිමේ හිතට දැනිච්ච දේ ඒ විදිහටම ලියනවා කියලා හිත හදාගත්තා...

මතකයා ඔෆිස් එකේ නාගෙන වැඩකරන අතරේ ලොක්ක එහෙ මෙහෙ වුනු වෙලාවක හොරෙන්ම ඊලඟ පෝස්ටුව කොටන්න හිතාගෙන මතක පොත පැත්තට ඇවිත් බැලුවා. මතක පොත වෙනදාට වඩා ලස්සන වෙලා වගේ කියලා හිතිච්ච නිසා පොඩ්ඩක් එහෙට මෙහෙට ස්ක්‍රෝල් කරලා බැලුව. කිරි අප්පට බල්ලො පැනපි... අපේ දුමී අයියා නේද මේ කමෙන්ටුවක් දාල තියෙන්නේ, ඒ මදිවට මාරයා අයියත්..., තව සහෝදර සහෝදරියො සෙට් එකක්ම... හම්මේ... මෙහෙම සන්තෝස දවසක්...

මතකයාට සතුට වැඩිකමටම එකපාරටම පුටුවෙනුත් නැඟිටුනා. කොච්චර වේගෙන් නැඟිට්ටද කියනවා නම් පුටුව පෙරළුනා. දඩබඩාස්... ඔෆිස් එකේ කට්ටිය එහෙන් මෙහෙන් එබිලා බලනවා. මතකයා පුටුව කෙලින් කරලා තියලා ඊට පස්සේ කියුබිකල් අතරෙ තියෙන ඉඩේ එහෙට මෙහෙට ඇවිදිනව. (පස්සේ යාලුවෙක් කිව්ව, ඒ වෙලාවෙ මතකයාගෙ කට කනේලු තිබුනෙ). මතකයා සතුටටත් එක්ක ප්ලේන්ටියක් බොන්න හිතුවා. කලබලේට යාලුවන්ට අඬගහන්නත් අමතක වෙලා, තනියෙන්ම ගිහින් ඔෆිස් එකට ඇතුළු වෙන්න තියෙන තඩි වීදුරු දොරේ දඩාස් ගාල හැපුන... මූන රොටිය වගේ වෙන්න හැප්පුනත්, මතකයාට නම් ගානක්වත් නෑ. ඉහේ මලක් පිපුන වගේ සන්තෝස දවසක් මේක.

මතකයා අමාරුවෙන්,
අමාරුවෙන් ලියාගෙන ගිය බ්ලොග් එකට එකතුවෙලා, කමෙන්ටු දාලා මතකයාව දිරිගන්වපු ඔයාල හැමෝටම මතකයා නිහතමානීව හිස නවලා ආචාර කරනවා. ඔයාල ලියන හැම කමෙන්ටුවක්ම මතකයාට රටක් වටිනව. ඒ හැම කමෙන්ටුවකටම මතකයාගෙන් හද පිරි තුති.

දිගටම මතක පොත එක්ක ඉන්න කියලා ආරාධනා කරන ගමන්, මතකයාගේ අඩුපාඩු එහෙමත් පෙන්නලා දෙන්න කියලා නිහතමානීව ඉල්ලනවා. මතකයා සිංහල බ්ලොග්කරනයට තාම කිරි කෝඩු...

Saturday, May 19, 2012

බිල් ගේට්ස්ට වෙන්නට ගිය වින්නැහිය

මේ කියල කාලෙ වින්ඩෝස් ඔපෙරේටින් සිස්ටම් එක සීග්‍රයෙන් ජනප්‍රිය වෙන්න පටන්ගෙන තිබුනා. මයික්‍රොසොෆ්ට් කියන වින්ඩෝස් නිශ්පාදනය කරන ආයතනය ගැනත් නොයෙක් විස්තර පැතිරෙන්න ගත්තා. ඉන් එකක් තමා මයික්‍රොසොෆ්ට් ආයතනයේ අධිපති 'බිල් ගේට්ස්' ඒ ආයතනයට හොඳ මොලකාරයන් සොයන ආරංචිය. කතාව පැතිරුනු හැටියට ඉංදියාවෙ විශ්වවිද්‍යාලවල ඉගෙනගන්න කොල්ලො කෙල්ලන්ව ඉන්ටවිව් කරලා, ලොකු පඩි එක්ක රස්සාවට ගන්නවා. ඉතින් පරිඝණක තොරතුරු තාක්ශණ උපාධිය හදාරමින් හිටපු අපේ කොල්ලො කෙල්ලන්ගෙත් එකම සිහිනය වුනේ මයික්‍රොසොෆ්ට් එකේ ජොබ් එකක් අරගන්න. ඉතින් කොහොමද මේක කරන්නෙ? මොකෝ මයික්‍රොසොෆ්ට් එක දන්නවයැ අපේ කට්ටිය ගැන. පස්සෙ තමයි දැනගන්න ලැබුනෙ කට්ටිය හොරෙන් හොරෙන් 'බිල් ගේට්ස්' ට ඊ-මේල් යවනව කියලා. මම හිතන්නෙ නෑ මුන් එකෙක්ට වත් ඇත්ත 'බිල් ගේට්ස්'ට හම්බෙන්න එක ඊ-මේල් එකක් වත් යවන්න පුලුවන් වෙන්න ඇති කියලා. කවුරු හරි පිස්සෙක් 'බිල් ගේට්ස්' කියලා හදපු ඊ-මේල් එක්කකට ඔක්කොම යන්න ඇති.


කොහොම හරි මගේ හිතවත්ම බැචෙකුත් හොරෙන්ම 'බිල් ගේට්ස්' ට ඊ-මේල් යවලා. කාලයක් තිස්සෙ ඊ-මේල් යැව්වත් එක උත්තරයක් වත් නෑ. දවසක් මූ ඉන්නවා කැන්ටිමේ පුටුවක් උඩට වෙලා කළකිරිලා;
"මොකෝ මචං, සෑඩ් මූඩ් එකේ?"

"බලපන් බං මම 'බිල් ගේට්ස්' ට ඊ-මේල් කීයක් යැව්වද? අඩු ගානෙ  ඊ-මේල් එක හම්බ වුනා කියලා වත් රිප්ලයි එකක් එවන්න තිබ්බනෙ."

"අල්ලලා දාපන් බං, ඔය ඊ-මේල් ඇඩ්‍රස් එක ෂුවර් එකටම වැරදි ඇති."

"මම මේ කල්පනා කලේ ඔය 'බිල් ගේට්ස්' කාරයා කරන දේම මමත් දවසක ඕකට කරනවා."

"ඒ කියන්නෙ බිල් ගේට්ස් උඹට රිප්ලයි කලහම උඹ ගණන් ගන්නෙ නැතුව ඉන්නව?"

"නෑ නෑ, එහෙම කරන්නේ නෑ. ඕකා කරන්නෙ තමන්ගෙ කොම්පැනියට තරඟයක් දෙන කොම්පැනි ඔක්කොම සල්ලි වලට අරන් වහලා දාන එක නේ. මමත් දවසක ඔය මයික්‍රොසොෆ්ට් එක සල්ලි වලට අරන් වහල දානව".

"එතකොට ඔක්කොම හරිද?"

"ඊට පස්සෙ බිල් ගෙට්ස් ව, ගෙදර යවනවා, ගෙදර තියෙන වැඩක් බලාගෙන ඉන්න කියල. ඌ ගෙදර ඉන්නකොට ඌට තේරෙයි, වයිෆ් උදේ හවස බනිනකොට."

"ඉතින් බං උඹට බනින්න වයිෆ් කෙනෙක් නෑ නෙ. උඹ තාම බැඳල නෑ නෙ."

"මම බැඳල නැති වුනාට අපේ තාත්තා බැඳලනෙ බං. තාත්තාට කණක් ඇහිලා ඉන්නත් නෑ, මට කණක් ඇහිල ඉන්නත් නෑ." 

ඕං ඔහොමයි ලංකාවෙ ගෑණියෙකුගෙ කට නිසා බිල් ගේට්ස් රස්සාවත් නැති කරගෙන, කොම්පැනියත් වහගෙන, වයිෆ්ගෙනුත් පරිප්පු කන්න ගිහින් අනූ නවයෙන් බේරුනේ

Sunday, May 13, 2012

ලෝක මව්වරුන්ගේ දිනය

අද ලෝක මව්වරුන්ගේ දිනය. ලෝකෙ තැන් තැන්වල නොයෙක් දින මේ සඳහා සම්මත කරගෙන තිබුනත්, සාමාන්‍ය ලෝක සම්මතයක් විදිහට මැයි මාසෙ දෙවෙනි ඉරිදා 'ලෝක මව්වරුන්ගේ දිනය' කියල පිළිගන්නව.

මේ බව මූනු පොතේ මගෙ මිතුරෙක් මතක් කරල තිබුන. අවුරුද්දේ 365 දවසෙන් එක දවසක්... එකම එක දවසක් අපි අම්මාවරුන්ගේ දිනය කරගෙන. අවුරුද්දේ 365 දවසම, අවුරුදු ගනණාවක් තිස්සෙ තමන්ගෙ දාඩිය, මහන්සිය, කඳුලු මතින් අපි කාගෙත් ජීවිත් ගොඩනඟපු අපේ රත්තරං අම්මල වෙනුවෙන් එක දවසක් විතරක් වෙන් නොකර, අපේ ජීවිතේ හැම දවසකම ටික වෙලාවක් හරි වෙන් කරන එක හොඳයි කියලා තමයි මතකයාට හිතෙන්නේ. බටහිර බහුතරයක් මව් වරුන්ට වඩා මේ ලංකාවෙ අපේ අම්මලා තමන්ගෙ සැමියා, දරුවන් විතරක් නෙවෙයි රට වෙනුවෙන් කරන සේවය ඉතා විශාලයි. ඉතින් එහෙව් අපේ මව් වරුන් වෙනුවෙන් එක දවසක් මදි නේද?

ගතානුගතිකව අපේ සමාජය රඳාපවතින්නෙ අපේ මව් වරුන් විසින් ඉටු කරන අනන්ත වූ සේවය මත. අපේ ජාතියේත්, සංස්කෘතියේත්, පවුල් සංස්ථාවේත් මුර දේවතාවිය තමයි අම්මා. පිරිමි පිළිගත්තත්ත් නැතත්, අපේ හෙළ සමාජය මාතෘමූලික සමාජයක්. (මේ ගැන මීට කලිනුත් මතක පොතේ ලියවුනු බව මතකයාට මතකයක් ඇත.)

හෙළ මව් වරුන් විසින් ඉටුකරන්නා වූ නිහඬ සේවය, ඒ නිහඬ බව නිසාම අපට අමතක වේගෙන ගිහින්. ඒ ගැන කෙනෙකුට දැනෙන්නේ තමන්ගෙ රත්තරං අම්ම තවදුරටත් ඒ සේවය කරගන්න බැරි තරමටම දුර්වල වුනාම, එහෙමත් නැත්තම් සදහටම වෙන්වෙලා ගිය දවසට. අපි මොහොතකට හිතල බැලුවොත්, අපේ මව් වරුන් අතින් දෛනිකව ඉටුවන සේවය කොතරම්ද? ඇය රැකියාවක් කළද, නොකළද, ඇය අතින් රටට ඉටුවන සේවය අති මහත්. භාර්යාවක්, මවක් වශයෙන් ඇය ගෘහය පිළිබඳ සියලු කටයුතු සොයාබලන්නීය. ගෙදරදොර අස්පස් කිරීමේ, පිරිසිඳු කිරීමේ සිට, ආහාර පිලියෙළ කිරීම දක්වාත්, දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ සොයාබැලීමේ සිට, ගේදොර වියහියදම් පාලනය දක්වාත් සියලු කටයුතු ඇය අතින් සිදුවේ. අද මේ කටයුතු ආයම්මා අතට පත්වන්නේ මව්වරුන්ටද මුදල් හම්බකිරීමේ ආර්ථික සටනට උරදෙන්නට සිදුවන බැවිනි. නමුත් වැඩිපුර සොච්චමක් හම්බ කරගන්නට අප බිල්ලට දී ඇත්තේ පව්ලේ අනාගතයයි. කිසිදු ආයම්මා කෙනෙකුට අම්මාගේ අඩුව පිරිමහන්නට බැරිය. අම්මා තරම් ආදරයෙන් පරෙස්සමෙන් ආයම්මලාට කටයුතු කරන්නට බැරිය. එනිසා ඒ අඩුව සදහටම රස්සාවල් කරන අම්මලා ඉන්නා පවුල් වලට දැනෙනු ඇත. අනෙක් අතට මව්වරුනට ආර්ථික සටනට උරදෙන්නට සිදුව ඇත්තේ පවත්නා වූ තරඟකාරී ආර්ථික රටාවට පින්සිදුවන්නටය. තරඟකාරී ආර්ථික, සාමාජික තත්ත්වය නිසා සංකීර්ණ වන්නා වූ පවුලේ අවශ්‍යතා සපුරාලන්නට තාත්තාගේ ලේ කඳුලු තවදුරටත් ප්‍රමානවත් වන්නේ නැත.

අදටත් ගෘහණියක්/මවක් පමණක් වී තම වගකීම් සම්භාරය ඉටුකරන හෙළ කුළ කාන්තාවන් දක්නට ලැබීම වාසනාවකි. ඇය රටට කරන්නාවූ අතිමහත් සේවය මෙබඳු ලියන් නොමැති කලක රටට හොඳින්ම දැනෙනු ඇත. ඇය රැකියාවක් කර මුදල් උපයන්නේ නැතත්, ඇය තම සැමියා රැකියාවෙන් උපයන මුදල් අරපිරිමැස්මෙන් යුතුව වියහියදම්කිරීමම විශාල සෙවයක් නොවන්නේද? අනෙක් අතට බලන කල ඇය රැකියාවක් නොකලත්, අපේ රටේ ශ්‍රම හමුදාවම පෝශණය කරන්නී, ලකලැහැස්ති කොට සේවයට යවන්නි ඇයම නොවේද? ඉතින් එහෙව් අපේ මව් වරුන් වෙනුවෙන් එක දවසක් වෙන් කිරීම ඇද්ද?

සිව් හෙළයටම හෙළ මව් වරුන්ගේ පිහිටයි!

Saturday, May 12, 2012

පුලියා ගැන කතා 2: නම්බුනාම ලැබීම

කලිනුත් කියෙව්වනෙ 'පුලි' ගැන කතාවක්. මූ රට ගිය අලුත නම් අපිට ඊ-මේල් එහෙම එව්වා. ඒවා වල අන්තිමට ලියලා තිබ්බෙ මුගෙ නම 'පුට්ලර්' එහෙමත් නැත්නම් 'පුලිටෝ මුසලිනි' විදිහටයි. හැම මගුලකම ඉස්සරහට මුගේ නමේ මුල් අකුර 'පු' යන්න දාන්න මූ පුරුදු වෙලා හිටියා.කවුරුත් නිතරම පුලියට කියපු දෙයක් තමා ඔය 'පු' යන්න හැම තැනකටම දාන පුරුද්ද නම් හොඳ නෑ කියන එක; ඇයි වැරදිලා වත් නරක තැනකට 'ක'යන්නක් වැටුනොත්. ;) පුලී ගැන හැඳින්වීම නම් ඇති මගෙ හිතේ, කතාව පටන්ගමු;

මේ සිද්ධිය වෙනකොට උතුරෙ යුද්ධෙ ටිකක් සැරට ඇවිලිළා යනව. ප්‍රවෘත්ති වලටත් නිතරම උතුරෙ එක එක තැන්වල නම් කිය කිය, එතනදි, මෙතනදි සටන් ඇතිවුනා කියල කියනව. ඔය අතරෙ එක දවසක් ලෙක්චර් ඉවර වෙලා පුලියා දවල් කෑමට කැන්ටිමට යනකොට කියපි උගේ නම තිබ්බයි කියල ලංකාවෙ ගමකට. බඩගින්නෙ එතන හිටපු එවුන් ඔක්කොම නිකන් තෝන්තුවෙලා ගියාවගෙ වුනා.

'අනේ පලයන් බං උඹේ නම ලංකාවෙ ගමකට දාන්න ඒ ගමේ ඉන්න මිනිස්සුන්ට පිස්සුද?'

ඔන්න ඉතින් පුලියා අන්දකයිප්පු කාලා වගේ කියවන්න ගත්ත.
'නෑ නෑ, මේ නම දැම්මෙ දැන් නෙවේ. හුඟ කාලෙකට ඉස්සර. මං හිතන්නෙ මම මීට කලින් ඉපදිලා ඉන්න ඇත්තෙ එහෙ. මම කවදත් මිනිස්සුන්ට පිහිටවෙන නිසා මගෙ නම තියලා තියෙනව ගමට'.

'ඉතින් උඹ කොහොමද ගිය ආත්මෙ නම දන්නෙ?'

'හා... මගෙ නම හරි ශ්‍රේෂ්ඨ නමක්නෙ. ඉතින් මම දිගටම මේ නම තමා දාගෙන ආවෙ'. මූ හරියට කියන්නෙ උපන් ගමන් අම්මට කතා කරලා 'අම්මෙ මට පුලි... කියලා නම තියන්න' කිව්ව වගේනෙ. හැබයි ගොයියගෙ හැටි දන්න නිසා කවුරුවත් වාද කරන්න ගියෙ නෑ.

'ඒ කියන්නෙ උඹ ගිය ආත්මෙත් පුලි...'

'ඔව්, ගිය ආත්මෙ විතරක් නෙවෙයි, කලින් ආත්ම ඔක්කොගෙම මම පුලි... තමා'.

'හරි දැන් ඔය අවාසනාවන්ත නම තියෙන ගම තියෙන්නෙ කොහෙද?'

පුලියට කෙන්තියි. ඔරවලා බලනව. 'ඕනෙ නෑ, උඹලට වටිනකමක් නෑ ඒ ගමේ මිනිස්සුන්ට වගෙ.' ඔන්න පුලියා අගේ කරන්න පටන්ගත්ත. මූ දැන් දිගට හරහට ගමේ මිනිස්සුන්ගෙ ගුණ වර්ණනා කරනව. තමන්ගෙ හොරනෑව තමන්ම ගහගන්නව වගේ, ඒ අස්සෙ 'පුලි'ගෙ ගුණ වර්ණනාවත් යනව. කොහොමෙන් කොහොමෙන් හරි කෑම කාල ඉවරවෙනකන්ම මූ ඔය කතාවම තමයි. හැබයි කිව්වෙ නෑ මොකද්ද මේ අරුම පුදුම ගම කියල අපි අහල නැති.

අන්තිමේදි කාල ඉවර වෙලා ඊලඟ ලෙක්චර් එකට යනගමන් කට්ටියම පින්සෙන්ඩු වෙලා මුගෙන් ගමේ නම ඇහුව.

පුලිය කියනව, 'මමත් මේක දැනගෙන හිටියෙ නෑ. ඊයෙ හමුදාවෙන් තමයි මටත් කිව්වෙ'.

වැඩේ අපි හිතුවට වඩා සීරියස් වගේ. කවුරු හරි පිස්සෙක් 'පුලිගම' වගෙ නමක් දාලද කියල ෂුවර් නැති තත්ත්වයක් තමා උදාවේගෙන එන්නෙ. 'උඹට ආමි එකෙන් කෝල් කරලද කිව්වෙ?'

'නෑ නෑ. මේක කිව්වෙ ඊයෙ රෑ TV එකේ ප්‍රවෘත්ති වලට. එතකොට තමා මාත් දන්නෙ'.

'ඉතින් අපිත් ප්‍රවෘත්ති බැලුවනෙ. ඔහොම එකක් නම් කිව්වෙ නෑ'.

'අන්න ඒක තමා කියන්නෙ, උඹලගෙ අවධානය බිංදුවයි. කොහොමද ඔහොම ඉගෙනගන්නෙ?'

'හරි හරි, අවධානය  තියෙන එකා කියපන්කො'.

'උඹල දන්නවද ඊයෙ දරුණුවට සටන් තිබ්බෙ කොහෙද කියල?'

'මතක නෑ බන්. අපේ අවධානය බිංදුවයිනෙ.'

'ඊයෙ දරුණුවට සටන් තිබ්බෙ මගෙ නම තියෙන ගමේ, පුලියන්කුලමෙ'.

Thursday, May 3, 2012

පාර දිගට එළි බල බල... පසුවදනක්

මේ පෝස්ට් එක (පාර දිගට එළි බල බල...) කියවපු මගේ හිතවතෙක් එක්ක කරපු සංවාදයක් නිසා මේකට පසුවදනක් එක්කරන්න හිතුනා.

බොහොම දෙනෙක් වාහන එලෙව්වට ලංකාවෙ මාර්ග නීති ගැනවත් පොදු දේපළක් වන මහා මාර්ගය භාවිතා කරද්දි පිළිපදින පොදු අනුග්‍රාහකත්වය (Common Curtsey) ගැනවත් වැඩි අවබෝධයක් නැති බවයි පේන්නේ.

ලංකාවෙ මාර්නීතිය ඇතුළත් 'Highway Code' එක මෙතනින් කියවන්න. මේ කරුණු අපි හැමදෙනාම පිළිපැද්දොත් කාටත් කරදර අඩු වේවි. ඒ වගෙම මාර් අණතුරුත් අඩු වේවි.

නීතිය ලියවිලා තියෙන නිසා උවමනාව තියෙන කෙනෙකුට හොයාගෙන කියවන්න පුලුවන්. නමුත් Common Curtsies කියෙන්න කොහෙවත් ලියවෙච්ච දෙයක් නෙවෙයි නෙ. ඒ නිසා ඒ ගැන ලියන්න අද මතක පොතේ පිටුවක් වෙන් කරනව.


මට මතකයි ටික කාලෙකට කලින් තමන්ගෙ පිටිපස්සෙන ආපු වාහනේ නලාව ශබ්ද කරල ඉස්සර කරන්න ඉඩක් ඉල්ලුවහම ඉදිරිපසින් තියෙන වාහනේ තමන්ට පුළුවන් තරම් අයිනට කරලා සංඤාවකුත් දෙනව ඉදිරිය පැහැදිලියි හෝ පැහදිලි නෑ කියල. ඉස්සර කරලා යන වාහනේ යන්නේ තමන්ට ආරක්ෂාකාරීව යන්න ඉඩ සලස්සපු රියදුරාට නලාව ශබ්ද කරලා 'බොහොම ස්තුතියි' කියල. ඒත් අද එහෙම රියදුරන් දකින්න ලැබෙන්නෙ බොහොම කළාතුරකින්. 

රියදුරන් තමන්ගෙ නොසැළකිල්ල නිසා හිරිහැරයක් සිදුවුනු වෙනත් වාහනයක් නලාව ශබ්ද කරලා ඒ ගැන දැන්වුවොත් ඒ ගැන ලජ්ජාවට පත් වුනා. ඒ හරහා තමන් ආයෙමත් ඒ වරද නොකරන්න සනිටුහන් කරගත්තා. නමුත් අද...?

මම අහල තියෙනව පළපුරුදු රියදුරන් කියන තවත් කතාවක් තමා 'පිටිපස්සෙන් ආපු වාහනෙන් හෝන් පාරක් කෑවනෙ', වැනි වදන් පෙළවල්. 'හෝන් පාරක් කෑව' කියල ඔවුන් කියන්නේ හරියට නිකන් 'කනේ පාරක් කෑව' කියන ලැජ්ජාවෙන්. නමුත් අද ඉන්න එකාලට බැහැල ගිහින් කනේ පාරක් දුන්නත් ලැජ්ජාවක් නෑ.

මම පුංචි සන්දියෙ අහල තියෙනවා ලොරි වගේ බර වාහන ල වැඩකරන ක්ලීනර් ලා කියනවා 'අහවල් රියදුරා කහට තේ 24න් යාපනේ ඉඳන් කොළඹ ආවා' වැනි කථා. මේ කහට තේ 24 කතාව පරන රියදුරෙකු ගෙන ඇහුවම ලැබුනු උත්තරේ තමයි, 'මහත්තයෝ අපි තේ බොන්න පුරුදු වුනේ මේ ඩ්‍රයිවර් රස්සව නිසාම තමා. මේ තඩි ලොරියක් පටු පාරකට දැම්මම පාරම ඇහිරෙනව. ඉතින් අපි පුරුදු වුනා අපේ පස්සෙන් හිරවෙන වාහන ටික යන්නත් එක්ක මඟ තැන් තඇන් වල ටික වෙලාවක් නවත්තන්න. ඔය නවත්තපු එකේ ප්ලේන්ටියකුත් බීලම යන්න.' ඔන්න ඔහොමයි පරන බරවාහන රියදුරන් තමන් එලවන වාහනය නිසා අනුන්ට වෙන අවහිරය වැලැක්වුවෙ. නමුත් අද...?

ඒ වගේමයි කඳුකර මාර්යක ගමන් කරන වාහන නිතරම කන්ද නඟින වාහනයට ඉඩ දීම. බර පටවගෙන අමාරුවෙන් කන්ද නඟින කෙනාට ලබාදුන්නු අනුග්‍රහය අපේ  පැරැන්නො ඒ විදිහටම වාහන වලටත් ලබාදුන්න. ඒ වගේම තමයි දුර්ඝ මාර්ඝයක නිතරම බෑවුම පැත්තෙන් ධාවනය වන වාහන වලට ඉඩ ලබා දීම. නමුත් අවාසනාවකට වගේ මේ දේවල් දන්න, පිළිපදින අය අද ඉතාම ස්වල්පයයි ඉන්නෙ. 

රථවාහන තාක්ශණයෙන් නොදියුනු යුගයේ මේ දේවල් මිනිස්සු අකුරට පිළිපැද්දා. අපි දියුනු වෙලා කියල හිතාගෙන ගිහින් තියෙන්නෙ පස්සට කියල හිතෙන්නෙ නැද්ද? තාක්ශණය දියුනු වෙලා මිනිස්සු පිරිහිලාද?

මේ මට මතක් වෙච්චි ටිකක් විතරයි. ඔබට?

Saturday, April 28, 2012

කණ පැලෙන ධනාත්මක චින්තනේ

පාසල් කාලෙ මිත්‍රයෙකුට ලැබිච්ච ටිකක් කන රිදෙන අත්දැකීමක් තමයි මේ කියන්න යන්නෙ;

ඔය කාලෙන් කාලෙට එනවනෙ එක එක විදිහෙ චින්තන. කාලයක් තිබුන විශ්ව විද්‍යාලවල කොල්ලො කෙල්ලො අතරෙ 'සර්ව අසුභවාදී' චින්තනේ. සර්ව අසුභවාදීන්ට ලෝකෙ තියෙන තරමක් දේවල් අසුභයි, නරකයි, වැඩක් නෑ. ඕකට පිළිතුරු දෙන්න ගිහින් හැදුනා 'සර්ව සුභවාදය'. සර්ව සුභවාදය මොඩ් වෙලා හැදුනා ධනාත්මක චින්තනේ (සිංහලෙන් කිව්වොත් 'පොසිටිව් තින්කින්'). 


ධනාත්මක චින්තනේ හඳුන්වා දීමෙදි නොයෙක් කල්ට් වලින් ලොකු සේවයක් වුනා මතකයි. කොහොම හරි, පාසැලේ අපේ කොලු කාණ්ඩෙ එකෙකුත් ඔය මොකක් හරි කල්ට් එකකින් තෙලක් වැදිච්ච එකෙක් වතුර බීපු වීදුරුවකින්ම බීලා, මූටත් හැදුනා පොසිට්ව් තින්කින් උණක්.

දැන් මූ ෆුල් ධනාත්මක පොරක් වෙලා. ලෝකෙ තියෙන තරමක් දෙවල් මූට හොඳයි. කාක්කෙක් ඇඟට වර්චස් පිඬක් දැම්මත් ඒකත් මූට පේන්නෙ හොඳ දෙයක් විදිහට. මුලින් මුලින් මේක අපේ කොලු රෑනට විනෝදයට හේතු උනත්, ටික කලක් යනකොට මේ පොසිටිව් උණ අපිට පොසිටිව් ඇණයක් වෙන්න ගත්තා.

ටික කළකින්ම මේ පොසිටිව් උණ කාරයා තැනක් නොතැනක් නැතුව හැම දේටම 'ඉතින් හොඳයි නෙ' කියලා පටන් අරන් මොනව හරි කෙස් පැලෙන තර්කයක් ගේනවා වෙච්ච දේ හොඳයි කියන්න. තැනක් නොතැනක් නැතුව කරන මේ වැඩේ නිසා අපේ කතානයක 'පොසිටිව් බුවා', කීප සැරයක් කොල්ලන්ගෙන්ම ගුටි කන්නත් ගියා, හොඳට බැනුම් ඇහුවා. ඒත් මේකාගෙ මේ 'පොසිටිව් උණ' එන්න එන්නම වැඩි වුනා මිසක් අඩුවක් වුනේ නැහැ. කොල්ලෙක්ට කෙල්ලෙක් බූට් එක තිබ්බත් මූට ඒකත් පොසිටිව්. ඉස්කෝලෙ ඇරෙන වෙලාවටම වැහැලා හොඳටම තෙමිලා අමතර පන්තිවලට යන්න වුනත් ඒකත් පොසිට්ව්. හැම වෙඩින් එකම මූට පොසිටිව්. කිසිම අසුභ, නරක, පාඩුවක් වුනු කතාවක් මූ ඉන්න තැනක කියන්න බැහැ.

කාලයක් ගියත් පොසිටිව් බුවාගේ මේ පොසිටිව් උණ නම් බැස්සෙම නෑ, වැඩි උනා මිසක්. කට්ටිය පාසල් නිවාඩු කාලෙදි යාලුවන්ගෙ ගෙවල් වලට යනව එනවා. (කාලෙ කනව ඇරෙන්න කරන්න වෙන වැඩකුත් නැහැනෙ.) කොලු රෑනෙන් කීප දෙනෙක් පොසිට්ව් බුවාගෙ ගෙදර ගිහින් තෙයෙනවා ඔහොම දවසක. ගිහින් ටික වෙලාවකින් පොසිට්ව් බුවාගෙ නෑදෑ පිරිසක් ඇවිත් තියෙනවා ගෙදර. පොසිටිව් බුවාගෙ කාමරේට ඇහෙනවා දැන් ආපු නෑදෑයින් අමුත්තන්ගෙ කාමරයෙ කතා කරන කතාබහ. ආපු නෑදෑයින්ගෙ කතාබහෙන් මේ පිරිස ගොවිතැන් කරන උදවිය බවයි තේරිලා තියෙන්නෙ. නෑදෑයින් ආගිය තොරතුරු කතාබහ කරන අතරෙ කෙනෙක් කියල තෙයෙනවා,
"බලන්නකො අයියෙ මෙදාපාර නියඟෙ නිසා කුඹුරු ඔක්කොම වගේ පාලු උනා නෙ" කියල.

ඊලඟට පොසිටිව් බුවාගෙ කාමරේ හිටි කොල්ලන්ට සුපුරුදු පරිදි පොසිටිව් බුවාගෙ "ඉතින් ඒක හොඳයි නෙ,..." කියල පටන්ගන්න පොසිටිව් තින්කින් ලයින් එක ඇහිල තෙයෙනව. හැබයි කියන්න පටන්ගත්තු දේ ඉවර වෙලා තෙයෙන්නෙ "චටාස්..." කියන සද්දෙන් පස්සෙ මොකක් හරි "දඩබඩාස්" ගාල පෙරළගෙන වැටෙන සද්දෙකින්.

මොහොතක් නිහඬ වුනු අමුත්න්ගෙ කාමරෙන් ඊට පස්සෙ ඇහිල තියෙන්නෙ පොසිටිව් බුවාගෙ තාත්තා මූට බනින සද්දෙයි; "ඈ බොල බූරු තඩියො කොහොමද නියඟෙ හොඳ වෙන්නෙ..." කියල පටන් ගත්තු සද්ද පූජාව මිනිත්තු කීපයක්ම ඇහිල තෙයෙනව. පොසිටිව් බුවා කාමරේට එනකොට බුවාගෙ මූනෙ පැත්තක් දම්පාට වෙලා, ඉදිමිලා. ගියපු කොල්ලො කීපදෙනා අමාරුවෙන් හිනාව නවත්තගෙන මාරුවෙලා ඇවිත් තියෙනවා. 

සිද්ධිය අනිත් කොලු රෑනට කියද්දි හොඳට ලුණු ඇඹුල් එහෙමත් එකතු වෙනවනෙ. ඉතින් කතාව ගියෙ අර කොලු කාන්ඩෙට අමුත්තන්ගෙ කාමරෙන් ඇහුනු සද්දෙ 'චටාස්...', සද්දයකට වඩා "ඩිශුම්" (අර පරන සිංහල චිත්‍රපටිවල තියෙන වෙඩි සද්දෙ වගේ) සද්දයක් කියලයි. සද්දෙ 'චටාස්' වුනත් 'ඩිශුම්' වුනත් පොසිටිව් බුවා ඊට පස්සෙ පොස්ටිව් ටෝක් නෙවේ, කණට ඇහෙන්න කතා කලේ නැහැ. 

මොන චින්තනේ වුනත්, කොච්චර පොසිට්ව් වුනත් හැම තැනටම එකවගේ හොඳ නෑ.

Saturday, April 21, 2012

ඇගෙ මුව සඳ වතකි :( සොරි වුනු අපෙ බුවෙකි

අද මතක පොතේ ලියවෙන්නෙ පිටරටකදි මම කලින් වැඩකරපු කන්තෝරුවක හාදයෙකුට වෙච්ච ඇබැද්දියක්.

මේ කියන ආයතනෙට කොල්ලන්ව බඳවගෙන පිටරට කොම්පැනි වල වැඩට යවන එක තමා සිද්ධවුනේ. ඔය විදිහට මාවත් මේ කතාවෙ කතානායක හාදයාවත් ජපානෙට යැව්ව. යන්න කලින් අපි ලංකාවෙ ඔෆිස් එකේ වැඩකරන කාලෙ ජපන් රටෙන් ආපු ශිෂ්‍යාවක් ඒ ඔෆිස් එකේ ටික කලක් වැඩ කලා පුහුනු පාඨමාලාවක කොටසක් විදිහට. මම රට යන දවස්වල කතානායක හාදයව හොඳින් දැනගෙන හිටියෙ නෑ. කොහොම හරි මේ ගොයියත් ජපානෙ වැඩට යන්න කැමති වෙලා තියෙන්නෙ අර ගෑනු ළමයව ආයෙත් මුනගැහෙන්න පුළුවන් වෙයි කියන විශ්වාසෙට. ඒ විස්තරේ මම දැනගත්තෙත් ජපානෙට ගියාට පස්සෙ.

අපට වැඩකරන්න වුනෙ ටෝකියෝ අගනුවර තියෙන පුංචි ඔෆිස් එකක. දැන් අපේ බුවා එහෙ ගිය දවසෙ ඉඳලම කල්පනාව අර ගෑනු ළමයව මුනගැහෙන්නෙ කොහොමද කියල. අන්තිමේ මම කිව්ව, 'බලා ඉන්නෙ නැතුව ඊ-මේල් එකක් දාපන් දැන් මම ඉන්නෙ ටෝකියෝ වල කියල'. මූත් ඉතින් ඇඹරි ඇඹරි ඉඳල දවසක් හොරෙන්ම ඊ-මේල් එකක් යවල. මට ඒ ගැන කිව්වෙ කෙල්ල උත්තර එව්වටත් පස්සෙ.

කොහොම කොහොම හරි, ජයසිරි මංගලම් කියල, බුවා කෙල්ල එක්ක ඊමේල් එහෙම හුවමාරු කරගෙන ඊට පස්සෙ දවසක ශොපිං එහෙමත් ගිහින් තිබුනා. දැන් මූට තියෙන ප්‍රශ්නෙ තමයි "කොහොමද කෙල්ලට ලව් කරන බව කියන්නෙ?" කියන එක. තවත් කීප දවසක් කෙල්ල එක්ක රවුම් ගහලා ආවට පස්සෙ මූට මාර ගටක් ඇවිත්. මූ අපිට ටෝක්ස් දෙන්න ගත්තෙ ජපානෙ පුරවැසිභාවය හම්බ වුනා වගේ. බුවා ඉතින් බයිට් ලෝකයයි.

තවත් දවසක මූ කෙල්ල එක්ක කොහෙද හිහින් ආව. හැබයි මිනිහ ආපු වෙලාවෙ ඉඳලා හිතේ අප්සෙට් එකේ ඉන්නව කියල පෙනුන නිසා අපිත් විමසිල්ලෙන් හිටිය මූ මොනවහරි අන්තරාවක් කරගත්තොත් කියල. අපිට මොකුත් නොකිව්වත් මූ විස්තරේ එහේ ඔෆිස් එකේ හිටපු ජපන් බුවෙකුට කියල තිබුන. මිනිහගෙන් තමා අපි ප්‍රශ්නෙට මුල දැනගන්න ලැබුනෙ. කතාව මෙහෙමයි: 

කෙල්ලට ට්‍රයි කර කර උන්නු අපේ බුවා දවසක් හෙමිහිට හෙමිහිට තටමලා තටමලා, කොහොමහරි කෙල්ලගෙ මූඩ් එක හදාගෙන තියෙනව වචනෙ දාන්න. ඔය මූඩ් ෆික්ස් කෙරිල්ලෙ එක ස්ටෙප් එකක් විදිහට බුවා කෙල්ලගෙ ලස්සන වර්ණනා කරල. ඔය මොන මොනවහරි කෙල්ලො ආසකරන විදිහෙ මෝඩ කතා ටිකක් කිය කිය ඉන්න ගමන් මූ කියල "ඔයාගෙ මූන හඳ වගේ ලස්සනයි" කියල. ( හරියටම කියපු දේ දන්නෙ නෑ. හැබයි කියල තියෙන්නේ ඔයවගේ දෙයක් ). මෙච්චර වෙලා මූත් එක්ක තොඳොල් වෙවී හිටපු කෙල්ල මේක ඇහුනු හමන් ෆුල් අප්සෙට් ගහල. මොකක් හින්ද මෙහෙම උනාද කියල අපේ බුවාට නිනව්වක් නෑ. ඇයි ඉතින් ලංකාවෙ විදිහට නම් හඳ කියන්නෙ ලස්සන දෙයක් නෙ. කොහොම වුනත් මේ කතාවෙන් පස්සෙ කෙල්ලගෙ මූඩ් ඔක්කොම කනපිට ගහල. එදා හමුවීමත් ඉක්මනින්ම ඉවර වෙලා.

අපේ බුවා එදා එපාර්ට්මන්ට් එකට ඇවිත් කල්පනා කර කර ඉඳල තියෙන්නෙ ඕකයි. කොහොම වුනත් මූ අපිට මේ ගැන කිව්වෙ නැත්තෙ අපි මූව බයිට් එකට ගන්න නිසා වෙන්න ඇති. මූ හොරෙන්ම ජපන් බුවාට විස්තරේ කිව්වම ජපන් බුවා තෙරුම් කරල දීල තියෙනව කරපු වැරැද්ද. 

ඔය උපමා රූපක කියන දෙවල් රටින් රටට, ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවනෙ. ඒවා අහන කෙනෙක් තෙරුම් ගන්නෙ තමන්ගෙ ප්‍රදේශයේ ඒ සඳහා දීපු අර්ථයෙන්. ජපානෙ විදිහට 'හඳ වගේ' කියන එකේ තෙරුම හුඟක් විශාල, පළල් දෙයක් කියන එක. ඒ විදිහට බැලුවම අපේ බුවා ජපන් නංගිට කියල තියෙන දේ ඒ ළමයා තෙරුම් ගන්න ඇත්තෙ; 'ඔයාගෙ මූණ පොල්බෑමූක් වගේ ලස්සනයි' කියල.

ඉතින් කෙල්ලට මල නොපැන තියෙයි ද?

Saturday, April 7, 2012

නොබී ගිහින්... 2

මීට කලින් අපි බීල ගිහින් වෙච්චි සිද්ධි ටිකකුයි නොබී ගිහින් වෙච්චි සිද්ධි ටිකකුයි ඇහුවනෙ, මෙන්න තවත් නොබීපු හාදයෙකුට වෙච්චි දෙයක්;

මේ කියන හාදයා ... සරසවියෙ ඉගෙන ගත්තෙ. කියන්න ඒ හැටි දොසක් නැති අහිංසක පහේ කොලුවෙක්. ජීවිතේකට රහමෙර පොදක් වත් කටේ තියලා නැති ( අර ටී ටෝටලර් කියන්නෙ ), බහුතරයක් ශ්‍රී ලාංකික තරුණයින් වගේම බොහොම ගුණ යහපත්, අහිංසක, නිවුනු ගති පැවතුම් ඇති හොඳ ළමෙයෙක්.

'ඔක්කොම හොඳයි, මුක්කම නරකයි' කිව්වා වගේ මේ හාදයගෙත් තිබුනා පොඩි ප්‍රශ්නයක්. මිනිහා සාමාන්‍යයෙන් කතා කරන විදිහ ටිකක් අමුතුයි. හිටගෙන ඉන්න, ඇවිදින තාලෙ වුනත් ටිකක් විතර වෙනස්. වෙනස් කිව්වෙ මේ විදිහයි; මිනිහ කතා කරන කොට සමහර ව්‍යංජන ශබ්ද ටිකක් වැඩියෙන් ඇදෙනවා, ස්වර වුනත් අසාමාන්‍ය බවකින් උච්චාරණය කරන්න මිනිහ පුරුදු වෙලා හිටියා. හරිම අමුතුයි. මිනිහට කෙලින් හිටගෙන ඉඳලා පුරුද්දක් ඇත්තෙම නෑ. කොහෙට හරි හේත්තුවක් දාලාමයි ඉන්නෙ, පුලුවන් හැම වෙලාවෙම. ඇවිදිල්ල මේ ඔක්කොටම වඩා අන්තයි. මිනිහා ඇවිදින්නෙ හඳ මත ඇවිදින්න ගිහින් ලිස්සලා වැටිච්ච ගගනගාමියෙක් වගේ. (හරියටම කියනවා නම් 'සිම්පල් හාර්මොනික් මෝශන් එකකට මූන් වෝක් එකක් දැම්මා වගේ).

ඉතින් ඔය සරසවියෙන් පිටවෙන අනෙකුත් උපාධිධාරීන් වගේ මේ හාදයත් ඉංජිනේරු අංශයෙ තමයි රැකියාව කලේ. සාමන්‍යයෙන් ඉංජිනේරු වෘත්තියෙ ඉන්න හැමෝටම වගේ මෙයාටත් රෑ වෙනකන් වැඩකරන්න වෙනවා. ඔහොම දවසක මෙයත් පාන්දර ගෙදර එන්න පිටත් වුනා. කවුරුත් දන්නවනෙ කොළඹ කාර්යාලවල වැඩකරන බොහොම දෙනෙක් සිකුරාදාට 'සෙට්' වෙන විත්තිය, රාළහමිලා කවදා නැතත් සිකුරාදට නම් කොළඹ තැන් තැන් වල ඉන්නවමයි බීල වාහනේ එලවගෙන ගෙදර යන ගොයියල ටික අල්ලගන්න.

ඉතින් ගෙදර යන මේ හාදයාවත් පොලිසියෙන් නවත්තගත්තා. රාළහාමි කෙනෙක් වාහනේ ඇතුලට ඔලුව දැම්මා.

"මහත්තයා කොහෙද යන්නෙ?". 

අපේ හාදයත් සුපුරුදු අමුතු කතා විලාසෙන්ම "ගෙදර... යනවා රාළාමි...".

රාළහමිටත් හරි සතුටුයි. එකෙක් අහුවුනා කියලා. තවත් ටිකක් සැක හැර දැනගන්න වෙන්න ඇති, රාළහමි කිව්වලු; "හා... මහත්තයා පොඩ්ඩක් බැහැල එන්නකො".

අපේ හාදයත් වාහනෙන් බැහැලා සුපුරුදු අමුතු ගමන් විලාසෙන් ම ඇවිදගෙන ගියා, ගිහින් හෙත්තු වුනා ලඟ තිබුනු වාහනේකට. රළහාමිගේ ඉහේ මලක් පිපුනා වගේ. අද අතටම අහුවුනානෙ බීල වාහනේ එළවපු එකෙක්. පස්සෙ අපේ හාදයා කියපු විදිහට රාළහමි රැකියාවට ටිකක් අලුත් පොරක් කියලලු මිනිහට හිතුනෙ. මොකද, රාළහාමිට ඕනැ උනාලු නීතිය අකුරටම කරන්න.

දැන් රාළහාමි අහනවලු; 'මහත්තය බීල නේද?'

හාදයා: 'රාළාමි.. මම බිව්වොත් ඉතින් වතුර තමයි'.

රාළහාමි: 'ඒක තමයි නේද, මහත්තයා හේත්තු නොවී ඉන්නකො, ටිකක්'.
 

හාදයා: 'හරි..අරි අවුලක් නෑ...', කියලා ඔන්න දැන් වාහනෙන් එහාට වෙලා ඉන්නවා.නමුත් ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියලා මිනිහා ටික වෙලාවකින් ආයෙමත් හේත්තුව දැම්මා. රාළහාමිත් බලා ඉඳලා 'මහත්තයා අපි යමුකො පොලිසියට' කියලා, අපේ හාදයාවත් පොලිසියට එක්ක ගියා තව සැකකරුවො ටිකක් එක්ක.

අපේ හාදයා කොච්චර කිව්වත් රාළහාමි පිළිගන්න කැමති වුනේම නැහැ 'බීලා නැති විත්තිය'. ඇයි ඉතින් මේකා වැනි වැනී, හේත්තු වෙවී ඇවිදින තාලෙටයි වෙරිකාරයෙක් වගේ කතා විලාසෙටයි රාළහාමි රැවටිලා. කරන්නම දෙයක් නැති නිසා අපේ හාදයත් ගියා පොලිස් ස්ථානෙට රාළහාමි එක්ක. ලංකාවෙ පොලීසිය සැකකරුවන්ට විරුද්ධව සාක්ෂි ගොඩනඟන්නෙ Breathalyzer Test එකක් කරලයි. ලංකාවෙ පොලිසිය සුලභව භාවිතා කරන්නෙ මේ සඳහාම නිපදවපු බැලුන් විශේෂයක්. සැකකරුට මේ බැලුමක් පුම්බන්න දෙනවා, ප්‍රශ්වාස වාතයේ තියෙන ඇල්කොහොල් ප්‍රමාණය වැඩිනම් බැලුමේ පාට වෙනස් වෙනවා.

කොහොම හරි අපේ හාදයා දීපු බැලුම පිම්බුවා. බැලුමේ පාට වෙනස් නොවෙච්චි නිසා දැන් ඔප්පු වුනා මේ බීපු කෙනෙක් නෙවෙයි කියලා. හපොයි, රාළහාමිගෙ මූණ මළගෙයක් වගේ. 'බීල නැත්නම් ඇයි මහත්තයො මේක පිම්බුවෙ?'

'ඉතින් රාළාමි... මම කිව්වනේ බිව්වෙ...ම නෑ කියලා, ඕක පිම්බුවේ රාළාමි...කියපු නිස්සානේ...'

'බලන්න මහත්තයා කරපු වැඩෙන් මේකෙ ගාන මගේ පඩියෙන් නෙ කැපෙන්නේ,' කියලා රාළහාමි බැලුම පෙන්නුවලු. අපේ හාදයත් බැලුම රාළහාමිගෙන් ඉල්ලගෙන ඒක දිහා බලලා, 'ශහ්, අපරාදෙ නේද?' කියලා ඒකත් අරන් යන්න හැදුවලු.

රාළහාමි: 'මහත්තයා ඔය බැලුම දීල යන්න'.

හාදයා: 'මේ...ක මම පිම්බුව එකනෙ, මම මේ...ක අරන් යනවා'. බුවාට
බැලුම ගෙදර ගෙනිහින් වැඩකරන හැටි බලන්න ආසා හිතිලා...

රාළහාමි: 'හපොයි මහත්තයා අපි ඕවා ආපහු බාර දෙන්න ඕනා' කියල රාළහමි වදෙන් පොරෙන් බැලුම උදුරගෙන තියෙනවා.

අදටත් අර හාදයාට දුකයි එයා පුම්බපු බැලුම
රාළහාමි තියාගත්තට.

Thursday, April 5, 2012

පාර දිගට එළි බල බල මහ පාරේ හරි කලබල

ඔන්න සිංහල අවුරුදු කාලෙත් ලංවීගෙන එනවනෙ. පාරෙ වාහන එවන හැමෝටම දැනෙනවා ඇති පාරෙ තියෙන වාහන ප්‍රමානය වැඩිවෙලා කියල. අපේ පාර්ලිමේන්තුව ළඟකදි අළුත් පනතක් සම්මතකරගත්තනෙ ඩ්‍රයිවර්ලට ලකුණු දෙන ක්‍රමයකුත් එක්ක. මේ නීතියට අනුව ඩ්‍රයිවර් කෙනෙකුට කරන වරදට අනුව ලකුණු ලැබෙනව. අවුරුදු දෙකක් ඇතුළතදි ලකුණු 24කට වඩා එකතු වුනොත් අවුරුද්දකට රියදුරු බළපත්‍රය අත්හිටවනව. ඒ නීතිය ගැන විස්තර මෙතනින් කියවන්න. (Adobe Acrobat Document)

මේ විදිහට නීති තද වෙනකොට කාටත් අපහසුතා ඇතිවෙනව තමයි, හැබයි මිනිස්සු උන්මත්තකයො වගේ පාරෙ යකඩ ගොඩවල් එහෙමෙහෙ කරල අනතුරු සිදුකරන හරි, අන් අයට අනතුරක් සිදුවෙන තැනට වැඩකරන එක නවත්තන්න වෙන කරන්න දෙයක් නෑ. අපි බලා ඉන්නවා මේ නීතිය හැමෝටම එක විදිහට සාධාරණව ක්‍රියාත්මක වේවි කියල.

මේ පෝස්ට් එකෙන්ම මම කියල දාන්නම් මම දැක්ක උන්මත්තක ගණයට වැටෙන චර්යාවන් කීපයක්. ඔබටත් පුළුවන් කමෙන්ටුවකින් ඔබේ වටිනා අදහස මේකටම එක් කරන්න.

1. හෝන් එක නෑහී යෑම: මේ ප්‍රශ්නෙ සමහර ඩ්‍රයිවර්ලට වගේම පදිකයන්ටත් තියෙනව. කොච්චර හෝන් කළත් මේ ජාතියෙ අය නෙවෙයි ගානකට වත් ගන්නෙ. ඔහේ යනවා හරක් වගේ. පුදුමෙ තියෙන්නෙ හරකෙකුට හෝන් කලොත් ඌ අඩුගානෙ ඔලුව හරවලා වත් බලනවා. ඒත් මේ ජාතියෙ මිනිස්සු නෙවෙයි එහෙමවත් කරන්නෙ. කෙනෙක් හෝන් එක ගහල කරන්නෙ ඉල්ලීමක්. මෙයාල, මෙයාලගෙ සාමාන්‍ය ජීවිතේදි වගෙම පාරෙදිත් බිහිරො වගේ ඔහෙ යනව. කාගෙවත් ඉල්ලීමකට කන් දෙන්න තරම් උවමනවක් නැති බත් කන ගවයන්. දවසක් මගෙ වාහනේ ගිය වැඩිහිටි මහත්මයෙක් මේ කාරනේ දැකල කිව්වෙ 'පුතා, මුන් පොඩිකාලෙ බීල තියෙන්නෙ මව්කිරි නෙවෙයි, එළකිරි. බීපු කිරිවල ගති ලක්ශණ තමයි ඔය ඉස්මතු වෙන්නෙ' කියල. අම්මප ඇත්ත.

2. හෝන් එකෙන් එලවන්නෝ: මේ ගොල්ලන්ට හෝන් එක නොගහ ඉන්න බෑ. ඉස්සරහ තියෙන වාහනේ හෝන් එකෙන් තල්ලු කරන්න හදනවා වගේ හෝන් ගහනව. මෙයාල හෝන් ගහල කරන්නෙ ඉල්ලීමකටත් වඩා 'ගේම ඉල්ලීමක්'.

3. හිතේ ඇතත් පත නැති අය: මෙයාල හිතන් ඉන්නවා තමන් එලවන වාහනේ අඩි 8ක් වත් පළල අඩි 20ක් වත් දිග එකක් කියල. ඉතින් පොඩ්ඩක් වත් අයින් කරන්නෙ නෑ. පාරෙ ලේන් එකකින් තවත් එකකට මාරු වෙන්න අඩුගානෙ මීටර් 300-400ක් වත් ඕනෙ. පුදුමෙ කියන්නෙ මේ මානසිකත්වය ඇත්තටම බොහෝවිට තියෙන්නෙ පුංචි වාහන එලවන ඩ්‍රයිවර්ලට.

4. හිතේ ඇතත් කරගන්න බැරි අය: මේ වගේ අය ලේසියෙන්ම හඳුනගන්න පුළුවන්. මේ ජාතියෙ අය ඉස්සරහින් තියෙන වානේ ඕවටේක් කරන්න වගේ පාරෙ දකුණු පැත්තෙ නැත්නම් පාරෙ මැද්දෙ යනව. හැබැයි මලාට ඕවටේක් කරන්නෙ නම් නෑ. හිතේ තියෙනව කරන්න, හැබැයි කරගන්න බෑ. බොහෝවිට කොහේ හරි පටු පාරක ඇදෙන බර වාහනයක් පස්සෙ මේ වගේ අය යන්නෙ. මෙයාලගෙ මේ ගතිය නිසා නිතරම විශාල වාහන පෝලිම් හැදෙනව. ඇයි, වෙනකාටවත් ඉස්සර කරගන්න තියෙන ඉඩ මෙයාල අහුරගෙන යනවනෙ. හිතේ ලොකුවට තිබ්බට කරගන්න බෑ, පව්.

5. වහනේ අළුත්, අනේ මට බයයි: මේ ජාතියෙ අය අළුත් වාහනයක් ළඟදි ගත්ත අය. අර 'හිතේ ඇතත් පත නැති අය' වගේ මේගොල්ලොත් අයින් කරන්නේ නෑ වාහනේ කීයටවත්. පාර මැද්දෙ බොහොම හෙමින් ලතාවට තමයි එලවන්නෙ. මූදෙන් ගොඩදාපු මාලුවා වගේ පපුව ගැහෙනව ඇති බයේ. ඔහොම බයේ යනවට වඩා නරකද වාහනේ විකුනලා ටැක්සියක යන එක? 

6. මගමරුවා: මේ කියන ටයිප් එකේ කට්ටිය ඔය ලොරි, බස්, ටිපර් වගේ ලොකු වාහන එලවගෙන තමා යන්නෙ. මේ කාලණ්නින්ට පාරෙ යන අනිත් වාහන, මිනිස්සු ගැන වගේ වගක් නෑ. ඔහේ යනවා පාර පුරාම. පුලුවන්නම් වමෙන්, නැත්නම් දකුනෙන්, එහෙමත් බැරිනම් පදික වේදිකාව උඩින් හරි යන්න මෙයාලට පුලුවන්. විශාලම වගේම වැඩිම අනතුරක් කරන්න පුලුවන් මෙයාලට නීති නෑ. බලාගෙන ගියහම වාහනේ ලොකු වෙන තරමට ඒක එලවන එකාගෙ මොලේ පුංචි වෙන එක නෙ අභාහ්‍යය. ගාලුපාරෙ වාහනය එලවගෙන යද්දි මේ වගේ පාරෙ වැරදි පැත්තෙන් වේගයෙන් ආපු මගමරුවකුගෙන් බේරෙන්න මට පුළුවන් වුනේ වානේ පාරෙන් එළියට දාලා. මම බලා ඉන්නේ ඔය නීතිය ක්‍රියාත්මක වුනහම වත් මේ වගේ මාරයො පාරෙන් ඉවත්වේවි කියල.

7. අල තොරන්නෝ: මේ කට්ටිය වැඩිපුරම එලි බහින්නෙ සති අන්තවල. පාරෙ යන ගමන්ම කඩේ ගෝනියෙ තියෙන අල තෝරනව. නැත්නම් මාලු ලෑල්ලෙ ඉන්න කුම්බලාවො අළුත්ද කියල බලනව. මුන් ආත්මාර්ථය ඊලඟ ලෙවල් එකට අරගෙන යන ජාතියක්.

8. හීනමානයට රෝද ලැබීම: මේ කට්ටිය කැමති නෑ කිසිකෙනෙක් තමන්ගෙ වානේ ඉස්සර කරලා යනවා නම්. ඇම්බියුලන්ස් එකක් වුනත් එන්න ඕනෙ මේ කට්ටියට පිටිපස්සෙන්. තමන්ගෙ හිතේ තියෙන පුහු හීනමානය නිසාත් කුඩුකේඩු කම නිසාත් මෙයාල අනිත් මිනිස්සුන්ට පුදුම වදයක්. 
මෙයාල කරන තවත් දෙයක් තමා වෙනත් වහනයක් අමාරුවෙන් ඉස්සර කරන්න හැදුවොත් හෙමීට තමන්ගෙ වෙගයත් ඉස්සර කරන වාහනයට සාපේක්ෂව වැඩි කරන එක. ඉතින් ඉස්සර කරන්න හදපු මිනිහ අමාරුවේ. පාරම බදු අරගෙන තමන් විතරක්ම යන්න හිතන් ඉන්න මොවුන් සමාජයට පිළිලයක්. 

9. මොන්ගලෙන් එලවන්නෝ: මේ කට්ටිය පාරෙ වාහනය එලෙව්වත් හිත තියෙන්නෙ වෙන ලෝකෙක, නැත්තම් ෆෝන් එක කනේ. මේ හැසිරීම රටාව ඉතාම ලේසියෙන් හඳුනගන්න පුලුවන්. මොකද, මේ කට්ටිය එලවන හැටි දැක්කම හිතෙන්නේ මන්ද බුද්ධිකයෙක් වාහනේ එලවනවා කියලයි. ඇයි අවධානයක් නෑනේ පාරෙ වෙන්නෙ මොකද කියල. මම දැකල තියෙන සමහර මේ වගේ උදවිය වාහනේ එලවගෙන යන්නෙ නින්දෙන්ද කියල සැක හිතෙන තරම්ම විකාර විදිහට තමා එලවන්නෙ. මේ කට්ටිය අනතුරක් නොවී යන්නෙ මෙයාලගෙ දක්ෂ කමකට වඩා පාරෙ වාහන එලවන අනෙත් රියදුරන්ගෙ දක්ෂකම නිසා.

10. වාමාංශික පැදි: මෝටර් සයිකල් වල නැගල දූවිලි දුම් කාගෙන අව්වෙ යන එක දුකක් තමයි. මෝටර් සයිකල් වමෙන් ඉස්ස කරද්දි හොරෙන් හොරෙන් එන්නෙ නැතුව, අඩුගානෙ හෝන් එක ගහල ඉස්සර කරන වාහනේ රියදුරාට තමන් එන බව දැනුම්දීල එන්න.

ඔන්න ඕවා තමා මට පෙනිච්ච stereotypes. තව තියෙනවා නම් කමෙන්ටුවකින් අපිත් එක්ක බෙදාහදා ගන්න.

ලංකවෙ මිනිස්සු තමන්ගෙ ආත්මාර්ථකාමී කම අත් හැරල පාරෙ යන අන් අයටත් ඉඩක් දීල අවධානෙන් රිය පදවන්න හිතට ගනීවි කියන බලාපොරොත්තුවෙන් තමා මේ ටික ලිව්වෙ.

Sunday, April 1, 2012

හිතේ අමාරුවට බීලා ගේට්ටුවක් නිසා මාට්ටුවුනු හැටි

මේ කතාවට මගෙ අතිජාත මිත්‍රයො දෙන්නෙක්ම සම්බන්ධයි. එකෙක් 'භානුක' , අනෙකාගෙ නම 'ප්‍රශාන්ත'. නම් දෙකම ඇත්ත නම් නෙවෙයි, හැබයි හුඟක්ම ළඟින් යන නම් දෙකක් දුන්නේ ඕං.

පාසල් කාලෙ ඉඳන්ම අපේ කොලු නඩේ හිටපු රොමැන්ටික් බුවා තමා 'භානුක'. මූ කොහෙන් හරි මොකක් හරි පටලැවිල්ලක් හදා ගන්නවා කවුරු හරි කෙල්ලෙක් එක්ක. ඉතින් අපි යනවා කතාවෙ වීරයගෙ සපෝටර්ලා හැටියට. ඔහොම මාරක ගමන් කීපෙකුත් ගිහින් තියෙනවා. පූරුවෙ පිනකට ගිය කාටවත් අනතුරක් වුනේ නෑ. භානුකයා ෆුල් රොමැන්ටික්, සත්‍යප්‍රේමයේ බෘංගරාජ වගේ තමා කොයි කෙල්ලට වුනත් ලව් කලේ. සමහර කෙල්ලො දන්නෙත් නෑ මූ ලව්ද කියලා, හැබයි මූ බොක්කෙ ඉඳන් හක්කට යනකම්ම අනුලෝම ප්‍රතිලෝම වශයෙන්ම ලව්. 

එක දවසක් ප්‍රශාන්තගෙ ගෙදර ගිහින් කතා කර කර ඉන්නකොට භානුකයා ආව මූන නිකන් ශ්‍රමදානෙ වගේ කරගෙන. "බෑ බං මට මාර හිතට අමාරුයි අද නම් බොන්න ඕන". විස්තර අහනකොට මූ මනෝමෙන් ලව් කරපු කෙල්ලෙක්ට බෝයිෆ්‍රරෙන්ඩ් කෙනෙක් ඉන්නව කියන ආරංචිය ලැබිල. බුවා හරිම අප්සෙට් එකේ ඉන්නෙ. මට මතක හැටියට මේක තමා පලවෙනි පාරට හිතේ අමාරුවට බිව්ව සැරේ. භානුක මීට කලින් බීලා තියෙනවා කියලා මට මතකයක් නෑ. හිතේ අමාරුවට බොන එක මම අනුමත නොකලත් ( මම කවදත් හොඳ බබා නෙ ), අනිත් දෙන්නගෙ ඇවටිල්ලට මාත් අන්තිමෙ කැමති වුනා ලඟම තියෙන ට්වුමෙ බාර් එකට සෙට් වෙන්න. 

තුන්දෙනා එක්ක බයිසිකල් දෙකක නැගගෙන ගියා බාර් එකට. ඔය කාලෙ අතේ සල්ලි බාගෙ එහෙමත් වැඩිපුර නැහැ. රස්සාවල් කරන්න පටන්ගත් අලුතම වගේ. ඉතින් තුන් දෙනාගෙම අතේ තිබ්බ සල්ලි ටික දාල ගත්ත බියර් බෝතල් දෙකයි මොනවහරි බයිට් ටිකකුයි (බයිට් ගැන මතක නෑ). කොහොම හරි බියර් බෝතල් දෙක මේසෙ උඩින් ගෙනැල්ල තිබ්බ විතරයි, භානුක වීදුරුව පුරවලා බියර් දාගෙන ගුඩු ගුඩු ගාල බීල දැම්ම. මෙහෙම බෝතල් බාගයක් විතර එක හුස්මට බීල මූ කියපි, "හම්මෝ මටනම් ඇති බන්, මේව තිත්තයි නෙ. මට නම් වෙරිද කොහෙද දැන්". මූ බීපු බියර් ටික තාම උගුරෙන් පහලට ගියෙ නෑ, මූට වෙරි ව්හෙන්නෙ කොහොමද? මම කතාකරන්න හදනකොටම ප්‍රශාන්ත මාව නවත්තලා "හරි උඹට ඇති නම් වෙන බොන්න එපා" කියල කිව්ව. මොකක් හරි මම නොදන්න දෙයක් තියෙනවා කියල හිතිච්ච හින්ද මමත් කටවහගත්ත. ඉතුරු බියර් විසිකරන්නයැ. මායි ප්‍රශාන්තයි, ( බොන්න කෙනෙක් නැති නිසාම ) භානුකයගෙ හිතේ අමාරුව අඩුවෙන්න කියල ඒ ටික බීල දැම්ම. 

ගෙදර යන්න කියල තුන්දෙනාම පාරට බැස්සම භානුක කියනව "මචං මට වෙරිද  කොහෙද අපි පොඩ්ඩක් ඉඳල යමුද?" කියල. බියර් ඇබින්දක් බීල වෙරි වෙන්නෙ කොහොමද කියල අහන්න හදනකොටම, ප්‍රශාන්ත මාව ආයෙත් නවත්තල, "හරි මචං උඹට වෙරි බහින්නත් එක්ක අපි බයිසිකල් තල්ලු කරගෙන හෙමින් ඇවිදගෙන යමු", කිව්ව. පස්සෙ ප්‍රශාන්ත මට හෙමිහිට කිව්වෙ; "මචං, මූට බීල පුරුදු නෑ. කලින් දවසකත් බීල පිස්සු කෙළල තව පොඩ්ඩෙන් ගෙදරටත් මාට්ටු. ඒක නිසා අපි කොහොම හරි මූව shape කරගෙන ගෙදර ගිහින් දාමු".

විනාඩි පහලොවක් විතර ඇවිදලා, අන්තිමේදි භානුක වෙරි බැස්සයි කියල බයිසිකලේට නැඟගත්ත. මූ මටත් අඬගහනව ඒකටම නගින්න. "වරෙන් මම උඹවත් දාගෙන පදින්නම්". හම්මෝ, මට ඇතිවෙච පරාන බයක්. මූ හොඳින් ඉන්න වෙලාවටත් බයිසිකලේ හැම වලක, අගලක, ගලක, මුලක දාන, හප්පන එකේ දැන් මේ බීල වෙරිපිට ඉන්න වෙලාවෙ කොහෙ යයිද? හොඳ වෙලාවට ප්‍රශාන්තයා මගේ පිහිටට ආවෙ. "නෑ මායි මූයි, මේ බයික් එකේ එන්නම්".

කොහොම කොහොම හරි තුන්දෙනා පන බේරගෙන ගෙදර ආව. මුලින්ම අපි ගියෙ භානුක ව ගෙදරට ඇරලවන්න. ඇයි, මූට වෙරිලු නෙ. බලනකොට භානුකගෙ අම්ම ගෙයි ඉස්සරහ ඉන්නව. ගෙදර උදවිය මේ බොන පුරුද්ද දන්නෙ නැති නිසා කොහොම හරි අම්මව මඟහැරල ගෙට ගොඩවෙන්න තමයි භානුකයගෙ කල්පනාව. ප්‍රශාන්තයි මමයි කොහම හරි මූව කවර් කරන්න හිතාගෙන තුන්දෙනාම ගේට්ටුව ලඟ නතර වෙලා කතා කර කර ඉන්නව.

භානුකගෙ අම්ම හරිම සංවෙදී චරිතයක්. මම හිතන්නෙ අපි ගෙදරින් යනකොටම අම්මා දැනගන්න ඇති මේ නම් හොඳකට නෙවෙයි කියල. කොහොම වුනත් භානුකගෙ අම්ම ගෙයි දොරකඩට වෙලා බලාගෙන හිටිය. තුන්දෙනාම ඉතින් සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ බොහොම සාමාන්‍ය කතාබහක ( අපි හිතන් හිටියෙ අපිව පේන්නෙ එහෙමයි කියල ). දැන් රෑබෝවීගෙනත් එනව.

කොහොමෙන් කොහොමෙන් හරි පැය කාලකට විතර පස්සෙ භානුකගෙ අම්ම ගෙට්ටුවෙ ඉබ්බව භානුකට ගෙනැත් දීල, "පුතා ඔයා ඇතුලට එනකොට ගේට්ටුව ලොක් කරගෙන එන්න" කියල ආයෙත් ගෙදර පැත්තට ඇවිදගෙන ගියා.

භානුක දැන් හොඳ සුවච කීකරු පුතා කියල අම්මට පේන්නත් එක්ක මූ 'හා හරි හරි අම්මි' කියල ඉබ්බා අතට ගත්ත ගමන්, ගෙට්ටුවට පිටින් ඉඳලා ගේට්ටුවට දැම්මෙ නැතෑ ඉබ්බා. ප්‍රශාන්තයි මමයි ගල් ගැහිලා බලා ඉන්නවා මො මේ වෙන්නෙ කියල. ගේට්ටුවට ඉබ්බ දාපු භානුක ඊලඟට කිසිම අමුත්තක් නොවුනා වගේ ගේට්ටුව දිගේ බඩගාලා ඒකට උඩින් පැනගත්තා. ප්‍රශාන්තටයි මටයි ඉබේම භානුකගෙ අම්මා දිහා බැලුන. අපි දෙන්න දිහාට විනිවිද යන රැවිල්ලකුත් එක්ක ඇය ගෙට ගියා. ප්‍රශාන්තයි මමයි දැනගත්ත පටි රෝල් තමයි කියල. ආයෙ භානුකගෙ අම්මට මූන දෙන්නෙ කොහොමද?

භානුක තවත් කතා කරන්න හැදුවත්, ප්‍රශාන්තයි මමයි 'අපි යන්නං මචං' කියලා එතනින් මාරු වුනේ ආයෙ කාලෙකට ඒ පැත්තෙ නොයන්න හිතාගෙන. මදෑ භානුකයගෙ හිතේ අමාරුවට ගෙදරට හොරෙන් බිව්වා.

Saturday, March 24, 2012

පුලියා ගැන කතා 1: පුලියා ගගනගාමියෙක් වුනු හැටි

මේ කතා සෙට් එක මගේ විශ්වවිද්‍යාල මිත්‍රයෙක් වටා ගෙතුනු ඒවා. ( මෙතන තියෙන්නෙ කතා සෙට් එකෙන් පළවෙනි එක විතරයි, අනිත් ඒවා මඟ එනවා ). මේ බුවාට අපි කිව්වෙ 'පුලි', කියල. ඇත්ත නමෙන් 2/3ක්ම ඔතන තියෙනව. හැම මගුලකම ඉස්සරහට මුගේ නමේ මුල් අකුර 'පු' යන්න දාන්න මූ පුරුදු වෙලා හිටියා. සාමන්‍යයෙන් මම ඇත්ත නම බ්ලොග් එකේ ලියන්නෙ නැති වුනත්, පුලියගෙ කථා වලට ඉතා වැදගත් නිසා නම ලියන්නම වෙනවා.

පුලියා මට මුනගැහිච්ච නොම්මර එකේ මීටරයක්. අපේ රස්සාවෙ මීටර් ඕනතරම් මුනගැහෙනවා. ඒත් පුලියා වගේ වැරදි පැත්තට කැරකිලා හරි උත්තර දෙන මීටර් කීපයයි මට මුනගැහිලා තියෙන්නෙ මගෙ ජීවිතේටම. පුලියා විශේෂ වුනේ තිබිච්ච නිර්මාණශීලීත්වය නිසා වෙන්න ඇති. කල්පනා කර කර ඉඳලා මොකක් කිව්වත් මූ කියපු දෙවල් වල හොඳ තේරුමක් තිබුනා. දැන් අපේ පුලියා එංගලන්තෙ ආචර්ය උපාධියත් පාස් කරලා ඉවරයි. මූ ෂුවර් එකටම සුද්දො කීපදෙනෙකුට වත් පිස්සු වට්ටලා ඇති මේ වෙනකොට මොකක් හරි විකාර තියරියක් දාලා. මූ ඉගෙනගන්න එංහලන්තෙට ගිහින් ටික කාලෙකින් තමා එහෙ හරකුන්ට අර පිස්සු හැදෙන ලෙඩේත් ආවෙ.

පුලියා මම දන්න කාලෙ ඉඳලාම ඔය ලොකු ලොකු ආයතන වලට හරිම කැමතියි. මූ කැමතිම ආයතනයක් තමා ඇමරිකාවෙ 'නාසා' ආයතනෙ. ඔව් ඔව් ඔය රොකට් වල දාල කොල්ලො, කෙල්ලො, බල්ලො අභ්‍යවකාශෙට එහෙම යවන ආයතනෙ තමයි. මූගෙ හිතේ කාලෙක ඉඳල තිබ්බ ඔය ආයතනෙ වැඩකරන්න ආසාවක්. දවසක් මූ ඉඳන් කියනවා;

"මචං නාසා එක සිරා නේද? මම බැලුවෙ පුලුවන් නම් ඕකට සෙට් වෙන්න."
වෙන එකෙක් මෙහෙම කිව්වනම් මම පැයක් හිනාවෙනවා, හැබයි මූව නම් සත පහකට ෂුවර් නෑ. මූට හිතුනොත් කරන්න බැරිත් නෑ. ඒත් මං කිව්වා;
"අපරාදෙ බං උඹට රොකට් සයන්ස් කරන්න තිබ්බෙ".
ඒ පාර මූ ලොකු කල්පනාවකට වැටුන... "උන්ට මාව නාසා එකට ගන්න බෑ කිව්වොත් මම දාගන්නව නාසා එකක්".

මොකක්? මට නිකන් විකාරයි වගේ වුනා. කමක් නෑ මූ මොකක් හරි අටමගලයක් සෙට් කරගත්තොත් අපිට ඔය සුළු සේවක රස්සාවක් වත් දෙන්නෙ නැතෑ.

"හොඳයි, උඹේ ඔය නාසා එකෙන් මොනවද කරන්නෙ?".
"වෙන මොනව කරන්නද බං රොකට් අරිනවා මිසක්, මෝඩ ප්‍රශ්ණ අහන්න එපා"
හප්පේ පුලියට මල පැනගෙනයි එන්නේ.
"හරි හරි... එතකොට උඹේ ඔය නාසා එකට මොකද්ද දාන නම? ආයෙ නාසා කියල දාන්න බෑනෙ කොපි කරලා නෝන්ඩි වෙන්න."
"හ්ම්..." කියල පුලි කල්පනා කරන්න පටන් ගත්ත. බලා ඉන්දැද්දි මුගෙ ඔලුව රතුපාට වුනා. මීටරේ හෝ ගාල වැඩ. නිකන් හීට් සින්ක් එකක් නැති ඒම්ඩී ප්‍රොසෙසරේ වගේ රතු වෙලා ගියා.

කොහොම හරි එදා දවසට ඔය කතාව එතනින් ඉවර වුනා. පුලියව ඊලඟ දවසෙ මුනගැහුනම මූ ඉහේ මලක් පිපුනා වගෙ ඉන්නව.

"මචං මම නමක් හොයාගත්තනෙ",

"කාටද?"

"මගෙ නාසා එකට"

කලින් කතාව මට මතක් උනේ එතකොට, "මොකද්ද නම?".

"දැන් මේකනේ, නමක් දානකොට, ඔය වගේ ආයතනයක් පිහිටවපු කෙනාගෙ නමත් සම්බන්ධ වෙන්න එපැයි".

"ඔව්, උඹේ නම දාන්න ලැජ්ජයි වගෙ නම් මගේ නම දාපන්". කොහොම හරි තමන්ගෙ නම යනවනම් කවුද අකමැති.

පුලියා මා දිහා රවලා බැලුවා, "අපෝ කීයටවත් බෑ, දාන්න ඉස්සර වහන්න වෙයි උඹේ නම දැම්මොත්".

"හරි කියපන් උඹ දාන නම?"

"මෙහෙමනෙ, ආයතනෙන් කෙරෙන වැඩේ නාසා එකේ වැඩේ වගෙ නිසා නම ඒ වගෙ වෙන්නත් ඕනෙ, මගෙ නම යන්නත් ඕනෙ... ඒක නිසා මම දානව, පූසා කියල."

Thursday, March 15, 2012

නොබී ගිහින්... 1

කලින් වතාවක බීල ගිහින් වෙච්චි කථා ටිකක් ඇහුවනෙ, මේ කියන්න යන්නෙ නොබී ගිහින් වෙච්ච සිද්ධියක්;

කවුරුත් දන්නවනෙ කොළඹ කාර්යාලවල වැඩකරන බොහොම දෙනෙක් සිකුරාදාට 'සෙට්' වෙන විත්තිය සැර බීමක් හරි, බීර ටිකක් හරි බොන්න. මේ 'සෙට්' වීම ටික කලකින්ම පොලිසියටත් ඉව වැටුනා. ඉතින් රාළහමිලා කවදා නැතත් සිකුරාදට නම් කොළඹ තැන් තැන් වල 'සෙට්' වෙලා ඉන්න පුරුදු උනා මේ බීල වාහනෙන් ගෙදර යන ගොයියල ටික අල්ලගන්න. මේ වැඩෙන් උනේ කවදාවත් නොබොන එවුන්වත් පොලිසියෙන් නවත්තගෙන බිව්වද?, බීලා නැත්නම් රියදුරු බළපත්‍ර, ආදායම් බලපත්‍ර, රක්ෂණ සහතික පරීක්ෂා කරන්න පටන්ගත්තු එකයි. සිකුරාදට රෑ වෙලා ගෙදර ගියොත් අනිවාර්යයෙන්ම දෙපොලකදි වත් පොලීසියෙන් නවත්තනවා.

මේ කියන කාලෙ මම වැඩ කලේ එවකට ලංකාවෙ විශාලම ජංගම දුරකථන ජාලය පවත්වගෙන ගිය ආයතනයෙයි. අපේ කන්තෝරුව තිබුනෙ '... ප්ලේස්' එකේ. කන්තෝරුව ළඟම තිබුනා නයිට් ක්ලබ් එකකුත්. ඉතින් පොලීසිය හිතන්නේ මේ ඔක්කොම එන්නේ ක්ලබ් ගිහින් කියලයි. උදේ ඉඳන් වැඩ කරලා මහන්සියයි නිදිමතයි එක්ක ගෙදර යන්න පාරට බැස්සම තැන තැන නවත්තන එක පුදුම වදයක්. ඒත් ඉතින් මොනව කරන්නද, නීතිය පිළිපදින්නත් එපැයි.

අපේ රාජකාරියෙ හැටියට රෑ නිදිමරාගෙන වැඩ කරන්නම වෙනවා. ඔය අලුත් අලුත් පහසුකම් එහෙම දුරකතන ජාලයට එකතු කරන්නෙ මහ රෑ හරි පාන්දර හරි, මොකද අඩුම පාරිභෝගික පිරිසක් දුරකතන ජාලය පාවිච්චි කරන වෙලාව නිසා. එහෙම දවසක මම පාන්දර ගෙදර එන්න පිටත් උනා. ඔෆිස් එක ළඟම තියෙන වාහන ප්‍රදර්ශනාගරෙ ඉදිරිපිටදි පොලිසියෙන් නැවත්තුවා. වාහනේ වීදුරුව පාත්කරන්නවත් හම්බ උනේ නැහැ රාළහාමි කෙනෙක් වාහනේ ඇතුලටම ඔලුව දැම්මා.

"මහත්තයා කොහෙද යන්නෙ?". 


මේ පාන්දර වෙන කොහෙ යන්නද "ගෙදර යනවා රාළහමි".


දැන් රාළහමිට ඕනෙ මම බීලද කියල දැනගන්න. මට පේනවා රාළහමි කබරයා ඉව කරන්නා වගේ ඉව අල්ලනවා වාහනේ පුරාම. කොහොම හරි මම වැඩිපුර කතා කලොත් තමා රාළහමි ගෙ වැඩේ ලේසි වෙන්නෙ. දන්න හින්දම මම අඩුවෙන්ම කතාව.

"කොහෙ ඉඳලද එන්නෙ?"


"දැනුයි මේ ඔෆිස් එකෙන් එන්නෙ".


දැන් රාළහමිට තවත් සැකයි, "ඔෆිස් එක කොහෙද?".


"... එකේ වැඩකරන්නෙ"


"කොහෙ ... එ
කේ ද?"

"... ප්ලෙස් එකේ"


"
... ප්ලෙස් කියන්නෙ මේ මෙතන?"

"ඔව් ඔතන තමයි, මේ තියෙන්නෙ ඔෆිස් එ
කේ අයිඩෙන්ටිය"

දැන් රාළහමිට තේරුනා මේකා බීල නැහැ කියල. එත් නවත්ත්පු එකේ මොකක් හරි වරදක් හොයගන්න වගෙ, ඒ පාර
රියදුරු බළපත්‍ර, ආදායම් බලපත්‍ර, රක්ෂණ සහතික පරික්ෂා කරලා අල්ලගන්න වරදක් නැති නිසා කියපි;

"හා කමක් නෑ ... එකේ අපේ එක්කෙනෙක් නෙ, මහත්තය යන්න".
මාව ෆුල් හොල්මන් ඒ කතාවට. කවද ඉඳන්ද පොලිසිය මොබයිල් ෆෝන් කොම්පැනිය පවරගත්තෙ. අනික මම පොලිසියෙ නම් මොන වෙඩින් එකකටද මෙච්චර වෙලා රස්තියාදුව.

අපි කරන රස්සාවෙ වගකීම් කීපයක් මොබයිල් ෆෝන් කොම්පැනිය පවරගත්තු අයටත් තේරෙන්න එපැයි. මම වාහනේට නඟින ගමන් රාළහමිට කිව්වා "මම ... සර්විස් එකට අද අප්ඩේට් එකක් දැම්මා, මම හෙට නිවාඩු නිසා රාළහමි ඩ්යුටි ඉවරවෙලා ගෙදර යනගමන් සර්විස් ලොග් එකත් චෙක් කරලා යන්න කියල". ඇයි ඉතින් මේ ඉන්නෙ පරීක්ෂනයට දක්ෂ "අපේ පොරක් නෙ". 

රාළහමි නිකන් ලොකු මඤ්ඤං වන්නමක් ඇහුනා වගේ ඇස් දෙකත් දොට්ට දාගෙන බලා ඉන්නවා, ෂුවර් නැතුව මම කිව්වෙ මොකද්ද කියලා. කොහොම උනත් මම ඉක්මනටම වාහෙනේට රිංගගෙන එතනින් මාරු උනා පොර තේරුම අහන්න කලින්.

Sunday, March 11, 2012

ශ්‍රී ලාංකික දමිළ ජනතාවට හීනමානය ඇතිකරවීම

මතක පොතට මේ සටහන එකතු කරන්න හිතුවෙ ළඟදි බලපු දමිළ බයිස්කෝප් එකක තිබුනු දෙබස් ඛන්ඩ කීපයක් නිසයි. බයිස්කෝප්  එකේ නම '7 ඖම් අරිවු'.

මේ චිත්‍රපටයෙ කතාව ගෙතෙන්නෙ චීනෙට කුංෆු සටන් කලාවත් වෙදකමත් 6වන සියවසේ ඉන්දියාවෙන් අරගෙන ගිය බෝධි ධර්මන් නමැති දමිළ බෞද්ධයා සතු වූ හැකියාවන් මතයි. ගතානුගතික දමිළ සිනමා රාමුවෙන් මිදුනු චිත්‍රපටයක්. නිර්මාණයක් වශයෙන් සාර්ථක වෙන්න තිබුනා. නමුත් බෝධි ධර්මන් තුළ තිබූ උතුම් ධර්මයන්ට චිත්‍රපටය තුළ ලැබුනු තැන මදි කියන එකයි මගේ හැඟීම. කොහොම වුනත් මේ සටහන ඒ ගුණ අගුණ ගැණ නොවෙයි.

මේ චිත්‍රපටයෙ රූපරාමු පෙළක් දිගහැරෙනවා කථාවෙ වීරයාට දුශ්ඨයා විසින් දිගින් දිගටම පහර දෙනවා. නිකන් නෙවෙයි, වටපිට ඉන්න මිනිස්සුන්වත් මෝහනය කරලා ඔවුන් ලවාත් පහර දෙනවා. කථාවෙ වීරයාට (අරවින්ද්) පෙම්වතියත් එක්ක පසු බැහැලා පැනලා යන්න සිදුවෙනවා. ඊලඟ රූපරාමුවෙ අරවින්ද් කේන්තියෙන් මානසික අසහනයෙන් ඉන්නවා. මෙන්න මෙහෙමයි ඩයලොග් එක යන්නෙ;
"Back then in Tamil Naadu if a male child was born dead, they'd make a mark on his chest before burying him. You are told never to show your back and flee at war. And today was it really brave that we ran to save our lives? They hit us in Malayasia, in Sri Lanka and now, they've come to Tamil Nadu to strike us. we can only run from them." 

මේ ඩයලොග් එකේ කියන විදිහට දමිළ මිනිස්සුන්ට ලංකාවෙන් ගහලා මුහුදට දැම්මා කියල හිතේවි විස්තර නොදන්න කෙනෙකුට. මැලේසියාවෙ, තමිල් නාඩුවෙ මොනවා වුනාද කියන්න මම හරියටම දන්නෙ නෑ. නමුත් ලංකාවෙ වෙච්ච දේ නම් මම දන්නව. කිසිම දමිළ සිවිල් වැසියෙකුට ලංකාවෙ ඕනම තැනක යන්න එන්න, ඉන්න කිසිම තහනමක් එදත් තිබුනෙ නෑ, අදත් ඇත්තෙ නෑ, හෙටත් එහෙමම තමයි. කොටි ත්‍රස්තවාදීන් නම් සිංහල, මුස්ලිම් විතරක් නෙවෙයි දමිළ මිනිස්සුන්ටත් ගැහුවා. මේ කතාවෙ තිර රචකයා ඔක්කොම පටලවාගෙන බවයි පේන්නෙ. ලංකාවෙ ඉන්න අපේ දමිළ සහෝදරයින්ට මේවගේ සියුම් විදිහට හීනමානයක් ඇති කරවන්නෙ කාලකන්නි ත්‍රස්තවාදි යුද්ධෙන් ඔවුන් විඳපු දුක් මදි කියලා තිර රචකයා හිතන හින්දද දන්නෙ නෑ. එයා මොනව හිතුවත් මොනවා මේ චිත්‍රපට වලට ඇතුළත් කළත් මම බලාපොරොත්තු වෙනවා ලාංකික දමිළ සහොදරයින් මේවට නොරැවටේවි කියල. 

ලංකාවෙ සිදුවෙච්ච යුද්ධෙන් පරාද වුනේ ත්‍රස්තවාදයයි, එයින් ජයගත්තේ සිවිල් ජනතාවයි.

මම දෙමළ භාශාව දන්නෙ නෑ. මේක දෙමළෙන් ලියන්න තිබ්බ නම්...

We are not sure what the screenplay writer of this movie is trying to say, by including such dialogs in a Tamil movie. It seems that the screenplay writer wants to make Sri Lankan Tamils feel lesser in value, and tell everyone that Sri Lanka is at war with its Tamils. Which is a HUGE LIE. Sri Lanka was never at war with its Tamil people (or any civilian for that matter). The screenplay writer, directors and producers of films should get their facts straight. They have to be responsible in what they include in their creations. Such negativity will not help up-bring the morale of Tamils in Sri Lanka. Civilians won the war in Sri Lanka, only the terrorists were lost.

Thursday, March 8, 2012

බැටරි වයර්

මේ කතාව ඇහුවේ මම කලින් වැඩ කරපු ඔෆිස් එකේ මිතුරෙක් ගෙන්. මේ කතාවෙ කතානයකයා ඉතාම දක්ෂ ගිතාර් වාදකයෙක්. මෙයා තරුණ කාලෙ තවත් මිතුරන් කිහිප දෙනෙක් එක්ක සංගීත කණ්ඩායමක් හදාගෙන උත්සව වලට සංගීතය සැපයීම කලා. එහෙම ගිය වතාවක සිදුවෙච්චි සිද්ධියක් තමයි මේ කියන්න යන්නෙ.

සංගීතය සපයන්න කියල කොන්ත්‍රාත්තුව ලැබුනෙ මෙයාලගෙ මිත්‍රයෙකු මාර්ගයෙන්. එයත් සංගීත කණ්ඩායමක් කරන කෙනෙක්. එදා එයාලට වෙනත් උත්සවයකට සංගීතය සපයන්න තියෙන නිසා වැඩේ අපේ කතානයකයගෙ ක්ණ්ඩායමට පැවරුනා. මේ නිසා දැන් සංගීතය සපයන්න යන කට්ටිය තමන්ගෙ සේවාදායකයා ගැන මොකුත් දන්නෙ නැහැ. තැනක් වෙලාවක් ඇරෙන්න එන පිරිස ගැන විස්තර මොකුත්ම දන්නෙත් නැහැ. කොහොමෙන් කොහොමෙන් හරි කට්ටිය ගියා කියමුකො උත්සවය තියෙන තැනට...

හප්පා... මේක ග්‍රෑන්ඩ් වෙඩින් එකක්. විසාල වත්තක් මැද්දේ තිබුනු තඩි ගෙයක් හොඳට සරසලා වත්ත පුරාම තැන් තැන් වල පුටු මේස තියලා (හැම මේසෙම බයිට්, සැර බීම එහෙමත්) 1000 ක් විතර සෙනඟක් පිලිගන්න ලැහැස්ති කරල තියෙනවා. ඒ මදිවට සංගීත කණ්ඩායමට ඉන්න, නියම ස්ටේජ් එකකුත් ගහලා. සංගීත කණ්ඩායමට හරිම සතුටුයි. ඒ වගේම බයයි. මෙච්චර සෙනඟක්...

කොහොම හරි ගොඩ දාමු කියලා සංගීත කණ්ඩායමත් තමන්ගෙ සංගීත භාන්ඩ අටවගෙන ලැහැස්ති උනා. ටිකෙන් ටික රෑ වෙනකොට අමුත්තෝ එන්න පටන් ගත්තා.  මෙයාලගෙ සේවාදායකයා ලොකු බිස්නස් කාරයෙක් කියලා දන්නෙ දැනුයි. එක එක තරාතිරම්වල නොයෙක් නොයෙක් ජාතියෙ අමුත්තො ගොඩයි. ඒක නිසා මෙයාලත් සිංහල, ඉංග්‍රීසි, දෙමළ, හිංදි මෙකී නොකී දන්න දන්න සිංදු ඔක්කොම ගහනවා.

ඉතින් අමුත්තො එකා දෙන්නා ඇවිත් නටන්නත් පටන් ගත්තා. එක එක තාලේ නැටුම්. පොඩ්ඩක් වැඩි වෙච්ච, ඊටත් වැඩි වෙච්ච, හොඳටම වැඩි වෙච්ච කට්ටියත් එක්ක ලොකු ඩාන්ස් ගෘප් එකක්... ඔය අතරෙදි දැන් ඩාන්ස් කරන අයත් සිංදු ඉල්ලනවා. මල්ලි අර සිංදුව දෙන්න, මේ සිංදුව දෙන්න... රික්වෙස්ට් ගොඩයි.

ඔය අතරෙදි ඩාන්ස් කර කර හිටපු පොරක් කෑ හගලා කියනවා "මල්ලී... බැටරි වයර් ගහන්න" කියලා. සංගීත කාරයෝ ටික අන්දුන්කුන්දුන් වෙලා බලනවා, මොන බැටරි වයර්ද? බේස් ගිටාර් කාරයා කතානායක ගෙන් අහනවා;
"මොකද්ද බන් ඒ කිව්වෙ?"
 
"අපිට නෙවෙයි වෙන්න ඇති බන්"

 
දැන් සංගීත කාන්ඩායම තවත් සිංදුවක් පටන් ගත්තා. අර සිංදුව ඉල්ලපු පොර ස්ටේජ් එක ලඟටම ඇවිත් "ඊලඟට බැටරි වයර් ගහන්න" කියලා ආයෙත් ඩාන්ස් කරනවා. මිනිහා කියන දේ තේරෙන්නේ නැති අහිංසක සංගීත කණ්ඩායම දැන් බය වෙලා. ඒ 
පාර කතානායක බේස් ගිටාර් කාරයා ගෙන් අහනවා;
"උඹට තේරුනාද බන් මූ ඉල්ලන්නේ මොකද්ද කියලා?"

"නෑනෙ බන්, මොන ඉලව් බැටරියක් ද?"

සිංදුව  ඉල්ලන එකාත් හොඳට ඇඟපත තියෙන එකෙක්. කට්ටිය කාටවත් තෙරෙන්නෙ නෑ මේ රික්වෙස්ට් එක මොකද්ද කියලා. හැබයි මේක ඉක්මනින් ප්ලේ කලේ නැත්නම් ගමකට කන්න වෙන බව නම් ටික ටික පැහදිලි වේගෙනයි එන්නේ.

ඔන්න ඒ සිංදුවත් ඉවරයි. "බැටරි වයර්" ගහන්න දන්නෙ නැති සංගීත කාන්ඩායම තවත් සිංදුවක් පටන් ගත්තා. අර සිංදුව ඉල්ලපු පොර ඩාන්ස් එක නවත්තලා මරුමුස් බැල්මක් දාලා, ඇඟිල්ලත් දික් කරලා "මල්ලී... ඊලඟට බැටරි වයර් ගහපන් හරිද?" කියල කිව්ව. සංගීත කාරයෝ ටික බයටම ඔලුව වනලා සිංදුව ගහනවා. තව ටිකකින් බඩකට පුරා ගුටි ලැබෙන බව දන්න නිසා කට්ටිය හොඳටම බය වෙලා සිංදුව ඉල්ලපු පොර දිහා බල බල මිනිහ කිව්වදේ තෙරුම් ගන්න බලනවා. මේ මිනිහා නටන විදිහට කාන්ඩායමේ ටෙම්පෝ එකත් අවුට් යනවා. ප්‍රශ්න ගොඩයි. 

සිංදුව නවත්තලා වෙන එකක් පටන් ගත්තොත් ගුටි කන්න වෙන නිසා මිනිත්තු දෙකේ සින්දුව දැන් මිනිත්තු හතක් විතර ප්ලේ වෙනවා.එක සිංදුවක් දිගටම ප්ලේ කරන්නත් බෑනෙ. ඔන්න ඒ සිංදුවත් ඉවරයි. "වයර්" ඉල්ලපු පොරත් දැන් ස්ටේජ් එකේ ඉන්න සංගීත කාරයො ටික දිහා බලා ඉන්නවා "බැටරි වයර්" ගහනකන්. සංගීත කණ්ඩායම අසරණ වෙලා ඉන්නවා රික්වෙස්ට් එක තෙරුම්ගන්න බැරුව. ඊලඟ සිංදුව පරක්කු වෙනකොට හූවක් වදින්නත් ඉඩ තියෙන නිසා වැඩේ තවත් අවුල්. බැරිම තැන තවත් සිංදුවක් පටන් ගත්තා.

මේ පටන් ගත්තෙ තමන් ඉල්ලපු සිංදුව නෙවෙයි කියල දැනුන ගමන් "වයර්" ඉල්ලපු පොර ස්ටෙජ් එකට පැන්නා, "අඩෝ උඹ මගෙ සිංදුව ගහන්නෙ නැද්ද?" කියල අහගෙන. මිනිස්සු පණ බෙරගන්න නොකරන දෙයක් නෑනෙ. කතානයකත්, බයෙන් බයෙන් උනත් මිනිහව කූල් ඩවුන් කරගන්න ට්‍රයි කලා. "නෑ අයියෙ, අපි දැන් මේ පොඩි බ්‍රේක් එකක් ගන්නයි යන්නෙ", ඊලඟට පටන් ගන්නෙ ඔයාගෙ සිංදුවෙන්." කියලා ඕගන් ප්ලේ කරපු කෙනාට කිව්වලු "මල්ලි ඉන්ටලූඩ් මියුසික් එකක් දාන්න" කියල, "වයර්" ඉල්ලපු පොරවත් ෂේප් කරගෙන ගුටිත් නොකා බේරුනා. හැබැයි දැන් කොහොම හරි "බැටරි වයර්" සිංදුව හොයාගන්න ඕනා.

විවේකය වෙලාවෙදි බේස් ගිටාර් කාරයා "වයර්" ඉල්ලපු එකා එක්ක පොඩි ඩ්‍රින්ක් එකක් එහෙම දාන ගමන් හෙමීට අහගත්තලු මේ ඉල්ලන අරුම පුදුම සිංදුව. විවේකෙන් පස්සෙ බේස් ගිටාර් කාරයා හිනාවෙවී ඇවිත් ස්ලෝ බීට් එකක් ගහන්න කියලා එල්ටන් ජෝන්ගෙ 'සැක්‍රිෆයිස්' (sacrifice) සිංදුව පටන් ගත්තලු;
 
"It's no sacrifice (බැටරි වයර්)... just a simple word..."

ඔන්න ඔහොමයි කට්ටිය "බැටරි වයර්" ගහලා පණ බේරගත්තෙ.


පසුවදනක්:
වෙලා තියෙන්නේ මේකයි. අර සිංදුව ඉල්ලපු පොරට උවමනා වෙල තියෙන්නෙ 'Sacrifices' තමයි. නමුත් මිනිහා ඉංග්‍රීසි කතා කරන්නේ ඇහෙන විදිහට. උච්ඡාරණය වැරදියි. 'සැක්‍රිෆයිස්' වෙනුවට මිනිහ කියන්නේ 'බැටරි වයර්'. තව පොඩ්ඩෙන් සංගීත කාරයො ටික ගමකට ගුටි කනවා මේ පටලැවිල්ල නිසා.