Sunday, May 19, 2013

අපේම අයට රට එපාවීම හෙවත් බුද්ධිගලනය... 1

දීර්ඝ සංවාදයකට ආරම්භයක් හැටියට මේ කතාව කියන්නෙ. මේ පොස්ටුව දිග වැඩි නිසා කොටස් කීපයක් ඒවි.
 

මේ කතාව මම ඇහුවෙ මට උගන්නපු ආචාර්‍යවරයෙකුගෙන්. එතුමා අපේ රටේ ප්‍රසිද්ධ ආයතනයක මානව සම්පත් කලමනාකරුවෙක් විදිහටත් සේවය කලා. මේ ආයතනය අපේ රටට ඡායාපිටපත් යන්ත්‍ර (Photocopy Machine) ගෙන්වා බෙදාහරින ආයතනයක්. ඡායාපිටපත් යන්ත්‍ර ගැන දන්න අය දන්නවානේ මේ යන්ත්‍ර කලින් කලට නඩත්තු (service) කලයුතුයි. මේ සඳහා පුහුණු කර්මික පිරිසකුත් මේ කියන ආයතනයේ ඉඳලා තියෙනවා.

එක්තරා තරුණයෙක් මේ ආයතනයට නඩත්තු කටයුතු සහයකයෙක් ලෙස සේවයට පත් වුනා. ඉතාම දිළිඳු වූ ඔහු, ඒ තරම්ම අහිංසකයෙක්. නමුත් ඉතාම උනන්දුවෙන් ඡායාපිටපත් යන්ත්‍ර අලුත්වැඩියාව ඉගෙන ගත්තා. අනෙත් අය නිකරුනේ කාලය ගත කරද්දි මේ තරුණයා ඡායාපිටපත් යන්ත්‍රවල තාක්ශණික අත්පොත් (Technical Manuals), රූපසටහන් (Schematic Diagrams) අධ්‍යයනය කරල අළුත්වැඩියා කටයුතු වල දක්ශයෙක් වුනා. කලක් ගතවෙද්දි, මුළු ආයතනයෙන්ම ඡායාපිටපත් යන්ත්‍ර අළුත්වැඩියාවට දක්ශතම, නම් දරාපු කෙනා බවට පත්වෙන්න මේ තරුණයා සමත් වුනා.

කලින් කලට, මේ ආයතනයෙන් සේවකයන් ජපානයේ මව් සමාගම වෙත පුහුණු පාඨමාලා සඳහා යවනව. ඉතින් මේ කියන තරුණයත් එහෙම පාඨමාලාවක් සඳහා මාස කිහිපයකට ජපානයේ මව් සමාගම වෙත යවල තියෙනව. පුහුණුව අති සාර්ථකව නිමා කරල නියමිත කාලය අවසානයේ මේ තරුණය ආපහු ලංකාවට එන්නේ ඡායාපිටපත් යන්ත්‍ර පිළිබඳව ලංකාවෙ ඉන්න දක්ශතමයා හැටියට. නමුත් ආපහු ආපු මේ තරුණයාට ආයතනයෙන් නම් සැලකිල්ලක් නෑ. පරන තත්ත්වයම තමයි. ආයතනයේ ඉන්න නොයෙක් ඊරිසියාකාරයන්ගෙනුත් කෙනෙහිලිකම් වැඩිවුනා. ටික දවසකින් මේ තරුණයා තමන්ගෙ ඉල්ලා අස්වීමේ ලිපියත් අරගෙන ආයතනයෙ මානව සම්පත් කලමනාකාරතුමා හමුවෙලා තියෙනවා.

මේ තරුණයා ගැන විස්තර දන්න නිසා එතුමා උත්සාහ කරලා තියෙනව ඔහුගේ තීරණය වෙනස් කරල ඔහුව නවත්තගන්න. නමුත් එතකොට ප්‍රමාද වැඩියි. ඔහු පිටරට වෙනත් ආයතනයක සේවය සඳහා යන්න තීරණය කරල ඉවරයි.

මෙච්චර වෙලා මේ කතාව කිව්වෙ, බුද්ධිගලනය මතකයා ඉතාම සුළභව දකින නිසයි. මතකයා එක්ක විශ්වවිද්‍යාලයෙ ඉගෙන ගත්තු 'බැචාල' ගෙන් ලංකාවේ ඉතුරු වෙලා ඉන්නෙ අතේ ඇඟිලි ගණනටත් අඩුවෙන්. දිනෙන් දිනම අපේ රටට අවශ්‍යකරන මොළගෙඩි ටික අපෙන් අත්හැරෙන්නේ ඇයි කියල කිසිම කෙනෙක් හොයල නොබලන්නේ ඇයි? යන එවුන් පලයව්, කියල අතහැරල දාල ඉන්න පුළුවන් තරම් අපේ රට පෝසත්ද?

අපේ රට මුළු ලෝකයටම අවශ්‍ය හොඳ ඔලුගෙඩි බිහිකරන ෆැක්ටරියක්. අපේ ඔලුගෙඩි පිටරට යන්නෙ ඉංදියානුවන් වගේ කීයක් හරි හම්බ කරගෙන ආපහු එන්න නෙවෙයි. යන්නම යන්න (Migrating). ආපහු නො එන්නම. මෙච්චර බුද්ධිමතුන් පිරිසකට රට එපාවෙන්න නම් මොකක් හරි ලොකු වරදක් තියෙන්න ඕන නේද?


ඉහත ලියපු කතාව තුළ වැදගත් පාඩමක් තියනව. ආයතනයෙන් පිටරට පුහුණුවට යැව්ව තමයි, නමුත් පුහුණුව ඉවර කරල ආපු ඒ තරුණයගෙ දක්ෂකමට නිසි ඇගයීමක් ලැබුනේ නෑ. (ඇගයීමක් මුදලින්ම වෙන්න ඕන නෑ.) 

නොමිළයේ නිදහස් අධ්‍යාපණය දුන්න තමයි. නමුත්, නිදහස් අධ්‍යාපණය ලැබූ හැමෝම දොස්තරලා, ඉංජිනේරුවෝ, නීතීඥයො, කාර්මිකයො, ගුරුවරු වුනේ නෑනෙ. එහෙම වුනේ කොටසක් විතරයි. ඒකට එයාලගෙ දක්ෂකම, කැපවීම බලපෑව. ඉතින් දුක් විඳල ලබපු අධ්‍යාපනයෙන් පස්සෙ සමාජයට ගිය මේ පිරිසට සමාජයෙන් ලැබිය යුතු නිසි ගෞරවය ලැබෙනවද කියන එක කල්පනා කරල බලමු. නිකමට හිතුවොත්, පෞද්ගලික බස් එකක ගමනක් යනව කියල දොස්තර වරයෙක්. බස් එකෙ කොන්දොස්තර මේ මනුස්සයට කතා කරද්දි කල්පනා කරනවද, මේ යන්නේ දුක් විඳල උසස්පෙළ පාස් කරල, අවුරුදු 5-6 වෛද්‍ය විද්‍යාලෙ දුක් විඳල, තවත් අවුරුද්දක් දෙකක් දුශ්කර සේවයත් කරල ආපු මනුස්සයෙක්ය කියල. මොකවත් ඕනෙ නෑ, බස් එකට නඟින කොයි මනුස්සයට වත් නම්බුවක් ඇතුව කතා කරනවද? ඉතින් ඔය වගේ අය බාල මිනිස්සු රටේ ලොකු ලොකු තැන්වලට පත්වෙනකොට ඉගෙනගත්තු එවුන් මේ රට දාල දුවන එක අහන්නත් දෙයක්ද?

කලබලෙන් හරි මේ ටික ලිව්වෙ ඉවසල ඉවසල බැරිම තැන. බුද්ධිමත් සංවාදයකට විවෘතයි.

3 comments:

  1. කතාව ඇත්ත.. මම තව දෙයක් එකතු කරන්නම්. මම ඉන්නේ ඔය කියන දියුණු රටක. මෙහි එන ලන්කිකයෝ ඉතාමත් දක්ෂ ලෙස තම රැකියා ක්ෂේතරයන්ගෙන් ඉහලට යනවා. අපි සැම විටම සොයන්න බලනවා අපේ රටේ මිනිස්සුන්ගේ සහ මේ දියුණු යයි සම්මත මිනිස්සුන්ගෙයි තියෙන වෙනස. කොහොමද මේ රටවල් දියුණු උනේ.. ඇත්තට එකම මුල හේතුවයි තියෙන්නේ.. මේ රටවල් වල නීතියක් තියෙනවා.. අපේ රටේ නැහැ.. එක තමයි පෙනෙන එකම හේතුව.. අනිත් හැම ප්‍රශ්නයක්ම පන නැගල තියෙන්නේ එතනින්.

    මේකම තමයි ගොඩක් උගතුන් යලිත් ලංකාව නොඑන්න හේතුවන කරනවත්..

    ReplyDelete
    Replies
    1. ඇත්ත සහෝ. හොයලා බැලුවොතින් ඇයි ලංකාවෙ හොඳ මොලයක් මේ රට දාල ගියේ කියල ඒකෙ කොතනක හරි, ඔවුන්ට වෙච්ච අසාධාරණයක්, කෙනෙහිලි කමක් තියෙනව. තමන්ට සාධාරණයක් ඉශ්ඨ නොවුනු තැන, සමහර විට නීතියෙන් වත් පිළිසරණක් ගන්න බැරි වෙනකොට, බොහොම දෙනා කරන්නෙ ඒ වගේ දේවල් නොවෙන තැනකට යන එකයි. ඔවුන්ට ඒකට දොස් කියන්න බැහැ.

      Delete
  2. මම ඔතන තව දෙයක් දකිනව. අපේ උගතුන් කියන කස්ටිය ඔබ කියනා විදියට ගරුත්වයක් බලාපොරොත්තු වෙනව. නමුත් ඔබ දියුණු යැයි කියනා රටවල ඔතරං දොස්තර කියලා ගරු කරන්නෙ නෑ.
    අනෙක් රටවලට ගියහම ඔය සෙල්ලම් බෑ. ස්ටර්යික් නෑ. අයිස් ගැහිලි නෑ. කොටින්ම ජොබ යනු අභියෝගයක්. ඉතින් හෝ ගාල වැඩ කරන්න වෙනව. පිටරට ඉගනගන්න ගිය කෙනෙක් නම් චාටර් උනොත් ස්කොල් එක කැන්සල් වෙනව. ඒ නිසා එහෙට ගියොත් ඒ විදියට හැඩ ගැහෙන්න වෙනව. නමුත් වෙනස එහේ පඩි වැඩියි, නීතිය කාටත් එකයි. කැපිලි අඩුයි. ඊරිසියා කාරයෝ අඩුයි. තමුන් වරදක් නොකරනකන් ප්‍රශ්නයක් නෑ.

    ReplyDelete

බ්ලොග් එකක් සිංහලෙන් ලියන එකේ අමාරුව දන්නේ සිංහලෙන් බ්ලොග් ලියපු එකෙක්ම තමා. එහෙව් අමාරුවෙන් ලියන බ්ලොග් එක කියවල ඒකට කමෙන්ටුවක් දාන්නෙ එහෙමත් කරුණාවන්ත ඇත්තෙක් තමා. මට ඒ හැම කමෙන්ටුවක්ම රටක් වටිනව...