Sunday, June 24, 2012

සාපයෙන් මිදුනු උතුරේ මිනිස්සු

පහුගිය දවසක දන්න හඳුනන යහලුවෙකුගෙ ආයතනයකින් උතුරෙ කරන ව්‍යාපෘතියක ස්වෙච්ඡා සේවකයෙක් විදිහට මටත් උතුරු පළාතට යන්න ලැබුනා. මතක පොතේ මේ පිටුව වෙන් කරන්න යන්නෙ උතුරෙදි ලැබුනු අත්දැකීම් බෙදාහදා ගන්න.

පැහැබර අනාගතයක් වෙත දෑස් දල්වා...
අවුරුදු තිහකටත් වඩා වැඩි කාලයක් උතුරෙ මිනිස්සුන්ව පෙළපු සාපලත් යුද්ධය නිමා වෙලා අවුරුදු ගානක් ගතවෙලා ගියත්, ඒ පළාත් වල ඉන්න සාමාන්‍ය ජනතාවගෙ ජීවිතය තාමත් සාමාන්‍ය තත්ත්වය කරා එලඹෙමින් තිබුනා. නමුත් අඩුපාඩු බොහොමයි. හමුදාවෙ සහෝදරයො එකතු වෙලා තමන්ගෙ පඩියෙන් සල්ලි ටිකක් ඉතුරු කරලා සමහර තරුණයන්ට බයිසිකල් අරන් දීල තිබුන. මේ මිනිස්සුන්ට ‍යුද්ධය නිසා හැමදේම නැති වෙලා තිබුනු නිසා, ආපහු බිංදුවෙ ඉඳන් පටන්ගන්න වෙලා. ඔවුන්ගෙ ජීවිත් නැවත ගොඩනඟන්න හමුදාවෙන් ඉටුකරන මෙහෙය ඉතාම ප්‍රශංසනීය බව නොකියා බැහැ. හැබයි මොන දේ නැති වුනත් ඔවුන්ගෙ හිතේ සාමකාමී ජීවිතයක් ගතකරන්න තියෙන බලාපොරොත්තුව නම් නැති වෙලා ගිහින් තිබුනෙ නෑ.

වෙනදට කාර්යාලයෙ මේසෙට පුටුවට හිරවෙලා උන්නු අපි හැමෝම, මේ අසරණ වුනු අපේම සහෝදර සහෝදරියන්ට පිහිට වෙන්න ලැබීම ගැන ඉතාම සන්තෝශයට පත්වුනා. බරවැඩට හුරු නැති අතපය කැපුන, සීරුනා, අත්වල දියපට්ට ආවා වුනත්, කිසිම කෙනෙක් ඒ ගැන පැමිනිලි කලේ නැහැ. කවුරුත් තමන්ට පුළුවන් විදිහට ශ්‍රමදානෙට සහභාගී වුනා. ව්‍යාපෘතිය යටතෙ ගෙවල් පනහකට වැඩි ගණනක් හදන්න නියම වෙලා තිබුනා. ඒවායින් 80%කටත් වඩා පුනරුත්ථාපනය කරපු කොටි සාමාජිකයින්ගෙ පවුල් වලට බෙදාදෙන්න නියම වෙලා තිබුනෙ. අපිට ලැබුනෙ වැසිකිළි වලවල් කපන්න, අත්තිවාරම් වේයන්ගෙන් ආරක්ශා කරගන්න රසායනික තවරන්න, බදාම/කොංක්‍රීට් අනන්න, බාසුන්නැහෙලට ගඩොල්, බදාම ගෙනිහින් දෙන්න වගේ වැඩ. ගෙදර එනකොට මුළු ඇඟම රිදෙනවා. අතපයේ කෑලි නැහැ. කරගැටත් ඇවිත්. නමුත් සහභාගි වෙච්ච හැමෝම ආවෙ ඉතාම සතුටින්. අසරනයින්ට පුලුවන් තරමින් පිහිට වෙන්න ලැබුනා කියන සන්තෝසෙන්.

එයාලට එක සිංහල වචනයක් වත් බෑ. අපි දෙමළ දන්නෙ නෑ. නමුත් කොහොම කොහොම හරි දන්න දෙමළ වචන කීපයක් කියලා, අතින් පයින් කතාකරලා තමා වැඩ කරන්නෙ. වැඩවල කිසි අඩුපාඩුවක් නෑ.

අපි වැඩකරන අතරෙ අපට නොයෙක් සැළකිලි සංග්‍රහ. ඒ පළාතට ආවේණික පළතුරු, කුරුම්බා එහෙම හම්බවුනා. හප්පේ පළතුරු වල රස! පැපොල් ගෙඩියක් වුනත් පුදුම රසයි. වැස්ස අඩු නිසා වෙන්න ඇති.

මේ ගිය හැම ගමනකදිම මතකයා මේ දුප්පත් අසරණ මිනිස්සුන්ගෙන් පාඩම් ඉගෙන ගත්තා. ඒ එක පාඩමක් තමා මේ මිනිස්සු තමන් කරන වැඩේට බොරුකරන අය නෙවෙයි. හොරට වැඩ කෙරිල්ලක් නෑ. වැඩක් කරන්න ගත්තොත් ඒක හරියට කරනවා. අනුන් කියනකම් ඉන්නෙ නෑ. තමන්ම ඉදිරිපත් වෙලා කරනවා. තවත් දෙයක් තමයි ඔවුන් කරන වැඩක ඇති නිමාව. වළක් කැපුවත් ඒක හරියටම චතුරශ්‍රයක්, අංශක අනූවෙ කෝණ. නිමාව (Finishing) කියන දේ හරියට ආගමක් වගේ භක්තියෙන් කරන්නෙ.  ගිය කවුරුත් පුදුම වෙලා බලන් හිටියා.

මතකයා වැඩියෙන්ම පුදුම වුනේ පුංචි පැටියෙක් නිසා. මතකයා ඇතුලු පිරිස වැඩකරන තැනට සංග්‍රහ විදිහට දිවුල් හම්බවුනා. ගැට වුනත් පුදුම රසක්. කට්ටිය දිවුල් කාලා එක දිවුල් ගෙඩියක් ලඟ තිබුනු පුටුවක් උඩ තියලා තිබුනා. පුංචි දරුවො පිරිසක් අපි වැඩ කරනව බලන්නත්, සෙල්ලම් කරන්නත් ඒ අවට ගැවසෙමින් හිටිය. ඒ අතරින් පුංචි පුතෙක් ඇවිත් අපේ නඩේ කෙනෙක්ට ඇඟිල්ලෙන් ඇනල පුටුව පෙන්න පෙන්න මොකද්ද කියනව. 'තන්නි?' පුටුව උඩ තිබුනු වතූර බෝතලේ අතට ගන්න ගමන් අපි ඇහුව. ඔළුව දෙපැත්තට වනල නෑ කියල, අර පුංචි බබා, දිවුල් ගෙඩිය දිහාට ඇඟිල්ල දික් කරනව. අපි එයාට ඒක දුන්න. මතකයා පුදුම වුනේ ඒ දරුවගෙ පුංචි වයසට තිබුනු ආචාරශීලී කමට. ඉල්ලගත්තා මිසක් ගත්තෙ නෑ. ඒ විතරක් නෙවෙයි තමන්ට හම්බවුනු දිවුල් ගෙඩිය අනිත් අය එක්ක බෙදාගෙන කනව මතකයා බලාගෙන. මතකයා තවත් අත්දැකීමක් මතක පොතට එකතු කරගත්ත, පාඩමක් විදිහටම.

මොනවද ඕනෙ කියල වැඩිහිටි පිරිමින්ගෙන් ඇහුවම ඔවුන් ඉල්ල්න්නේ ඊලම් වත්, රටෙන් කෑල්ලක් වත්, පොලිස් බලතල වත් නෙවෙයි. ඔවුන් ඉල්ලුවෙ ඔවුන්ගෙ වගාකටයුතු සඳහා වතුරත්, බීජ පැලත් පමණයි. 'අපට වගාකරගෙන කන්න පුළුවන්', ඔවුන් එහෙම කියන්නෙ දැඩි ආත්ම විශ්වාසයකින්. ඒ ආත්මවිශ්වාසය හෙට දිනයේ අපේ රට ඉසුරුමත් කරවන්නට ලාංකික අප කාටත් දිරියක් වේවි.
සිවු හෙළයටම සතරවරම් දෙවි පිහිටයි!

(පින්තූරය ලබාදුන් සුභාශ් සහෝදරයාට මතකයාගෙන් නොවක් තුති)

6 comments:

  1. හරියට හරි... අපිත් ඉන්නෙ අනිත් කොණේ.මට පුදුම හිතුනා හරියටම නිවැරදිව හොඳින් වැඩ කරන මිනිස්සු ගැන ඇහුවම. කොයි තරම් හොඳද එහෙම අය මුණ ගැසීමත්. කොහෙත් ඉන්නවා හොඳටම වැඩේ කරන මිනිස්සු සහ භාගෙට වැඩ කරන අය.මම කියන්නේ අවුරුදු 3 අත්දැකීම් ඇතිව. මිනිස්සු අතරේ ප්‍රධාන රෝහලක සහ ඒ ප්‍රදේශය පුරාම සේවය කරපු අත්දැකීම් ඇතිව.සමහරු නම් හොරට වැඩ කරන්න රුසියෝ.. මොකක් හරි අටවලා යනවා ඒ වෙලාවට වදෙන් ගැලවෙන්න. මං හිතන්නේ රජයේ ආයතන වල සේවය කරන බහුතරයකගේ හැටි එහෙමයි. බ්ලොග් පිටුව දැක්කේ අහම්බෙන්. දිගටම කියවන්න බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නය වෙන්නෙ සමහර දමිළ මිනිස්සු ඔය සමහර ආයතන වල තියෙන අකාර්‍යක්ශමතාවයයි, වැඩ පැහර හැරීමයි තම්න්ට කරන වෙනස් කමක් විදිහට දැකීම. ඇත්ත තත්ත්වය නම් කාටත් එකම හැදෙන්ම තමා බෙදෙන්නේ. නමුත් යාපනයේ ඉඳන් කොළඹ ඇවිත් තම්න්ට ඕන වැඩේ කරගන්න තවත් ලියකියවිලි, සහතික ඕනය කිව්වම ඒ මිනිස්සු කොළඹට කිට්ටුව ඉන්න අයට වඩා අසරණ වෙනවා. ආයෙත් යාපනේ පලයල්ලකො ඒ ඉල්ලන ඒව ගේන්න.

      ඕක දුර පළාත් වල ඉන්න කාටත් පොදු ප්‍රශ්ණයක්. විසඳන්න නම්, ආයතන වල ක්‍රියාපටිපාටි ගැන මිනිස්සු දැනුවත් කිරීම, ආයතන වල ශාඛා පිහිටුවීම ආදී දේ කරන්න වෙනවා. ඒ වගේම වැඩකරන සේවක පිරිස තමන්ගේ සේවාදායකයන් කෙරෙහි අනුකම්පාසහගතව, උදව් කිරීමට පුලුවන් විදිහට මනස සකස් කරන්නත් වෙනව.

      කමෙන්ටුවට ස්තුතියි. දිගටම කියවන්න.

      Delete
  2. ලංකාවෙ හැමෝතම මතකයට වගේ ලෝකෙ දකින්න පුළුවන්නම්

    ReplyDelete
    Replies
    1. මොකද බැරි මීගොඩ? මේ අපි කාගෙත් රට නොවැ.

      කමෙන්ටුවට ස්තුතියි.

      Delete
  3. //ලෝකෙ දකින්න පුළුවන්නම්//

    කවුද ඒකට අකමැති මීයො?

    ReplyDelete
    Replies
    1. සැරදේ ලක් මවුනී.

      කමෙන්ටුවට ස්තුතියි.

      Delete

බ්ලොග් එකක් සිංහලෙන් ලියන එකේ අමාරුව දන්නේ සිංහලෙන් බ්ලොග් ලියපු එකෙක්ම තමා. එහෙව් අමාරුවෙන් ලියන බ්ලොග් එක කියවල ඒකට කමෙන්ටුවක් දාන්නෙ එහෙමත් කරුණාවන්ත ඇත්තෙක් තමා. මට ඒ හැම කමෙන්ටුවක්ම රටක් වටිනව...