Sunday, June 3, 2012

ඉන්ධන ඉතුරු කරගෙන වාහනේ යමු

අපි වාහන එලවන හැටි ගැන, common courtesies ගැන, බීල ගිහින්, නොබී ගිහින් වෙච්චි දේවල් එහෙම කතා කලානෙ. මතකයාගෙ පඩි පැකට්ටුවෙන් ලොකු ප්‍රතිශතයක් ඉන්ධන වලට වෙන් කරන්න වෙලා තියෙනව. කාලීන මාතෘකාවක් විදිහට, ඉන්ධන මිළ අහස උසට යන නිසාම ඉන්ධන ඉතුරු කරගන්න පුළුවන් විදිහවල් ටිකකුත් කතා කරමු.

1. හරිහමං එන්ජින් ඔයිල් එකක් පාවිච්චිය: අද වෙළඳපොලේ නොයෙක් නම් වලින්, එක එක මිළගණන් වලට නොයෙක් අවශ්‍යතාවන්ට හරියන විදිහට හදපු එන්ජින් ඔයිල් තියෙනව. ඉතින් ඔය අතරින් තමන්ගෙ වාහනයට හරියන ඔයිල් වර්ගය තෝරගත්තොත් 2% විතර ඉන්ධන ඉතිරියක් වෙනව කියල 'ෆෝඩ්' මෝටර් රථ සමාහම කරපු අධ්‍යයනයකින් හෙළිවෙලා තියෙනව. ඉතිං කොහොමද මේක කරන්නේ?


වෙළඳපොලේ තියෙන එන්ජින් ඔයිල් වර්ග අතර තියෙන ජනප්‍රිය වර්ග තමයි; සින්තටික් (Synthetic), සෙමි-සින්තටික් (Semi-synthetic), හා මිනරල්/මිනරල් මල්ටිග්‍රේඩ් (Mineral/Mineral Multigrade) යන වර්ග. මේවායේ තියෙන ගතිගුණ වෙනස්. එන්ජින් ඔයිල් එකක් තෝර ගැනීමේදි වැදගත්ම අංගය වෙන්න එහි ඝණත්වය (Viscosity).


තෙල් වල ඝණත්වය ගැන එහි ඇසුරුමේ සඳහන් කරල තියෙනව. ඔය දකුනු පැත්තෙ පිංතූරෙ තියෙන කෑන් එකේ නිල් පාට කොටුවක් ඇතුල සුදු පාට අකුරින් ලියලා තියෙන්නේ ඝණත්වය ගැන තමයි. අළුත් එන්ජිමකට නම් ඒකෙ නිෂ්පාදකයා නියම කරල තියෙන ඝණත්වය අනුව තෙල් යොදන්න ඕන. ඔය ලියල තියෙන්න තෙල් එක එක උශ්ණත්වයෙදි ඝණත්වය වෙනස්වෙන පරාසයක්. සාමාන්‍යයෙන් නම් අළුත් එක්ජිමකට දාන්නෙ කුඩා W අගයක් හා කුඩා පරාසයක් ඇති තෙල්. නමුත් එන්ජිමේ වයස අනුව (කොච්චර කිලෝමීටර් ගානක් දුවල තියෙනවද) කියන එක අනුව දාන්න ඕන තෙල් වල ඝණත්වය වැඩි වෙනවා. එහෙම කරන්න වෙන්නේ එන්ජිම කාලයක් දුවනකොට ගෙවෙන නිසා. පරන එන්ජිමකට ඝණත්වය අඩු තෙල් දැම්මොත් ඒ එන්ජිමේ ගෙවීම තවත් සීග්‍ර වෙනවා. ඒ වගේම එන්ජිමේ ඇතුලත නියමිත පීඩනය පවත්වාගන්න බැරි නිසා වාහනේ අදිනවා හොරයි. අළුත් එන්ජිමකට ඝණත්වය වැඩි තෙල් දැම්මොත් එතකොටත් එන්ජිමේ ගෙවීම තවත් සීග්‍ර වෙනවා.
ඝණත්වය වැඩි තෙල් වලින් එන්ජිමේ ක්‍රියාකාරිත්වයට අනවශ්‍ය ප්‍රතිරෝදයක් ඇතිකරන නිසා ඒත් වාහනේ අදිනවා හොරයි.

2. ටයර් වල හුලං: දැන් බලනව ඇති ටයර් වල හුලං නැතුව ගල් තියෙනවයැ කියල. තමන්ගේ වාහනයෙ නිශ්පාදකයා නියම කරපු රිම්/ටයර් සයිස් එකම පාවිච්චි කරන එක හොඳයි. නිශ්පාදකයා නියම කරන පීඩන අගයටම නියම විදිහට ටයර් වල හුලං පීඩනය තියාගත්තොත්, වාහනය ඉන්ධන ලීටරයකින් උපරිම දුරක් යාවි. ඒක වෙන්න මෙහෙමයි. ටයර් වල හුලං පීඩනය
නියම ප්‍රමානයවඩා අඩු වුනොත් ටයර් එකේ වැඩි පෘශ්ඨ ප්‍රමානයක් පාරේ ගෑවෙනවා. උවමනාවට වඩා වැඩි ඝර්ශණය මැඩගෙන ඉදිරියට යන්න එන්ජිමට වැඩියෙන් ඉන්ධන පුච්චලා වැඩි බලයක් යොදන්න වෙනවා. නියම ප්‍රමානය වැඩියෙන් හුලං පීඩනය තියාගත්තොත් අඩු පෘශ්ඨ ප්‍රමානයක් පාරේ ගෑවෙනවා, ඒක මාරන්තිකයි. මොකද බ්‍රේක් අහන්නේ නෑ. ටයර් වලටත් ඉතා හොඳයි නියම හුලං පීඩනය තියාගත්තොත්.

3. එන්ජිම නියම ලෙස සූසර කොට තබාගැනීම: (මොකක් යකෝ, මේක රේඩියෝ එකක්ද සූසර කරන්න?) හැම එන්ජිමක්ම කිලෝමීටර ගණනකට වරක් සූසර (නැත්නම් සිංහලෙන් කිව්වොත් ටියුන්) කලයුතුයි. මේක අපට කරන්න බැහැ. ඒ සඳහාම පුහුණු කරපු කාර්මිකයෝ ඉන්නව. ඒවට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර උපකරණ තියෙනව. එහෙම විශ්වාසදායී කෙනෙක් ලඟට ගිහින්
එන්ජිම සීරුමාරු කරගත්තොත් එන්ජිම උපරිමෙන් වැඩ කරයි.

4. වා පෙරණය පිරිසිඳුව තබාගැනීම: මේකට සිංහලෙන් කියන්නෙ 'එයා ක්ලීනර්' (Air Cleaner) එක කියල. දැන් මතක් වුනානෙ. මේක හරහා තමා එන්ජිම හුස්ම ගන්නේ. එන්ජිමට ඇදගන්නා වාතයේ තියෙන දූවිලි, බොරළු, කුණු පෙරලා පිරිසිඳු වාතය ලබාදීම තමා මේකෙ කාර්යය. අපේ රටේ සාමාන්‍යයෙන් දූවිලි අධිකයි. ඒක නිසා මාසයක
වරක් වත් වා පෙරණය පිරිසිඳු කරගත යුතුයි. ළඟම තියෙන සර්විස් සෙන්ටර් එකේ මල්ලි කෙනෙකුට රුපියල් 20-30ක් දීල කිව්ව නම් එයා ඔය වැඩේ කරල දෙයි. පිරිසිඳු කරන්නේ පීඩනයකින් යුත් හුලං පාරක් අල්ලලා. (කටින් පිම්බට බෑ.) වා පෙරණය පිරිසිඳුව තබාගැනීම ඔබේ නහය පිරිසිඳුව තබාගැනීම තරම්ම වැදගත්. නිකන් හිතල බලන්න නහය හිරවෙච්ච් දවසක බල්ලෙක් හපාකන්න එළවගෙන ආවොත් දුවද්දී හුස්ම ගන්න එක කොච්චරම අමාරුද කියල. එන්ජිමටත් ඒ වගේම තමා.

5. වායුසමීකරණයේ වා පෙරණය පිරිසිඳුව තබාගැනීම: මොකද්ද ඒ? මේ වා පෙරණය තියෙන්නේ අලුත් වාහන වල. පරණ ඒවයෙ මම දැකල නෑ. සමහර විට ඇති. ඔය දකුනෙන් තියෙන්න ඒ පෙරනය සාමාන්‍යයෙන් තියෙන තැන. පහළ රූප සටහනත් බලන්න.


ඔබේ වාහනයෙ වායු සමීකරණය වාහනය ඇතුලතින් හුලං ඇදල අරගෙන ශීත කරලා අත අරිනවා වාහනය ඇතුලටම. ඔහොම හුලං ඇදල ගන්න මෝටරයකින් වැඩකරන පංකාවක් (සිංහලෙන් කිව්වොත් ෆෑන් එකක්) තියෙනවා. ඇතුලත තියෙන වායුසමීකරණ උපාංග වල ආරක්ශාවට, අළුත් වාහන වල (2000න් වගේ පස්සෙ ආපු) වා පෙරණයක් තියෙනවා ඇතුලතින් ඇදල අරගත්තු හුලං පිරිසිඳු කරන්න
 වාහනය ඇතුලේ තියෙන දූවිලි හිරවෙලා මේකත් අවහිර වෙනවා. මේක සාමන්‍යයෙන් තියෙන්නේ වාහනයෙ ඩෑශ් බෝඩ් එකේ තියෙන ලාච්චුවට (glove compartment) ඇතුලෙන්. තමන්ටම ගලවලා සුද්ධකරගන්න පුළුවන්. නමුත් දන්නේ නැත්නම් වාහන වල වායු සමීකරණ අලුත්වැඩියා කරන තැනකින් කරගන්න පුළුවන්. ඔවුන් කරන දේ හොඳින් බලා හිටියොත් මේක ඔබටත් ගෙදරදිම කරගන්න පුලුවන්. 



6. අනෙකුත් කාලීන නඩත්තු: වාහනයෙ තියෙන අනිකුත් ඉන්ධන පෙරනයන්, ගියර් පෙට්ටියේ තෙල්, ආදියත් නියමිත කාලයේදී මාරු කරවා ගැනීම වැදගත්. මීට අමතරව පුහුණු කාර්මිකයෙක් ලවා වාහනය සර්විස් කරවා ගැනීම කරන්න පුලුවන්.

ෆෝඩ් ආයතනය කියන විදිහට සමහර වාහන වල ඉන්ධන පිරිමැස්ම 25%කින් වැඩිකරගන්න පුළුවන් නියමිත නඩත්තු හරියට කලොත්.
අපිත් අපේ රටේ සල්ලි නිකං අපරාදෙ පුච්චන්නේ නැතුව ගෙවන මුදලින් උපරිම ප්‍රයෝජනේ ගනිමු.

ඔබේ අත්දැකීමුත් අපිත් එක්ක බෙදාහදාගන්න. අපේ රට අවුරුද්දකට ඉන්ධන වලට කොච්චර නම් විදේශ සංචිත දිය කරනව ඇත්ද? ඒකෙන් ටිකක් වත් ඉතුරු කරගන්න ඇත්නම්...

8 comments:

  1. වටිනා තොරතුරු ටිකක්! ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. Commented By හදවතින්ම ශ්‍රී ලාංකිකයි..තව,
      1.රථයේ බර අනවශ්‍ය ලෙස වැඩි වෙන අලංකාරක උපාංග බාවිතා කිරීම අඩු කිරීම....
      2.සයිලන්සරය අනවශ්‍ය ලෙස modify කිරීමෙන් වැලකීම
      3.බරින් අඩු ඇලෝ විල් භාවිතා කිරීම
      4.අනවශ්‍ය පරිදි බොකු වූ ඇලෝ විල් බාවිතා නොකිරීම...

      Delete
    2. තවත් වැදගත් කරුණු කීපයක්ම මේ පෝස්ටුවට එකතු කලාට බොහොම ස්තුතියි.

      සයිලන්සරය අනවශ්‍ය ලෙස සද්දෙ එන්න මොඩිෆයි කිරීමෙන් වැලකීම ඉතාම වැදගත්. සයිලන්සරයෙන් එන්ජිමට පීඩනයක් ලබාදෙනව (back pressure). මේ පීඩන අගයන් නිෂ්පාදකයන් ඉතාම සූක්ෂම ලෙස මැනල, උපරිම කාර්යක්ශමතාවය ලැබෙන විදිහටයි සයිලන්සරය හදල තියෙන්න. ඒ අගයයක් වෙනස් කලහම එන්ජිම අනවශ්‍ය විදිහට ගෙවෙනවා වගේම එන්ජිමේ කාර්යක්ශමතාවයත් අඩු වෙනව. අනිත් අතට, සද්දෙ අඩු නොකරන සයිලන්සරයක් මොකටද?

      Delete
  2. නිකං දන්නැති කමට අහන්නේ. ඔය ටික කරනකොට ‍සෑහෙන වියදමක් ගිහිල්ල නේද?

    ReplyDelete
    Replies
    1. වාහනයක් ගන්නවා නම් මේ කියන දෙවල් කරන්නම වෙනවා. නියම විදිහට වාහනය නඩත්තු නොකලොත්, අනවශ්‍ය විදිහට මඟ රස්තියාදු වෙන්නත්, නිතර නිතර අමතර කොටස් අලුතෙන් යොදන්නත්, නිතර නිතර අලුත්වැඩියා කරන්නත් සිද්ධවෙනව වගේම නිරාපරාදෙ ඉන්ධන වලට වැඩි මුදලක් වැයකරන්නත් වෙනව.

      අපි නිකමට ගත්තොත්, ඉන්ධන ලීටරයකින් කිලෝමීටර් 10ක් දුවන වාහනයක කාර්යක්ශමතාව 25% කින් අඩු වුනොත්, මාසෙකට කිලෝමීටර 1000ක් දුවනවා නම් පෙට්ට්‍රල් වලටම (1000/7.5 * රු.149 = 19867), නමුත් හරියට නඩත්තු කලා නම්, (1000/10 * රු.149 = 14900). වෙනස රු. 5000 කට කිට්ටු මුදලක්. ඔය නඩත්තු ටික කරගන්න ඒ මුදල හොඳටම ඇති. එහෙම කරගත්තම නිරාපරාදෙ ගරාජ් වලට ගෙවන සල්ලියි, අමතර කොටස් වලට ගෙවන සල්ලියි ඉතුරුයි. නිකමට හිතලා බලන්න ඔය වාහනේම මාසෙකට කිලෝමීටර 2000ක්, 3000ක් දුවනවා නම්...

      Delete
  3. මේ තොරතුරු වැදගත් කියලා අත්දැකීමෙන්මයි දන්නෙ..ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. කමෙන්ටුවට ස්තුතියි. ඔබේ අත්දැකීමුත් අපිත් එක්ක බෙදාහදාගන්න.

      Delete
  4. වටිනා තොරතුරු ටිකක්! ස්තුතියි.

    ReplyDelete

බ්ලොග් එකක් සිංහලෙන් ලියන එකේ අමාරුව දන්නේ සිංහලෙන් බ්ලොග් ලියපු එකෙක්ම තමා. එහෙව් අමාරුවෙන් ලියන බ්ලොග් එක කියවල ඒකට කමෙන්ටුවක් දාන්නෙ එහෙමත් කරුණාවන්ත ඇත්තෙක් තමා. මට ඒ හැම කමෙන්ටුවක්ම රටක් වටිනව...