Sunday, May 19, 2013

අපේම අයට රට එපාවීම හෙවත් බුද්ධිගලනය... 1

දීර්ඝ සංවාදයකට ආරම්භයක් හැටියට මේ කතාව කියන්නෙ. මේ පොස්ටුව දිග වැඩි නිසා කොටස් කීපයක් ඒවි.
 

මේ කතාව මම ඇහුවෙ මට උගන්නපු ආචාර්‍යවරයෙකුගෙන්. එතුමා අපේ රටේ ප්‍රසිද්ධ ආයතනයක මානව සම්පත් කලමනාකරුවෙක් විදිහටත් සේවය කලා. මේ ආයතනය අපේ රටට ඡායාපිටපත් යන්ත්‍ර (Photocopy Machine) ගෙන්වා බෙදාහරින ආයතනයක්. ඡායාපිටපත් යන්ත්‍ර ගැන දන්න අය දන්නවානේ මේ යන්ත්‍ර කලින් කලට නඩත්තු (service) කලයුතුයි. මේ සඳහා පුහුණු කර්මික පිරිසකුත් මේ කියන ආයතනයේ ඉඳලා තියෙනවා.

එක්තරා තරුණයෙක් මේ ආයතනයට නඩත්තු කටයුතු සහයකයෙක් ලෙස සේවයට පත් වුනා. ඉතාම දිළිඳු වූ ඔහු, ඒ තරම්ම අහිංසකයෙක්. නමුත් ඉතාම උනන්දුවෙන් ඡායාපිටපත් යන්ත්‍ර අලුත්වැඩියාව ඉගෙන ගත්තා. අනෙත් අය නිකරුනේ කාලය ගත කරද්දි මේ තරුණයා ඡායාපිටපත් යන්ත්‍රවල තාක්ශණික අත්පොත් (Technical Manuals), රූපසටහන් (Schematic Diagrams) අධ්‍යයනය කරල අළුත්වැඩියා කටයුතු වල දක්ශයෙක් වුනා. කලක් ගතවෙද්දි, මුළු ආයතනයෙන්ම ඡායාපිටපත් යන්ත්‍ර අළුත්වැඩියාවට දක්ශතම, නම් දරාපු කෙනා බවට පත්වෙන්න මේ තරුණයා සමත් වුනා.

කලින් කලට, මේ ආයතනයෙන් සේවකයන් ජපානයේ මව් සමාගම වෙත පුහුණු පාඨමාලා සඳහා යවනව. ඉතින් මේ කියන තරුණයත් එහෙම පාඨමාලාවක් සඳහා මාස කිහිපයකට ජපානයේ මව් සමාගම වෙත යවල තියෙනව. පුහුණුව අති සාර්ථකව නිමා කරල නියමිත කාලය අවසානයේ මේ තරුණය ආපහු ලංකාවට එන්නේ ඡායාපිටපත් යන්ත්‍ර පිළිබඳව ලංකාවෙ ඉන්න දක්ශතමයා හැටියට. නමුත් ආපහු ආපු මේ තරුණයාට ආයතනයෙන් නම් සැලකිල්ලක් නෑ. පරන තත්ත්වයම තමයි. ආයතනයේ ඉන්න නොයෙක් ඊරිසියාකාරයන්ගෙනුත් කෙනෙහිලිකම් වැඩිවුනා. ටික දවසකින් මේ තරුණයා තමන්ගෙ ඉල්ලා අස්වීමේ ලිපියත් අරගෙන ආයතනයෙ මානව සම්පත් කලමනාකාරතුමා හමුවෙලා තියෙනවා.

මේ තරුණයා ගැන විස්තර දන්න නිසා එතුමා උත්සාහ කරලා තියෙනව ඔහුගේ තීරණය වෙනස් කරල ඔහුව නවත්තගන්න. නමුත් එතකොට ප්‍රමාද වැඩියි. ඔහු පිටරට වෙනත් ආයතනයක සේවය සඳහා යන්න තීරණය කරල ඉවරයි.

මෙච්චර වෙලා මේ කතාව කිව්වෙ, බුද්ධිගලනය මතකයා ඉතාම සුළභව දකින නිසයි. මතකයා එක්ක විශ්වවිද්‍යාලයෙ ඉගෙන ගත්තු 'බැචාල' ගෙන් ලංකාවේ ඉතුරු වෙලා ඉන්නෙ අතේ ඇඟිලි ගණනටත් අඩුවෙන්. දිනෙන් දිනම අපේ රටට අවශ්‍යකරන මොළගෙඩි ටික අපෙන් අත්හැරෙන්නේ ඇයි කියල කිසිම කෙනෙක් හොයල නොබලන්නේ ඇයි? යන එවුන් පලයව්, කියල අතහැරල දාල ඉන්න පුළුවන් තරම් අපේ රට පෝසත්ද?

අපේ රට මුළු ලෝකයටම අවශ්‍ය හොඳ ඔලුගෙඩි බිහිකරන ෆැක්ටරියක්. අපේ ඔලුගෙඩි පිටරට යන්නෙ ඉංදියානුවන් වගේ කීයක් හරි හම්බ කරගෙන ආපහු එන්න නෙවෙයි. යන්නම යන්න (Migrating). ආපහු නො එන්නම. මෙච්චර බුද්ධිමතුන් පිරිසකට රට එපාවෙන්න නම් මොකක් හරි ලොකු වරදක් තියෙන්න ඕන නේද?


ඉහත ලියපු කතාව තුළ වැදගත් පාඩමක් තියනව. ආයතනයෙන් පිටරට පුහුණුවට යැව්ව තමයි, නමුත් පුහුණුව ඉවර කරල ආපු ඒ තරුණයගෙ දක්ෂකමට නිසි ඇගයීමක් ලැබුනේ නෑ. (ඇගයීමක් මුදලින්ම වෙන්න ඕන නෑ.) 

නොමිළයේ නිදහස් අධ්‍යාපණය දුන්න තමයි. නමුත්, නිදහස් අධ්‍යාපණය ලැබූ හැමෝම දොස්තරලා, ඉංජිනේරුවෝ, නීතීඥයො, කාර්මිකයො, ගුරුවරු වුනේ නෑනෙ. එහෙම වුනේ කොටසක් විතරයි. ඒකට එයාලගෙ දක්ෂකම, කැපවීම බලපෑව. ඉතින් දුක් විඳල ලබපු අධ්‍යාපනයෙන් පස්සෙ සමාජයට ගිය මේ පිරිසට සමාජයෙන් ලැබිය යුතු නිසි ගෞරවය ලැබෙනවද කියන එක කල්පනා කරල බලමු. නිකමට හිතුවොත්, පෞද්ගලික බස් එකක ගමනක් යනව කියල දොස්තර වරයෙක්. බස් එකෙ කොන්දොස්තර මේ මනුස්සයට කතා කරද්දි කල්පනා කරනවද, මේ යන්නේ දුක් විඳල උසස්පෙළ පාස් කරල, අවුරුදු 5-6 වෛද්‍ය විද්‍යාලෙ දුක් විඳල, තවත් අවුරුද්දක් දෙකක් දුශ්කර සේවයත් කරල ආපු මනුස්සයෙක්ය කියල. මොකවත් ඕනෙ නෑ, බස් එකට නඟින කොයි මනුස්සයට වත් නම්බුවක් ඇතුව කතා කරනවද? ඉතින් ඔය වගේ අය බාල මිනිස්සු රටේ ලොකු ලොකු තැන්වලට පත්වෙනකොට ඉගෙනගත්තු එවුන් මේ රට දාල දුවන එක අහන්නත් දෙයක්ද?

කලබලෙන් හරි මේ ටික ලිව්වෙ ඉවසල ඉවසල බැරිම තැන. බුද්ධිමත් සංවාදයකට විවෘතයි.

Wednesday, August 15, 2012

එඩිතර ශර්ලොක් භානුක සහ බයේ දැඟලූ වොට්සන් (දෙවන කොටස)


භානුක ගැන මතක පොත කියවන අය දන්නවනෙ. අර හිතේ අමාරුවට බීලා ගේට්ටුවක් දිගේ බඩගාපු හාදයා. මේකත් එයා ගැන කතාවක්ම තමා. මේ කතාවෙ භානුක, ශර්ලොක් හෝම්ස් ගෙ චරිතය රඟපානව. මතකයා, දොස්තර වොට්සන්ගෙ චරිතය රඟපානව. මේ කතාවෙ පළවෙනි කොටස කියෙව්වෙ නැත්නම්, ඒක කියවලා ඉන්න.

මාරක හංදියේ නිළ නොළත් ග්‍රාමසේවක අංකල්ගෙන් විස්තර අහගෙන භානුකයා වොට්සන්වත් ඇදනෙග දුවනවා හරියට ඇන්ටිලෝප් සතෙක් කරත්තයක් ඇදෙගන යනව වගේ. ඉතින් භානුකයා බී එම් ඩබ්ලිව් කාර් එකක ජී පී එස් සිස්ටම් එකක් වගේ ගෙවල් හොයන්නෙ. ඔහොම දුවලා දුවලා ගිහින් කියපු තැන නතර වුනා.

විසාල ගෙට්ටුවක් දාපු ගෙයක් එතන තිබුනෙ. ගේට්ටුව තල්ලු කරන විදිහෙ (sliding) සෑහෙන බර එකක්. හෙන ගෙමක් දීල ඒක තල්ලු කරගත්තා. භානුකයා ගේට්ටුව තල්ලු කරනව ඉවරයක් නෑ. මනුස්සයෙකුට ඇතුල්වෙන්න නෙවෙයි ලොරියක් වත්තට දාන්න තරම් වෙනකම්ම මේකා ගේට්ටුව තල්ලු කලා. 'යකෝ පයින් ආවෙ, ඕක අරින්නෙ මොන වෙඩින් එකකටද?'. ඒ පාර භානුකයා ඒක නවත්තලා ගෙදර පැත්තට යන්න ගත්තා ගිහින් බෙල් එක ගැහැව්ව. ගෙයි ඇතුලෙන් ගෑනු ළමයෙක් එළියට ඇවිත් විස්තර අහන්න පටන් ගත්ත. වොට්සන් බොරු කියන වැඩේට එච්චර දක්ශ නැති හින්ද, භානුක තමා උත්තර දෙන්නේ.

භානුක: නංගි, මේක චමින්දලගෙ ගෙදරද?
ගෑනු ළමයා: නැහැ, මෙහෙ එහෙම කෙනෙක් නෑ.
භානුක: නංගි, අපි මේ යාලුවෙක්ගෙ ගෙයක් හොයනව. එතකොට මෙහෙ චන්දන කියල කෙනෙක් ඉන්නවද?
ගෑනු ළමයා: නැහැ.
භානුක: චාමර කියල?
ගෑනු ළමයා: නැහැ.
භානුක: චාමිකර කියල?
...

ඔය විදිහට කතාව කෙරීගෙන යනව. භානුකයා මේ ලෝකෙ 'ච'යන්නෙන් පටන්ගන්න නම් ඔක්කොම කියකියා අහනව එහෙම කෙනෙක් ඒ ගෙදර ඉන්නවද කියල. හම්මෝ... 'ච'යන්නෙන් එච්චර නම් තියෙනව කියල මතකයා නම් හිතලා වත් තිබුනේ නෑ. භානුකට මේ නම් මෙච්චර ඉක්මනට කොහොම මතක් වෙනවද කියල මතකයා කට බලියාගෙන බලාගෙන හිටිය. ඔය අතරෙ, මතකයත් හෙමීට ඇන්ටනාව කරකවලා බැලුව මේ මොනවගේ තැනක්ද කියල. එතකොට තමා දැක්කෙ ගෙදර ජනේලෙ. ඒ ජනේලෙන් එක එක වයස් වල ගෑනු ලමයි බලාගෙන ඉන්නව, ජනෙල් කූරු වල එල්ලීගෙන. චූටිම චූටි බබාල, ලොකුම ලොකු බබාල, මධ්‍යම ප්‍රමානෙ බබාල හැට හුටාහමාරක් ජනේලෙ එල්ලිලා බලන් ඉන්නව. 'හුටා... මේ මොකද?' කියල මතකයත් තක්බීර් වෙලා බලා ඉන්නව.


පුදුම වෙලා බලාඉන්න මතකයා, හෙමීට අර කතා කරන්න එලියට ආපු ගෑනු ලමයා දිහා බැලුව. ඒ ලමයා දැන් කතාකරන්නේ හරිම සැකෙන්. සැක හිතෙන්නෙ නැද්ද කොල්ලො දෙන්නෙක් ඇවිත් චමින්ද, චාමර, චාමිකර, චා... ඔක්කොම ඒ ගෙදර ඉන්නවද කියල අහනකොට. හම්මපා මේ භානුකයගෙ රහස් පරීක්ශක කම කිසිම කමකට නෑ. මූව පාර්ලිමේන්තුවට යවනව ඇරෙන්න මේ ටොම් පච කියන හැකියාවෙන් වෙන ප්‍රයොජනයක් ගන්න නම් බෑ. බලා ඉන්දැද්දි අර ගෑනු ලමයගෙ මූන සැකෙන් පිරෙනව ඇහෙන නමක් ගානෙ. ඒ අතරෙ ඒ ලමයා සම්පූර්ණයෙන් ඇරල දාපු ගෙට්ටුව දිහාත් බලනව.

මේක දැකපු මතකයගෙ මීටරේ හෝ ගාල වැඩකරන්න පටන් ගත්ත. මේ මොනවගේ තැනක්ද? ඇයි මේ තරම් ලමයි ගොඩක්? මේක බාලිකා විද්‍යාලයක්ද? කාන්තා ළමා නිවාසයක්... බුදු අම්මෝ... මේක කාන්තා ළමා නිවාසයක් වෙන්න ඇති. ඒකනේ මේ එක එක වයස් වල ලමයි ගොඩක්... එතකොට භානුකයි මතකයයි මේ අනවසරෙන් ඇතුල්වෙලා තියෙන්නෙ කාන්තා ළමා නිවාසයකටද? මතකයාගෙ හිතේ එකපාරටම පරාණ බයක් ඇතිවුනේ අර කතාකරපු ගෑනු ලමය දැන් භානුකයි මතකයයි දිහා බලා ඉන්න හැටි දැක්කම. ඒ මූනෙ සැකයයි කෙන්තියයි බේරෙනව...

ඒ අතරෙ මතකය බයන් වෙව්ලන්න ගත්තෙ මතකයගෙ හිතේ ඇතිවෙච්ච භයානක චිත්තරූප නිසා. මතකයට මැවිල පේන්න ගත්ත අර ගෑනු ලමය සැක හිතිල කෑ ගහන හැටි, ගමේ මිනිස්සු ඇවිත් දෙන්නටම හොඳට නෙළන හැටි, ඊට පස්සේ පොලීසියෙන් එන හැටි, අරන් ගිහින් කූඩුවට දාන හැටි, නඩු අහන හැටි, ගෙදරින් ඇවිත් ඇප දීල බේරගෙන යනහැටි... ගෙදර ගිහින් මතකයාව හමගහන හැටි... ඒ හම බෙරේකට බන්දවල ඒකටත් කෝට්ටකින් ගහන හැටි... හරියට චිත්‍රපටයක රූපරාමු පෙළක් වගේ. මොන විනාසයක්ද මේ? මතකයාට නම් තව මොහොතක් වත් මෙතන ඉන්න බෑ. භානුකයාවත් ඇදගෙන මෙතනින් මාරු වෙන්න හිතන්, හෙමිහිට භානුකයටත් තට්ටුවක් දාල 'මචං අපි යමු, මේ ඇඩ්‍රස් එක වැරදි ඇති' කියලා ඇදගෙන යන්න බැලුව. කොහෙද, මොන යැවිල්ලක්ද. මූ අතත් ගසාදාලා දිගටම කතාව. 'යකෝ මට බඩගිනියි, යමං, පස්සෙ ඇවිත් මේක හොයමු' කියල මතකය, භානුකගෙ කමිස කොලර් එකෙන් ඇදගෙන එළියට ආව. ඒ වෙලාවෙ බයටම මතකයාට මාර ෆිට් එකක් ඇවිත් තිබුනෙ.භානුකගෙ බලවත් විරුද්ධතා මැද වුනත් මතකයා කොහොම හරි භානුකව පාරට ඇදගෙන ආව. ඇවිත් පුලුවන් ලොකුම රකුසු මූන දාල 'මට බඩගිනියි යකෝ, කාල ඇවිල්ල හොයමු' කිව්ව. ඒකට අන්තිමේ භානුක යටත් වුනේ. අපි එළියට ආවම අර ගෑනු ලමයා සෑහෙන ගේමක් දීල තඩි ගේට්ටුව ඇදලා වහල දැම්ම. එය රවපු රැවිල්ල මතක් වෙනකොට තාමත් මතකයගේ ඇඟේ මයිල් ඉස්මයිල් වෙනව.. බැල්මකට මනුස්සයෙක් මරන්න පුලුවන් නම්, අපි දෙන්නගෙම කෑල්ලක් වත් හොයන්න ලැබෙන්නේ නෑ.

මතකයා රවාගෙන, රකුසු මූන දාගෙනම ගෙදර නොපෙනෙන තරම් දුරට ගිහින්, භානුකයට දෙහි කපන්න පටන් ගත්ත. 'යකෝ ගුටි කාල මැරෙන්නද හදන්නෙ? උඹ දන්නවද ඒක කාන්තා ළමනිවාසයක් ද කොහෙද...'
භානුක: නෑ... උඹ කොහොමද දන්නෙ?
මතකයා: ඇයි බං අර ගෑනු ළමයි සෙට් එකක්ම ජනෙලෙ එල්ලිලා හිටියෙ. උඹගෙ යාලුව ඕකෙ ඉන්න බෑ. වැඩේ දෙල් වෙන්න කලින් මාරු වෙමු.
භානුක: ඔහොම හිටපං මම ආයෙ ගිහින් බලලා එන්නම් එක ළමා නිවාසයක් ද කියල?

මූට පිස්සුද? පන බේරගෙන එන්න ලැබුනෙ වාසනාවට. දැන් ආයෙමත් යන්නෙ ඉල්ලගෙන කන්නද? මතකයා කතාකරන්නත් කලින් භානුක ආයෙමත් අර ගෙදර පැත්තට දුවලා, ගේට්ටුව ඉස්සරහ නතර වෙලා, ගේට්ටුවට උඩින් වටපිට බලනව. මූට නම් අපලයක්ද කොහෙද. ඔච්චර ඕනෙම නම් ගුටිකාල වරෙන්කො කියල, මතකයා හිටි තැනම හිටිය. ටික වෙලාවක් ගෙවල් පැත්ත බල බලා ඉඳල මූ ආපහු දුවගෙන ආව.

භානුක: උඹට විකාර බං. ඒක ළමා නිවාසයක් වෙන්න බෑ. බෝඩ් එකක් වත් ගහල නෑ.
මතකයා: එහෙනං බෝඩ් නැති ළමා නිවාසයක් වෙන්න ඇති. මට නම් දැන් ඇති වෙලා මේ වැඩේ. යමං ගෙදර.
භානුක: පිස්සුද බං මෙච්චර ආව එකේ බුවාව හොයාගෙනම යමු.
ඔන්න ඔයවෙලාවෙ තමා මතකයාට මල පැනීම කියන සංසිද්ධිය වුනේ.
මතකයා: උඹට ඕනෙ නම් හිටපන් මම යනව. උඹ ඉඳල ගමෙන්ම ගුටි කාල, පොලිසියෙනුත් කාල, මදිපාඩුවට ගෙදරිනුත් ගුටි කාපන්. ඒත් මදිනම් කියපන්, මමත් ඇවිත් පාරක් දෙකක් ගහන්නම්.
මතකයා තමන්ගෙ භයානක චිත්තරූප ටික වචනයෙන් එළියට දැම්ම.

කොහොමෙන් කොහොමෙන් හරි භානුකයා අන්තිමේ අකමැත්තෙන්ම එකඟ වුනා ගෙදර යන්න. ආපහු එන්න තියෙන්නේ අර නිළ නොළත් ග්‍රාමසෙවක (නි.නො.ග්‍රා) අංකල්ගෙ ගේ ළඟින්. එනකොට මෙන්න ඉන්නවා මේ යකා ගේට්ටුව ළඟට වෙලා... ඒක දැක්කා විතරයි මතකයාට නම් නයාට අඳුකොළ දැක්ක වගේ. අම්මපා බුවා එච්චර උස නැත්නම් කතා කලොත් ගහනවා කණට... මතකයා දත්කූරු කකා මාරුවෙන්න බැලුව එතනින්. මොන මාරුවීමක්ද... මේ මිනිහා ආයත් කතාවට එනව... 'ඈ පුතා... යාලුවව හම්බ වුනාද?'

භානුක: නෑනෙ අංකල් බලන්නකො මෙච්චර ඇවිදලත් හොයාගන්න බරි වුනානෙ
නි.නො.ග්‍රා: කෝ ඉතින් පුතාල හරියට ඇඩ්‍රස් එක අහගෙන නෑනෙ...
මතකයා: කමක් නෑ අංකල් අපි වෙන දවසක ඇඩ්‍රස් එක අහගෙනම එන්නම්
භානුක: ඔව් අංකල් මෙන්න මූට බඩගිනියිලු නෙ, අපි ගිහින් එන්නම්
අම්මපා මේ භානුකයාගෙ කටේ බ්‍රේක් නෑනේ..
නි.නො.ග්‍රා: බඩගිනි නම් තේ එකක් එහෙම බීල එන්න, අපි කොහොම හරි යාලුවාව හොයාගමු


'හරි අංකල් අපි ගිහින් තේ බීල එන්නම්', කියල මතකයා, භානුකයවත් ඇදගෙන එතනින් මාරු වුනා.

පව්, ඒ අංකල් අපි තේ බීල එනකං බලාගෙන ඇති නේද?


෴ නිමි ෴

Saturday, June 30, 2012

එඩිතර ශර්ලොක් භානුක සහ බයේ දැඟලූ වොට්සන් (පළමු කොටස)

භානුක ගැන මතක පොත කියවන අය දන්නවනෙ. අර හිතේ අමාරුවට බීලා ගේට්ටුවක් දිගේ බඩගාපු හාදයා. මේකත් එයා ගැන කතාවක්ම තමා.

භානුකයගෙ කවදත් තිබුනෙ අහිංසක වැඩ. අහිංසක කම වැඩි නිසාම තමා කාපු පරිප්පු ඔක්කොම කෑවෙ. විනෝදාංශ වුනත් අහිංසක විදිහෙ ඒව. ඒ අතරෙ තිබුනු එක විනෝදාංශයක් තමයි පෑනේ මිතුරන්ට ලිවීම. ඉතින් මූ ඔය ලියුම් වල පොඩි පොඩි නයි ඇරියෙ නෑ කියන්නම බෑ. නමුත් කාටවත් හානියක් නෑ නෙ. 

තවත් විනෝදාංශයක් තමා රහස් පරීක්ශක පොත් කියවීම. මේකනම් උණක් ගානටම තිබිච්ච දෙයක්. මතකයා දන්න හැටියට භානුක නොකියවපු ශර්ලොක් හෝම්ස් පොතක් නැතුව ඇති. මොන කතාවක් වුනත් රහස් පරීක්ශක පොතක් නම් කියවලා ඉවර කරනකම් මිනිහට තාමත් නින්ද යන්නෙ නෑ.  රහස් පරීක්ශකයෙක් වෙන්න කොච්චර ආසාවක් තිබුනද කියනවා නම් භානුකගෙ පාසල් බෑග් එකෙත්, උත්තල කාචයකුයි, අඬුවක් (Tweezers) සහ පුලුන් කෑල්ලක් දාගෙන ආව. පොඩි කාලෙ හැටියට ඕව තමා මහා රහස් පරීක්ශකයන්ගෙ උපකරණ.

තත්ත්වය ඔය වගේ තියෙද්දි සාමන්‍යපෙළ කරල ගෙදර ඉන්න දවසක භානුකයා ආව අපේ ගෙදර. ඇවිත් මාවත් ඇදගෙන ගියා ප්‍රදර්ශණයකට මොකද්ද මංද අටමගලයක් අටවන්න. කොහොම හරි කිරිබත්ගොඩ පහුවෙනකොට මේකා කියපි, 'මචං මගේ පෙන් පැල් (පෑනේ මිතුරෙක්) ඉන්නවා මාකොළ, මිනිහ මං ගැන විස්තර හොයාගෙන මට පොඩි නෝන්ඩියක් දුන්නා, අපි මිනිහ ගැන විස්තර හොයාගෙන රිටන් එකක් දෙමුද?' කියල. මට හොඳටම ශුවර් අර පෑනෙ මිතුරා, මූ ඔය ලියුමක යවපු නාගරාජයෙක්ව භූමිතෙල් වලින් බැදලා හැරෙන තැපෑලෙන් එවන්න ඇති. කොහොම හරි භානුකයා මතකයාව වැඩේට කැමති කරව ගත්තා, 'මේක නිකං රහස් පරීක්ශක වැඩක් වගේ බං', කියලා.

දෙන්න එක්ක යන්න ගිය ගමනත් පැත්තකින් තියලා, කිරිබත්ගොඩින් බැහැලා, මාකොළ පාරෙ ඇවිදගෙන යනවා. භානුකයි මතකයයි නියම ශර්ලොක් හෝම්ස් සහ දොස්තර වොට්සන් වගේ තමා. භානුක කෙට්ටු උස (ඉතියෝපියාවෙන් ආපු) ශර්ලොක් හෝම්ස් වගේ. මතකයා බෝලගෙඩියක් වගේ; දොස්තර වොට්සන් මහතයි නේද? (මහත නැත්නම් ඔය හුලං ටිකක් ගහල හරි මහත් කරල දාමු, කතාවට හරියන්න).

දෙන්නගෙ සැලැස්ම වුනේ ලිපිනය පාවිච්චි කරලා ගේ හොයාගෙන බුවා ගැන විස්තරත් වටපිටින් හොයාගෙන, බුවාට මාට්ටු නොවී මාරු වෙන්න. ලිපිනය මාකොළ එකක් නිසා, දෙන්නත් එක්ක කිරිබත්ගොඩ ඉඳන් මාකොළටම පයින්ම ගෑටුවා. කතාව ගමනට දෝලාව කිව්වහේ, මාකොළටම පයින් ගියා දැනුනෙ වත් නෑ. දැන් නම් තක් වෙනකොටත් හන්දිපත් රුදාව.

කවද කාපු ටකරන්ද කිව්ව, දෙන්න එක්ක වටපිට මිනිස්සුන්ගෙන් අහගෙන හෙමිහිට හෙමිහිට මාට්ටු නොවී ගෙදර හොයාගන්න ට්‍රයි එක දුන්න. අහුවෙන්න කැමති නැති නිසා ඇත්ත බුවාගෙ නම කියන්න බෑ. ඉතින් භානුකයා කටට එන එක එක නම් කියනවා. ඒ මදිවට ගෙදර නොම්මරේ ළඟින් යන නොම්මර මිසක් හරි එක කියන්නෙ නෑ. නියම ලිපිනයෙ තියෙන්නෙ 2/122 වගේ අමුතුම නොම්මරයක්. කොහොම හරි දෙන්න එක්ක එක එක මිනිස්සුන්ගෙන් අහගෙන අහගෙන ටික ටික කිට්ටු කලා. කිට්ටු කලා කියල හිතාගත්තෙ නොම්මර ටිකක් ගැලපෙන නිසා. තාමත් ලිපිනයේ තියෙන පාරවල් හරියට ගලපගන්න බෑ. මේ වෙනකොට දෙන්නා මඟපෙන්වන්නන්ගෙ කීම අනුව එක එක අතුරු පාරවල් වලින් හැරිලා ගිහින් ප්‍රධාන පාරෙන් හුඟක් ඈතට ගිහින්.

ඔහොම යද්දි ගොඩවෙච්චි එක ගෙදරකදි අපිට තලත්තෑනි මනුස්සයෙක් හමුවුනා. කලින් වගේම එඩ්‍රස් එක වෙනස් කරල කිව්වම, මිනිහ ටිකක්වෙලා කල්පනා කරල, දිගට හරහට ප්‍රශ්ණ අහන්න ගත්තා. හොයන්නේ කාවද? මොකටද? අඳුනගත්තෙ කොහොමද? අරකද, මේකද, ඔක්කොම විස්තර අහනව. දොස්තර වොට්සන් (මතකයා) ට නම් බොරුවක් වත් ගොතාගන්න බැරි තරමට ප්‍රශ්ණ පත්තරේ සංකීර්ණයි. වොට්සන්ගේ සද්ද වානා. ඒ වුනාට ශර්ලොක් භානුක  බොරු ඇදබානවා ගේමක් නැතුව. වොට්සන් කට බලියාගෙන බලාගෙන ඉන්නවා මේ කෙප්ප කොහෙන් පාත් වෙනවද කියලා. කොහොම හරි ප්‍රශ්න පත්තරේ ඉවර වෙලා, අර මනුස්සයා එතන තියෙන හංදියකින් හැරිලා යන පාරක් ගැන කිව්ව. හම්මෝ... ඇති යන්තං කියලා වොට්සන්, ශර්ලොක්වත් ඇදගෙන අර හංදිය පැත්තට ශේප් වුනා. ශර්ලොක්ට වගේ වගක් නෑ. අර කියපු පාර දිගේ ගිහින් බලන්නම ඕනය කියල කිව්ව නිසා වොට්සන් අකමැත්තෙන් වුනත් (කරන්න දෙයක් නැතිකමටම) පස්සෙන් ගියා. හප්පේ ඒ පාර නිකං අඩිපාරක් වගේ එකක්. ඒ පාරෙ නම් පෑනේ මිතුරෙක් ඉන්න බෑ. තැපැල් පියුන් කවදාවත් මේ පාරෙ ගිහින් නැතුව ඇති. ටිකක් දුර ගිහින් වැඩේ හරි යන්නේ නැති බව තේරුනු නිසාම ශර්ලොක් භානුක ආපහු හරවගන්න වොට්සන්ට පුලුවන් වුනා. දැන් ඔන්න ගිය පාරෙන්ම ආපහු එනවා.

ආපහු එන්න තියෙන්නේ අර මනුස්සයගෙ ගේ ලඟින්. මෙන්න යකෝ මේ මිනිහා ගේට්ටුව ලඟට වෙලා බලාගෙන ඉඳලා අල්ලගත්තෙ නැතෑ අපිව. 'ආ පුතා... යාලුවාව හම්බ වුනාද?'

වොට්සන්ට නම් කටේ කෙළ නෑ ඇවිදලා එපාවෙලා. ශර්ලොක් භානුක ගේමක් නැතුව උත්තර දෙනවා, 'නෑනෙ අංකල්, මට එඩ්‍රස් එක වැරදිලාද කොහෙද'.

'හ්ම්ම්... එහෙම වෙන්නත් පුලුවන්, හැබයි පුතාල ගියහම තමා මට මතක් වුනේ චමින්ද කියල ලමයෙක් ඔය පල්ලෙහා පාරෙ ඉන්නව. එයා වෙන්න ඇති ඔය හොයන්නෙ. ආයෙත් හන්දියට ගිහින් දකුණු පැත්තෙ පාරෙ 8වෙනි ගෙදර. ගිහින් බලන්නකො'.

වොට්සන් තක්බීර් වෙලා බලං ඉන්නව. මේ මිනිහා මේ පළාතෙ ග්‍රාමසේවකද? නොදන්න කෙනෙක් නෑ වගේ ටෝක්ස් දෙන්නේ. මේ කතාවෙන් ශර්ලොක් භානුක ආයෙත් ෆෝම් වුනා. වොට්සන්ව කුනු මාලු කෑල්ලක් වගේ ඇදගෙන මූ ආයෙත් දුවපි අර කියපු හංදිය පැත්තට. වොට්සන්ට බඩගිනියි, මහන්සියි, හම්මෝ මේ රහස් පරීක්ශක වැඩේ නම් මරණයක්.

කතාව දිග වැඩියි. ලබන සතියේ දෙවෙනි කොටසේ වොට්සන් මරණ බයෙන් තැතිගත් හැටි, ශර්ලොක් භානුක ගේ ලොමු දැහැගැන්වෙන බොරු, සහ මාරක හංදියේ නිළ නොළත් ග්‍රාමසේවකගෙන් බේරී ආ හැටි කියවෙනවා.

Sunday, June 24, 2012

සාපයෙන් මිදුනු උතුරේ මිනිස්සු

පහුගිය දවසක දන්න හඳුනන යහලුවෙකුගෙ ආයතනයකින් උතුරෙ කරන ව්‍යාපෘතියක ස්වෙච්ඡා සේවකයෙක් විදිහට මටත් උතුරු පළාතට යන්න ලැබුනා. මතක පොතේ මේ පිටුව වෙන් කරන්න යන්නෙ උතුරෙදි ලැබුනු අත්දැකීම් බෙදාහදා ගන්න.

පැහැබර අනාගතයක් වෙත දෑස් දල්වා...
අවුරුදු තිහකටත් වඩා වැඩි කාලයක් උතුරෙ මිනිස්සුන්ව පෙළපු සාපලත් යුද්ධය නිමා වෙලා අවුරුදු ගානක් ගතවෙලා ගියත්, ඒ පළාත් වල ඉන්න සාමාන්‍ය ජනතාවගෙ ජීවිතය තාමත් සාමාන්‍ය තත්ත්වය කරා එලඹෙමින් තිබුනා. නමුත් අඩුපාඩු බොහොමයි. හමුදාවෙ සහෝදරයො එකතු වෙලා තමන්ගෙ පඩියෙන් සල්ලි ටිකක් ඉතුරු කරලා සමහර තරුණයන්ට බයිසිකල් අරන් දීල තිබුන. මේ මිනිස්සුන්ට ‍යුද්ධය නිසා හැමදේම නැති වෙලා තිබුනු නිසා, ආපහු බිංදුවෙ ඉඳන් පටන්ගන්න වෙලා. ඔවුන්ගෙ ජීවිත් නැවත ගොඩනඟන්න හමුදාවෙන් ඉටුකරන මෙහෙය ඉතාම ප්‍රශංසනීය බව නොකියා බැහැ. හැබයි මොන දේ නැති වුනත් ඔවුන්ගෙ හිතේ සාමකාමී ජීවිතයක් ගතකරන්න තියෙන බලාපොරොත්තුව නම් නැති වෙලා ගිහින් තිබුනෙ නෑ.

වෙනදට කාර්යාලයෙ මේසෙට පුටුවට හිරවෙලා උන්නු අපි හැමෝම, මේ අසරණ වුනු අපේම සහෝදර සහෝදරියන්ට පිහිට වෙන්න ලැබීම ගැන ඉතාම සන්තෝශයට පත්වුනා. බරවැඩට හුරු නැති අතපය කැපුන, සීරුනා, අත්වල දියපට්ට ආවා වුනත්, කිසිම කෙනෙක් ඒ ගැන පැමිනිලි කලේ නැහැ. කවුරුත් තමන්ට පුළුවන් විදිහට ශ්‍රමදානෙට සහභාගී වුනා. ව්‍යාපෘතිය යටතෙ ගෙවල් පනහකට වැඩි ගණනක් හදන්න නියම වෙලා තිබුනා. ඒවායින් 80%කටත් වඩා පුනරුත්ථාපනය කරපු කොටි සාමාජිකයින්ගෙ පවුල් වලට බෙදාදෙන්න නියම වෙලා තිබුනෙ. අපිට ලැබුනෙ වැසිකිළි වලවල් කපන්න, අත්තිවාරම් වේයන්ගෙන් ආරක්ශා කරගන්න රසායනික තවරන්න, බදාම/කොංක්‍රීට් අනන්න, බාසුන්නැහෙලට ගඩොල්, බදාම ගෙනිහින් දෙන්න වගේ වැඩ. ගෙදර එනකොට මුළු ඇඟම රිදෙනවා. අතපයේ කෑලි නැහැ. කරගැටත් ඇවිත්. නමුත් සහභාගි වෙච්ච හැමෝම ආවෙ ඉතාම සතුටින්. අසරනයින්ට පුලුවන් තරමින් පිහිට වෙන්න ලැබුනා කියන සන්තෝසෙන්.

එයාලට එක සිංහල වචනයක් වත් බෑ. අපි දෙමළ දන්නෙ නෑ. නමුත් කොහොම කොහොම හරි දන්න දෙමළ වචන කීපයක් කියලා, අතින් පයින් කතාකරලා තමා වැඩ කරන්නෙ. වැඩවල කිසි අඩුපාඩුවක් නෑ.

අපි වැඩකරන අතරෙ අපට නොයෙක් සැළකිලි සංග්‍රහ. ඒ පළාතට ආවේණික පළතුරු, කුරුම්බා එහෙම හම්බවුනා. හප්පේ පළතුරු වල රස! පැපොල් ගෙඩියක් වුනත් පුදුම රසයි. වැස්ස අඩු නිසා වෙන්න ඇති.

මේ ගිය හැම ගමනකදිම මතකයා මේ දුප්පත් අසරණ මිනිස්සුන්ගෙන් පාඩම් ඉගෙන ගත්තා. ඒ එක පාඩමක් තමා මේ මිනිස්සු තමන් කරන වැඩේට බොරුකරන අය නෙවෙයි. හොරට වැඩ කෙරිල්ලක් නෑ. වැඩක් කරන්න ගත්තොත් ඒක හරියට කරනවා. අනුන් කියනකම් ඉන්නෙ නෑ. තමන්ම ඉදිරිපත් වෙලා කරනවා. තවත් දෙයක් තමයි ඔවුන් කරන වැඩක ඇති නිමාව. වළක් කැපුවත් ඒක හරියටම චතුරශ්‍රයක්, අංශක අනූවෙ කෝණ. නිමාව (Finishing) කියන දේ හරියට ආගමක් වගේ භක්තියෙන් කරන්නෙ.  ගිය කවුරුත් පුදුම වෙලා බලන් හිටියා.

මතකයා වැඩියෙන්ම පුදුම වුනේ පුංචි පැටියෙක් නිසා. මතකයා ඇතුලු පිරිස වැඩකරන තැනට සංග්‍රහ විදිහට දිවුල් හම්බවුනා. ගැට වුනත් පුදුම රසක්. කට්ටිය දිවුල් කාලා එක දිවුල් ගෙඩියක් ලඟ තිබුනු පුටුවක් උඩ තියලා තිබුනා. පුංචි දරුවො පිරිසක් අපි වැඩ කරනව බලන්නත්, සෙල්ලම් කරන්නත් ඒ අවට ගැවසෙමින් හිටිය. ඒ අතරින් පුංචි පුතෙක් ඇවිත් අපේ නඩේ කෙනෙක්ට ඇඟිල්ලෙන් ඇනල පුටුව පෙන්න පෙන්න මොකද්ද කියනව. 'තන්නි?' පුටුව උඩ තිබුනු වතූර බෝතලේ අතට ගන්න ගමන් අපි ඇහුව. ඔළුව දෙපැත්තට වනල නෑ කියල, අර පුංචි බබා, දිවුල් ගෙඩිය දිහාට ඇඟිල්ල දික් කරනව. අපි එයාට ඒක දුන්න. මතකයා පුදුම වුනේ ඒ දරුවගෙ පුංචි වයසට තිබුනු ආචාරශීලී කමට. ඉල්ලගත්තා මිසක් ගත්තෙ නෑ. ඒ විතරක් නෙවෙයි තමන්ට හම්බවුනු දිවුල් ගෙඩිය අනිත් අය එක්ක බෙදාගෙන කනව මතකයා බලාගෙන. මතකයා තවත් අත්දැකීමක් මතක පොතට එකතු කරගත්ත, පාඩමක් විදිහටම.

මොනවද ඕනෙ කියල වැඩිහිටි පිරිමින්ගෙන් ඇහුවම ඔවුන් ඉල්ල්න්නේ ඊලම් වත්, රටෙන් කෑල්ලක් වත්, පොලිස් බලතල වත් නෙවෙයි. ඔවුන් ඉල්ලුවෙ ඔවුන්ගෙ වගාකටයුතු සඳහා වතුරත්, බීජ පැලත් පමණයි. 'අපට වගාකරගෙන කන්න පුළුවන්', ඔවුන් එහෙම කියන්නෙ දැඩි ආත්ම විශ්වාසයකින්. ඒ ආත්මවිශ්වාසය හෙට දිනයේ අපේ රට ඉසුරුමත් කරවන්නට ලාංකික අප කාටත් දිරියක් වේවි.
සිවු හෙළයටම සතරවරම් දෙවි පිහිටයි!

(පින්තූරය ලබාදුන් සුභාශ් සහෝදරයාට මතකයාගෙන් නොවක් තුති)