Saturday, March 24, 2012

පුලියා ගැන කතා 1: පුලියා ගගනගාමියෙක් වුනු හැටි

මේ කතා සෙට් එක මගේ විශ්වවිද්‍යාල මිත්‍රයෙක් වටා ගෙතුනු ඒවා. ( මෙතන තියෙන්නෙ කතා සෙට් එකෙන් පළවෙනි එක විතරයි, අනිත් ඒවා මඟ එනවා ). මේ බුවාට අපි කිව්වෙ 'පුලි', කියල. ඇත්ත නමෙන් 2/3ක්ම ඔතන තියෙනව. හැම මගුලකම ඉස්සරහට මුගේ නමේ මුල් අකුර 'පු' යන්න දාන්න මූ පුරුදු වෙලා හිටියා. සාමන්‍යයෙන් මම ඇත්ත නම බ්ලොග් එකේ ලියන්නෙ නැති වුනත්, පුලියගෙ කථා වලට ඉතා වැදගත් නිසා නම ලියන්නම වෙනවා.

පුලියා මට මුනගැහිච්ච නොම්මර එකේ මීටරයක්. අපේ රස්සාවෙ මීටර් ඕනතරම් මුනගැහෙනවා. ඒත් පුලියා වගේ වැරදි පැත්තට කැරකිලා හරි උත්තර දෙන මීටර් කීපයයි මට මුනගැහිලා තියෙන්නෙ මගෙ ජීවිතේටම. පුලියා විශේෂ වුනේ තිබිච්ච නිර්මාණශීලීත්වය නිසා වෙන්න ඇති. කල්පනා කර කර ඉඳලා මොකක් කිව්වත් මූ කියපු දෙවල් වල හොඳ තේරුමක් තිබුනා. දැන් අපේ පුලියා එංගලන්තෙ ආචර්ය උපාධියත් පාස් කරලා ඉවරයි. මූ ෂුවර් එකටම සුද්දො කීපදෙනෙකුට වත් පිස්සු වට්ටලා ඇති මේ වෙනකොට මොකක් හරි විකාර තියරියක් දාලා. මූ ඉගෙනගන්න එංහලන්තෙට ගිහින් ටික කාලෙකින් තමා එහෙ හරකුන්ට අර පිස්සු හැදෙන ලෙඩේත් ආවෙ.

පුලියා මම දන්න කාලෙ ඉඳලාම ඔය ලොකු ලොකු ආයතන වලට හරිම කැමතියි. මූ කැමතිම ආයතනයක් තමා ඇමරිකාවෙ 'නාසා' ආයතනෙ. ඔව් ඔව් ඔය රොකට් වල දාල කොල්ලො, කෙල්ලො, බල්ලො අභ්‍යවකාශෙට එහෙම යවන ආයතනෙ තමයි. මූගෙ හිතේ කාලෙක ඉඳල තිබ්බ ඔය ආයතනෙ වැඩකරන්න ආසාවක්. දවසක් මූ ඉඳන් කියනවා;

"මචං නාසා එක සිරා නේද? මම බැලුවෙ පුලුවන් නම් ඕකට සෙට් වෙන්න."
වෙන එකෙක් මෙහෙම කිව්වනම් මම පැයක් හිනාවෙනවා, හැබයි මූව නම් සත පහකට ෂුවර් නෑ. මූට හිතුනොත් කරන්න බැරිත් නෑ. ඒත් මං කිව්වා;
"අපරාදෙ බං උඹට රොකට් සයන්ස් කරන්න තිබ්බෙ".
ඒ පාර මූ ලොකු කල්පනාවකට වැටුන... "උන්ට මාව නාසා එකට ගන්න බෑ කිව්වොත් මම දාගන්නව නාසා එකක්".

මොකක්? මට නිකන් විකාරයි වගේ වුනා. කමක් නෑ මූ මොකක් හරි අටමගලයක් සෙට් කරගත්තොත් අපිට ඔය සුළු සේවක රස්සාවක් වත් දෙන්නෙ නැතෑ.

"හොඳයි, උඹේ ඔය නාසා එකෙන් මොනවද කරන්නෙ?".
"වෙන මොනව කරන්නද බං රොකට් අරිනවා මිසක්, මෝඩ ප්‍රශ්ණ අහන්න එපා"
හප්පේ පුලියට මල පැනගෙනයි එන්නේ.
"හරි හරි... එතකොට උඹේ ඔය නාසා එකට මොකද්ද දාන නම? ආයෙ නාසා කියල දාන්න බෑනෙ කොපි කරලා නෝන්ඩි වෙන්න."
"හ්ම්..." කියල පුලි කල්පනා කරන්න පටන් ගත්ත. බලා ඉන්දැද්දි මුගෙ ඔලුව රතුපාට වුනා. මීටරේ හෝ ගාල වැඩ. නිකන් හීට් සින්ක් එකක් නැති ඒම්ඩී ප්‍රොසෙසරේ වගේ රතු වෙලා ගියා.

කොහොම හරි එදා දවසට ඔය කතාව එතනින් ඉවර වුනා. පුලියව ඊලඟ දවසෙ මුනගැහුනම මූ ඉහේ මලක් පිපුනා වගෙ ඉන්නව.

"මචං මම නමක් හොයාගත්තනෙ",

"කාටද?"

"මගෙ නාසා එකට"

කලින් කතාව මට මතක් උනේ එතකොට, "මොකද්ද නම?".

"දැන් මේකනේ, නමක් දානකොට, ඔය වගේ ආයතනයක් පිහිටවපු කෙනාගෙ නමත් සම්බන්ධ වෙන්න එපැයි".

"ඔව්, උඹේ නම දාන්න ලැජ්ජයි වගෙ නම් මගේ නම දාපන්". කොහොම හරි තමන්ගෙ නම යනවනම් කවුද අකමැති.

පුලියා මා දිහා රවලා බැලුවා, "අපෝ කීයටවත් බෑ, දාන්න ඉස්සර වහන්න වෙයි උඹේ නම දැම්මොත්".

"හරි කියපන් උඹ දාන නම?"

"මෙහෙමනෙ, ආයතනෙන් කෙරෙන වැඩේ නාසා එකේ වැඩේ වගෙ නිසා නම ඒ වගෙ වෙන්නත් ඕනෙ, මගෙ නම යන්නත් ඕනෙ... ඒක නිසා මම දානව, පූසා කියල."

Thursday, March 15, 2012

නොබී ගිහින්... 1

කලින් වතාවක බීල ගිහින් වෙච්චි කථා ටිකක් ඇහුවනෙ, මේ කියන්න යන්නෙ නොබී ගිහින් වෙච්ච සිද්ධියක්;

කවුරුත් දන්නවනෙ කොළඹ කාර්යාලවල වැඩකරන බොහොම දෙනෙක් සිකුරාදාට 'සෙට්' වෙන විත්තිය සැර බීමක් හරි, බීර ටිකක් හරි බොන්න. මේ 'සෙට්' වීම ටික කලකින්ම පොලිසියටත් ඉව වැටුනා. ඉතින් රාළහමිලා කවදා නැතත් සිකුරාදට නම් කොළඹ තැන් තැන් වල 'සෙට්' වෙලා ඉන්න පුරුදු උනා මේ බීල වාහනෙන් ගෙදර යන ගොයියල ටික අල්ලගන්න. මේ වැඩෙන් උනේ කවදාවත් නොබොන එවුන්වත් පොලිසියෙන් නවත්තගෙන බිව්වද?, බීලා නැත්නම් රියදුරු බළපත්‍ර, ආදායම් බලපත්‍ර, රක්ෂණ සහතික පරීක්ෂා කරන්න පටන්ගත්තු එකයි. සිකුරාදට රෑ වෙලා ගෙදර ගියොත් අනිවාර්යයෙන්ම දෙපොලකදි වත් පොලීසියෙන් නවත්තනවා.

මේ කියන කාලෙ මම වැඩ කලේ එවකට ලංකාවෙ විශාලම ජංගම දුරකථන ජාලය පවත්වගෙන ගිය ආයතනයෙයි. අපේ කන්තෝරුව තිබුනෙ '... ප්ලේස්' එකේ. කන්තෝරුව ළඟම තිබුනා නයිට් ක්ලබ් එකකුත්. ඉතින් පොලීසිය හිතන්නේ මේ ඔක්කොම එන්නේ ක්ලබ් ගිහින් කියලයි. උදේ ඉඳන් වැඩ කරලා මහන්සියයි නිදිමතයි එක්ක ගෙදර යන්න පාරට බැස්සම තැන තැන නවත්තන එක පුදුම වදයක්. ඒත් ඉතින් මොනව කරන්නද, නීතිය පිළිපදින්නත් එපැයි.

අපේ රාජකාරියෙ හැටියට රෑ නිදිමරාගෙන වැඩ කරන්නම වෙනවා. ඔය අලුත් අලුත් පහසුකම් එහෙම දුරකතන ජාලයට එකතු කරන්නෙ මහ රෑ හරි පාන්දර හරි, මොකද අඩුම පාරිභෝගික පිරිසක් දුරකතන ජාලය පාවිච්චි කරන වෙලාව නිසා. එහෙම දවසක මම පාන්දර ගෙදර එන්න පිටත් උනා. ඔෆිස් එක ළඟම තියෙන වාහන ප්‍රදර්ශනාගරෙ ඉදිරිපිටදි පොලිසියෙන් නැවත්තුවා. වාහනේ වීදුරුව පාත්කරන්නවත් හම්බ උනේ නැහැ රාළහාමි කෙනෙක් වාහනේ ඇතුලටම ඔලුව දැම්මා.

"මහත්තයා කොහෙද යන්නෙ?". 


මේ පාන්දර වෙන කොහෙ යන්නද "ගෙදර යනවා රාළහමි".


දැන් රාළහමිට ඕනෙ මම බීලද කියල දැනගන්න. මට පේනවා රාළහමි කබරයා ඉව කරන්නා වගේ ඉව අල්ලනවා වාහනේ පුරාම. කොහොම හරි මම වැඩිපුර කතා කලොත් තමා රාළහමි ගෙ වැඩේ ලේසි වෙන්නෙ. දන්න හින්දම මම අඩුවෙන්ම කතාව.

"කොහෙ ඉඳලද එන්නෙ?"


"දැනුයි මේ ඔෆිස් එකෙන් එන්නෙ".


දැන් රාළහමිට තවත් සැකයි, "ඔෆිස් එක කොහෙද?".


"... එකේ වැඩකරන්නෙ"


"කොහෙ ... එ
කේ ද?"

"... ප්ලෙස් එකේ"


"
... ප්ලෙස් කියන්නෙ මේ මෙතන?"

"ඔව් ඔතන තමයි, මේ තියෙන්නෙ ඔෆිස් එ
කේ අයිඩෙන්ටිය"

දැන් රාළහමිට තේරුනා මේකා බීල නැහැ කියල. එත් නවත්ත්පු එකේ මොකක් හරි වරදක් හොයගන්න වගෙ, ඒ පාර
රියදුරු බළපත්‍ර, ආදායම් බලපත්‍ර, රක්ෂණ සහතික පරික්ෂා කරලා අල්ලගන්න වරදක් නැති නිසා කියපි;

"හා කමක් නෑ ... එකේ අපේ එක්කෙනෙක් නෙ, මහත්තය යන්න".
මාව ෆුල් හොල්මන් ඒ කතාවට. කවද ඉඳන්ද පොලිසිය මොබයිල් ෆෝන් කොම්පැනිය පවරගත්තෙ. අනික මම පොලිසියෙ නම් මොන වෙඩින් එකකටද මෙච්චර වෙලා රස්තියාදුව.

අපි කරන රස්සාවෙ වගකීම් කීපයක් මොබයිල් ෆෝන් කොම්පැනිය පවරගත්තු අයටත් තේරෙන්න එපැයි. මම වාහනේට නඟින ගමන් රාළහමිට කිව්වා "මම ... සර්විස් එකට අද අප්ඩේට් එකක් දැම්මා, මම හෙට නිවාඩු නිසා රාළහමි ඩ්යුටි ඉවරවෙලා ගෙදර යනගමන් සර්විස් ලොග් එකත් චෙක් කරලා යන්න කියල". ඇයි ඉතින් මේ ඉන්නෙ පරීක්ෂනයට දක්ෂ "අපේ පොරක් නෙ". 

රාළහමි නිකන් ලොකු මඤ්ඤං වන්නමක් ඇහුනා වගේ ඇස් දෙකත් දොට්ට දාගෙන බලා ඉන්නවා, ෂුවර් නැතුව මම කිව්වෙ මොකද්ද කියලා. කොහොම උනත් මම ඉක්මනටම වාහෙනේට රිංගගෙන එතනින් මාරු උනා පොර තේරුම අහන්න කලින්.

Sunday, March 11, 2012

ශ්‍රී ලාංකික දමිළ ජනතාවට හීනමානය ඇතිකරවීම

මතක පොතට මේ සටහන එකතු කරන්න හිතුවෙ ළඟදි බලපු දමිළ බයිස්කෝප් එකක තිබුනු දෙබස් ඛන්ඩ කීපයක් නිසයි. බයිස්කෝප්  එකේ නම '7 ඖම් අරිවු'.

මේ චිත්‍රපටයෙ කතාව ගෙතෙන්නෙ චීනෙට කුංෆු සටන් කලාවත් වෙදකමත් 6වන සියවසේ ඉන්දියාවෙන් අරගෙන ගිය බෝධි ධර්මන් නමැති දමිළ බෞද්ධයා සතු වූ හැකියාවන් මතයි. ගතානුගතික දමිළ සිනමා රාමුවෙන් මිදුනු චිත්‍රපටයක්. නිර්මාණයක් වශයෙන් සාර්ථක වෙන්න තිබුනා. නමුත් බෝධි ධර්මන් තුළ තිබූ උතුම් ධර්මයන්ට චිත්‍රපටය තුළ ලැබුනු තැන මදි කියන එකයි මගේ හැඟීම. කොහොම වුනත් මේ සටහන ඒ ගුණ අගුණ ගැණ නොවෙයි.

මේ චිත්‍රපටයෙ රූපරාමු පෙළක් දිගහැරෙනවා කථාවෙ වීරයාට දුශ්ඨයා විසින් දිගින් දිගටම පහර දෙනවා. නිකන් නෙවෙයි, වටපිට ඉන්න මිනිස්සුන්වත් මෝහනය කරලා ඔවුන් ලවාත් පහර දෙනවා. කථාවෙ වීරයාට (අරවින්ද්) පෙම්වතියත් එක්ක පසු බැහැලා පැනලා යන්න සිදුවෙනවා. ඊලඟ රූපරාමුවෙ අරවින්ද් කේන්තියෙන් මානසික අසහනයෙන් ඉන්නවා. මෙන්න මෙහෙමයි ඩයලොග් එක යන්නෙ;
"Back then in Tamil Naadu if a male child was born dead, they'd make a mark on his chest before burying him. You are told never to show your back and flee at war. And today was it really brave that we ran to save our lives? They hit us in Malayasia, in Sri Lanka and now, they've come to Tamil Nadu to strike us. we can only run from them." 

මේ ඩයලොග් එකේ කියන විදිහට දමිළ මිනිස්සුන්ට ලංකාවෙන් ගහලා මුහුදට දැම්මා කියල හිතේවි විස්තර නොදන්න කෙනෙකුට. මැලේසියාවෙ, තමිල් නාඩුවෙ මොනවා වුනාද කියන්න මම හරියටම දන්නෙ නෑ. නමුත් ලංකාවෙ වෙච්ච දේ නම් මම දන්නව. කිසිම දමිළ සිවිල් වැසියෙකුට ලංකාවෙ ඕනම තැනක යන්න එන්න, ඉන්න කිසිම තහනමක් එදත් තිබුනෙ නෑ, අදත් ඇත්තෙ නෑ, හෙටත් එහෙමම තමයි. කොටි ත්‍රස්තවාදීන් නම් සිංහල, මුස්ලිම් විතරක් නෙවෙයි දමිළ මිනිස්සුන්ටත් ගැහුවා. මේ කතාවෙ තිර රචකයා ඔක්කොම පටලවාගෙන බවයි පේන්නෙ. ලංකාවෙ ඉන්න අපේ දමිළ සහෝදරයින්ට මේවගේ සියුම් විදිහට හීනමානයක් ඇති කරවන්නෙ කාලකන්නි ත්‍රස්තවාදි යුද්ධෙන් ඔවුන් විඳපු දුක් මදි කියලා තිර රචකයා හිතන හින්දද දන්නෙ නෑ. එයා මොනව හිතුවත් මොනවා මේ චිත්‍රපට වලට ඇතුළත් කළත් මම බලාපොරොත්තු වෙනවා ලාංකික දමිළ සහොදරයින් මේවට නොරැවටේවි කියල. 

ලංකාවෙ සිදුවෙච්ච යුද්ධෙන් පරාද වුනේ ත්‍රස්තවාදයයි, එයින් ජයගත්තේ සිවිල් ජනතාවයි.

මම දෙමළ භාශාව දන්නෙ නෑ. මේක දෙමළෙන් ලියන්න තිබ්බ නම්...

We are not sure what the screenplay writer of this movie is trying to say, by including such dialogs in a Tamil movie. It seems that the screenplay writer wants to make Sri Lankan Tamils feel lesser in value, and tell everyone that Sri Lanka is at war with its Tamils. Which is a HUGE LIE. Sri Lanka was never at war with its Tamil people (or any civilian for that matter). The screenplay writer, directors and producers of films should get their facts straight. They have to be responsible in what they include in their creations. Such negativity will not help up-bring the morale of Tamils in Sri Lanka. Civilians won the war in Sri Lanka, only the terrorists were lost.

Thursday, March 8, 2012

බැටරි වයර්

මේ කතාව ඇහුවේ මම කලින් වැඩ කරපු ඔෆිස් එකේ මිතුරෙක් ගෙන්. මේ කතාවෙ කතානයකයා ඉතාම දක්ෂ ගිතාර් වාදකයෙක්. මෙයා තරුණ කාලෙ තවත් මිතුරන් කිහිප දෙනෙක් එක්ක සංගීත කණ්ඩායමක් හදාගෙන උත්සව වලට සංගීතය සැපයීම කලා. එහෙම ගිය වතාවක සිදුවෙච්චි සිද්ධියක් තමයි මේ කියන්න යන්නෙ.

සංගීතය සපයන්න කියල කොන්ත්‍රාත්තුව ලැබුනෙ මෙයාලගෙ මිත්‍රයෙකු මාර්ගයෙන්. එයත් සංගීත කණ්ඩායමක් කරන කෙනෙක්. එදා එයාලට වෙනත් උත්සවයකට සංගීතය සපයන්න තියෙන නිසා වැඩේ අපේ කතානයකයගෙ ක්ණ්ඩායමට පැවරුනා. මේ නිසා දැන් සංගීතය සපයන්න යන කට්ටිය තමන්ගෙ සේවාදායකයා ගැන මොකුත් දන්නෙ නැහැ. තැනක් වෙලාවක් ඇරෙන්න එන පිරිස ගැන විස්තර මොකුත්ම දන්නෙත් නැහැ. කොහොමෙන් කොහොමෙන් හරි කට්ටිය ගියා කියමුකො උත්සවය තියෙන තැනට...

හප්පා... මේක ග්‍රෑන්ඩ් වෙඩින් එකක්. විසාල වත්තක් මැද්දේ තිබුනු තඩි ගෙයක් හොඳට සරසලා වත්ත පුරාම තැන් තැන් වල පුටු මේස තියලා (හැම මේසෙම බයිට්, සැර බීම එහෙමත්) 1000 ක් විතර සෙනඟක් පිලිගන්න ලැහැස්ති කරල තියෙනවා. ඒ මදිවට සංගීත කණ්ඩායමට ඉන්න, නියම ස්ටේජ් එකකුත් ගහලා. සංගීත කණ්ඩායමට හරිම සතුටුයි. ඒ වගේම බයයි. මෙච්චර සෙනඟක්...

කොහොම හරි ගොඩ දාමු කියලා සංගීත කණ්ඩායමත් තමන්ගෙ සංගීත භාන්ඩ අටවගෙන ලැහැස්ති උනා. ටිකෙන් ටික රෑ වෙනකොට අමුත්තෝ එන්න පටන් ගත්තා.  මෙයාලගෙ සේවාදායකයා ලොකු බිස්නස් කාරයෙක් කියලා දන්නෙ දැනුයි. එක එක තරාතිරම්වල නොයෙක් නොයෙක් ජාතියෙ අමුත්තො ගොඩයි. ඒක නිසා මෙයාලත් සිංහල, ඉංග්‍රීසි, දෙමළ, හිංදි මෙකී නොකී දන්න දන්න සිංදු ඔක්කොම ගහනවා.

ඉතින් අමුත්තො එකා දෙන්නා ඇවිත් නටන්නත් පටන් ගත්තා. එක එක තාලේ නැටුම්. පොඩ්ඩක් වැඩි වෙච්ච, ඊටත් වැඩි වෙච්ච, හොඳටම වැඩි වෙච්ච කට්ටියත් එක්ක ලොකු ඩාන්ස් ගෘප් එකක්... ඔය අතරෙදි දැන් ඩාන්ස් කරන අයත් සිංදු ඉල්ලනවා. මල්ලි අර සිංදුව දෙන්න, මේ සිංදුව දෙන්න... රික්වෙස්ට් ගොඩයි.

ඔය අතරෙදි ඩාන්ස් කර කර හිටපු පොරක් කෑ හගලා කියනවා "මල්ලී... බැටරි වයර් ගහන්න" කියලා. සංගීත කාරයෝ ටික අන්දුන්කුන්දුන් වෙලා බලනවා, මොන බැටරි වයර්ද? බේස් ගිටාර් කාරයා කතානායක ගෙන් අහනවා;
"මොකද්ද බන් ඒ කිව්වෙ?"
 
"අපිට නෙවෙයි වෙන්න ඇති බන්"

 
දැන් සංගීත කාන්ඩායම තවත් සිංදුවක් පටන් ගත්තා. අර සිංදුව ඉල්ලපු පොර ස්ටේජ් එක ලඟටම ඇවිත් "ඊලඟට බැටරි වයර් ගහන්න" කියලා ආයෙත් ඩාන්ස් කරනවා. මිනිහා කියන දේ තේරෙන්නේ නැති අහිංසක සංගීත කණ්ඩායම දැන් බය වෙලා. ඒ 
පාර කතානායක බේස් ගිටාර් කාරයා ගෙන් අහනවා;
"උඹට තේරුනාද බන් මූ ඉල්ලන්නේ මොකද්ද කියලා?"

"නෑනෙ බන්, මොන ඉලව් බැටරියක් ද?"

සිංදුව  ඉල්ලන එකාත් හොඳට ඇඟපත තියෙන එකෙක්. කට්ටිය කාටවත් තෙරෙන්නෙ නෑ මේ රික්වෙස්ට් එක මොකද්ද කියලා. හැබයි මේක ඉක්මනින් ප්ලේ කලේ නැත්නම් ගමකට කන්න වෙන බව නම් ටික ටික පැහදිලි වේගෙනයි එන්නේ.

ඔන්න ඒ සිංදුවත් ඉවරයි. "බැටරි වයර්" ගහන්න දන්නෙ නැති සංගීත කාන්ඩායම තවත් සිංදුවක් පටන් ගත්තා. අර සිංදුව ඉල්ලපු පොර ඩාන්ස් එක නවත්තලා මරුමුස් බැල්මක් දාලා, ඇඟිල්ලත් දික් කරලා "මල්ලී... ඊලඟට බැටරි වයර් ගහපන් හරිද?" කියල කිව්ව. සංගීත කාරයෝ ටික බයටම ඔලුව වනලා සිංදුව ගහනවා. තව ටිකකින් බඩකට පුරා ගුටි ලැබෙන බව දන්න නිසා කට්ටිය හොඳටම බය වෙලා සිංදුව ඉල්ලපු පොර දිහා බල බල මිනිහ කිව්වදේ තෙරුම් ගන්න බලනවා. මේ මිනිහා නටන විදිහට කාන්ඩායමේ ටෙම්පෝ එකත් අවුට් යනවා. ප්‍රශ්න ගොඩයි. 

සිංදුව නවත්තලා වෙන එකක් පටන් ගත්තොත් ගුටි කන්න වෙන නිසා මිනිත්තු දෙකේ සින්දුව දැන් මිනිත්තු හතක් විතර ප්ලේ වෙනවා.එක සිංදුවක් දිගටම ප්ලේ කරන්නත් බෑනෙ. ඔන්න ඒ සිංදුවත් ඉවරයි. "වයර්" ඉල්ලපු පොරත් දැන් ස්ටේජ් එකේ ඉන්න සංගීත කාරයො ටික දිහා බලා ඉන්නවා "බැටරි වයර්" ගහනකන්. සංගීත කණ්ඩායම අසරණ වෙලා ඉන්නවා රික්වෙස්ට් එක තෙරුම්ගන්න බැරුව. ඊලඟ සිංදුව පරක්කු වෙනකොට හූවක් වදින්නත් ඉඩ තියෙන නිසා වැඩේ තවත් අවුල්. බැරිම තැන තවත් සිංදුවක් පටන් ගත්තා.

මේ පටන් ගත්තෙ තමන් ඉල්ලපු සිංදුව නෙවෙයි කියල දැනුන ගමන් "වයර්" ඉල්ලපු පොර ස්ටෙජ් එකට පැන්නා, "අඩෝ උඹ මගෙ සිංදුව ගහන්නෙ නැද්ද?" කියල අහගෙන. මිනිස්සු පණ බෙරගන්න නොකරන දෙයක් නෑනෙ. කතානයකත්, බයෙන් බයෙන් උනත් මිනිහව කූල් ඩවුන් කරගන්න ට්‍රයි කලා. "නෑ අයියෙ, අපි දැන් මේ පොඩි බ්‍රේක් එකක් ගන්නයි යන්නෙ", ඊලඟට පටන් ගන්නෙ ඔයාගෙ සිංදුවෙන්." කියලා ඕගන් ප්ලේ කරපු කෙනාට කිව්වලු "මල්ලි ඉන්ටලූඩ් මියුසික් එකක් දාන්න" කියල, "වයර්" ඉල්ලපු පොරවත් ෂේප් කරගෙන ගුටිත් නොකා බේරුනා. හැබැයි දැන් කොහොම හරි "බැටරි වයර්" සිංදුව හොයාගන්න ඕනා.

විවේකය වෙලාවෙදි බේස් ගිටාර් කාරයා "වයර්" ඉල්ලපු එකා එක්ක පොඩි ඩ්‍රින්ක් එකක් එහෙම දාන ගමන් හෙමීට අහගත්තලු මේ ඉල්ලන අරුම පුදුම සිංදුව. විවේකෙන් පස්සෙ බේස් ගිටාර් කාරයා හිනාවෙවී ඇවිත් ස්ලෝ බීට් එකක් ගහන්න කියලා එල්ටන් ජෝන්ගෙ 'සැක්‍රිෆයිස්' (sacrifice) සිංදුව පටන් ගත්තලු;
 
"It's no sacrifice (බැටරි වයර්)... just a simple word..."

ඔන්න ඔහොමයි කට්ටිය "බැටරි වයර්" ගහලා පණ බේරගත්තෙ.


පසුවදනක්:
වෙලා තියෙන්නේ මේකයි. අර සිංදුව ඉල්ලපු පොරට උවමනා වෙල තියෙන්නෙ 'Sacrifices' තමයි. නමුත් මිනිහා ඉංග්‍රීසි කතා කරන්නේ ඇහෙන විදිහට. උච්ඡාරණය වැරදියි. 'සැක්‍රිෆයිස්' වෙනුවට මිනිහ කියන්නේ 'බැටරි වයර්'. තව පොඩ්ඩෙන් සංගීත කාරයො ටික ගමකට ගුටි කනවා මේ පටලැවිල්ල නිසා.

Tuesday, March 6, 2012

සිංහල බෞද්ධ කාන්තාවන් සතු විමුක්තිය

March 8, International Women's Day
මාර්තු 8 වෙනිදට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙනුයි මේ සටහන ලියවෙන්නෙ. මේ සටහන වෙනදා වගේ හුදු විනෝදය සඳහාම නොවී, බුද්ධිමත් සංවාදයකට පෙරෙලෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

අද මගේ දිනපොතේ සටහනට පාදක වුනු කතාව සිද්ධවුනේ මම වැඩකරන ඔෆිස් එකේ අලුතෙන් පිරිස බඳවගන්න යන වතාවක ගැහැණු ළමයෙක් කියපු කතාවක්. මගේ සිතුවිලි වලට පාදක වුනු මේ ළමයා දුන් කමෙන්ටුව හරියටම මතක නැතත්, එහි අදහස වූයේ "ගැහැණුන්ට එතරම් තැනක් නෑනෙ" යන අර්ථයක්. මා දැනුවත්ව අප රැකියා ස්ථානයේ කිසිදු දිනක ගැහැණියක් වීම නිසාම කිසිවෙකුට අසාධාරණයක් කර නැත. මේ නිසාම මම කමෙන්ටුව කල ළමයාගෙන් වැඩිදුර විස්තර විමසා සිටියෙමි. ඇයගේ පිලිතුරෙන් ගම්‍යවූයේ ඇය කාන්තාවක් නිසාම තමා ගැන අවතක්සේරුවෙන් බලන බවකි. මේ ප්‍රවනතාවය තවත් කිහිප තැනක දැක ඇති බව මතක තිබූ නිසා මේ සටහන දිනපොතට එකතු කරන්න හිතුවෙ. 

දැනට ටික කලකට කලින් ලංකාවෙ ජනප්‍රිය මාතෘකාවක් වුනේ කාන්තා විමුක්ති සටනයි. කාන්තා විමුක්ති සංවිධාන කියල ජාතියක් හතු පිපෙන්නා වගෙ ඇති වුනා. දැන් ඒවා තියෙනවද මංදා? කොහොම වුනත් මේ සංවිධාන වලින් ඇති කරපු සංකල්ප නම් තාමත් ලාංකික කාන්තාවන්ගෙන් ඈත් වෙලා නැහැ. කාන්තා විමුක්තිය කියලා පටන්ගත්තු සංවිධාන බොහොමයක් කලේ කාන්තාවන්ට තමන් ගැන හීනමානයක් දීපු එක. කාන්තාවක් වීම නිසාම තමන් හෑල්ලුවට ලක්වෙන, අසාධාරනයට ලක්වෙන බව, තමයි බොහොමයක් මේ සංවිධාන වලින් උලුප්පල පෙන්නුවෙ. ඒ සංවිධාන පවුල් කීයක් කඩාකප්පල් කලාද කියලා කියන්න සංගණනයක් තියන්න වෙයි.

ලෝකෙ අනිත් රටවල තත්ත්වෙ මොකක් වුනත් මේ කතාව ලංකාවට ගැලපෙනවද කියන එක අපේ බුද්ධිමත් කාන්තාවන්ම කල්පනා කර බැලිය යුතුයි. 

ලාංකේය සමාජය

සමාජ විද්‍යාඤයින් කොහොම මේක පිලිගනීද දන්නෙ නෑ. නමුත් අපි සාධාරනව බැලුවොත් ලාංකේය ජන සමාජය එකට බැඳ තබන අපේ සමාජයේ අත්තිවාරම වගේ ඉන්නෙ හෙළ කුල කාන්තාවන්. සිංහල අපි අපේ පවුල් සංස්ථාව මත කොයිතරම් යැපෙනවද? ඉතින් ඒ පවුල කියන ඒකකය ගත්තොත් ඒකෙ මුර දේවතාවි වගේ ඉන්නෙ අම්මා නෙවේද? පවුලෙ සාමාජිකයො මොන තරාතිරම් වල, මොන බුද්ධිමට්ටම් වල හිටියත්, පවුල කියන ඒකකය එකට ගැටගහගෙන ඉදිරියට ගෙනියන්නෙ අපේ අම්මල නෙවෙයිද? පවුලක තත්තා කොච්චර පිස්සු කෙලියත් ඒ පවුලේ අම්මා ඉන්න තාක්කල් විනාස වෙන්න තෙයෙන ඉඩකඩ කොයිතරම් නම් ඈ අවුරනවද? එහෙව් එකේ අම්මා අපේ සමාජයේ අඩිතාලම දැම්මෙ නෑ කියන්න පුලුවන්ද? අපේ සමාජයෙ පුංචිම ඒකකය වන පවුල ගෙනියන්නෙ අම්මා නම් අපේ සමාජය මාතෘ මූලික එකක් නෙවෙයි ද? එහෙව් සමාජයක ඉන්න කාන්තාවක් කියන්නෙ ලෝකය දිහා නිහතමානී ආඩම්බරෙන් බැලිය යුතු පිරිසක් හැටියටයි මම දකින්නෙ.

ආර්ථිකයට  සිදුකරන දායකත්වය

අනෙක් අතට බැලුවොතින් කාන්තාවන් අපේ ආර්ථිකයට වන දායකත්වය ඉතාම විශාලයි. ආර්ථිකයට දායක වෙන්නෙ රැකියා කරන කාන්තාවන් විතරක් නෙවෙයි. 'අනේ අපි රස්සාවක් කරන්නෙ නෑ නෙ' කියල ලාංකික කාන්තාවන් දුක් වෙන්න ඕනෙ නැහැ. ඔබ ගෘහණියක් නම්, අම්මා කෙනෙක් නම්, නැත්නම් ගෙදර නංගිලා මල්ලිලා බලාකියාගෙන ගෙදර වැඩපල කරගෙන ඉන්න දුවක් නම්, ඔබ රටට කරන සේවය අති මහත්. ඔබේ සේවය ජාතික ගිණුම් වලට ඇතුලත් නොවන බව සැබෑව. නමුත් ඔබ දන්නවාද ඔබේ සේවය ඇතුලත් කලානම් අපේ රටේ දළ ජාතික නිශ්පාදිතය දෙගුනයක් විතර වෙන්න ඉඩ තිබුනා. අද ලෝකයේ ඉන්න නොම්මර එකේ ආර්ථික විද්‍යාඤයින් පවා පිලිගන්නවා ගෘහණියන්ගේ දායකත්වය ඇතුලත් නොකරන ජාතික ගිණුම් ක්‍රමය වැරදි බව. නමුත් අභාග්‍යකට වගේ ඔබේ අතින් ඉටුවන සේවය මුදලින් තක්සේරු කරන්න බැරි නිසා, ජාතික ගිණුම් වලින් ගිලිහී යනවා. 

නමුත් රැකියා කරන සියලු ලාංකිකයින් තෙරුම් ගතයුතු දෙය නම් ඔබ රැකියාවට යන්නේ ගෙදර බලා කියාගෙන, දරුමල්ලන්ට උගන්නගෙන, අරපිරිමැස්මෙන්, ආදරයෙන් ඔබව බලාගන්නා කාන්තාවක් ගෙදර ඉන්න නිසයි. ඇය නිහඬව කරන ඒ සෙවය අප සියලු දෙනාම අගය කල යුතු නොවේද?

විමුක්තිය ලෙස හුවාදක්වන මායාව

ඔය කාන්තා විමුක්තිය කියලා දඟලපු අය කරපු එක දෙයක් තමා කාන්තාවන්ට පිරිමි කරන ඕනැම දෙයක් කරන්න පුලුවන් කියලා, ලංකාවේ කාන්තාවන් ගතානුගතිකව පිරිමි කල රැකියා වල නියුක්ත කරන්න දඟලපු එක. පිරිමි කරන රැකියා කාන්තාවන්ට කරන්න බැරි වෙන්න කිසිම හේතුවක් නෑ. උවමනා නම් කරන්න පුලුවන්. අතීතයේ අපේ වීර හෙළ කාන්තාවන් යුද්ධවලට පවා සහභාගී වූ කතා එමටයි. අනෙක් අතට ගත්තත් අපේ ජන සමාජයේ කාන්තාවක් කිසියම් රැකියාවකින් ඈත්කර තබන නීතිරීති නැහැ. කාන්තාවන් තේරුම්ගත යුතු දේ නම් ගතානුගතිකව 'පිරිමි වැඩ' ලෙස වෙන් වුනේ කාය ශක්තිය වැඩියෙන් අවශ්‍යවන රැකියාවන්. නැතුව ඒ රැකියා කාන්තාවන්ට කරන්න බැරි නිසා නොවෙයි. වරදවා තෙරුම් නොගනීවි කියලා බලාපොරොත්තු වෙනවා 'කාය ශක්තිය' කියන වචනය. ඉන් අදහස් කරන්නෙ නෑ කාන්තාවන් කාය ශක්තිය අතින් දුබලයි කියලා. නමුත් කිසිම පිරිමියෙක් කැමති නැහැ කාන්තාවක් රළු/බර වැඩක නිරත වෙනවා දකින්න. මොකද හැම කාන්තාවක් තුලම ඔවුන් තමන්ගෙ මවගෙ ප්‍රතිරූපය දකින නිසා. අදටත් ගිනි අව්වෙ පාරෙ තාර දාන තැන්වල වැඩකරන අම්මලා දැක්කම ඉතා විශාල කනගාටුවක් ඇති වෙන්නෙ. ඒ දර්ශනය තරම් අසරණ කමක් ඇතිකරන වෙනත් දසුනක් නැති තරම්.

බෞද්ධ ලාංකික කාන්තාවන්ට ආගමික වශයෙනුත් විශාල නිදහසක් බුක්ති විඳින්න පුලුවන්. ආගමික වශයෙන් කිසිම තහන්චියක් නැහැනෙ. නමුත් සංස්කෘතිය, සභ්‍යත්වය වගේ වචන වලින් කාන්තාවන්ට තමන්ව තැලෙනවා කියල හිතෙන්න පුලුවන්. මොකද, ඔය වචන කටේ ගා ගත්තු ස්මහරක් දෙනා ඒවා බලාපොරොත්තු වෙන්නෙ කාන්තාවන්ගෙන් පමණක් නිසා. ( හැමෝම එහෙම නෑ ). නමුත් අපි එකක් අවිවාදයෙන් පිළිගන්න ඕන. ඒ තමයි අපේ සංස්කෘතියක්, සභ්‍යත්වයක් ඉතුරු වෙලා තියෙනවා නම් ඒකෙ ගෞරවය ලැබෙන්නෙ කාන්තාවන්ට කියන එක.

කාන්තාවන්ට සමහර විමුක්තිකාමීන් කියාගන්නා ඊනියා මතධාරීන් කියන්නා වගේ පිරිමින් මෙන් 'සම තැන' නොව, උසස් ලෙස සලකා 'නිසි තැන' ලැබිය යුතුයි. ලෝකෙ අනිත් රටවල් කොහොම උනත් ලාංකිකයින් තේරුම්ගත යුතුයි ලාංකේය කාන්තාව රටට සම්පතක් බව. මෙහෙම බැලුවහම ලාංකේය කාන්තාව කියන්නෙ ලෝකය දිහා නිහතමානී ආඩම්බරෙන් බැලිය යුතු උතුම් පිරිසක්.

තවත් ලියන්න කරුනු තිබුනත් වෙලාව මට හරස් වෙලා නිසා මහචාර්ය අබ්දුල් කලාම් කියූ දෙයකින් මේ පොස්ටුව නිමා කරනවා: "ඔබ පුංචි වන්නේ ඔබ, ඔබගැනම හිතා ඉන්න ප්‍රමානයටමයි. ඔබ කොතරම් හැකියාවන් ඇති කෙනෙක් වුනත් වැඩක් නෑ ඔබ, ඔබ ගැනම අවතක්සෙරුවෙන් ඉන්නවා නම්". ලාංකීය කාන්තාවන් මේ ගැනත් හිතයි කියලා මම බලාපොරොත්තු වෙනවා.


සිව් හෙළයටම හෙළ මව් වරුන්ගේ පිහිටයි!

Thursday, March 1, 2012

බීලා ගිහින්

කට්ටිය මධුවිත එහෙම පදමට සප්පායම් වෙලා වාහන එලවනවනේ, ඕං ඒක නම් හොඳ පුරුද්දක් නෙවෙයි. මේකත් ඔයවගේම බීල වාහන එලවන්න ගිය හාදයෙකුට ලැබිච්ච අත්දැකීමක්.

සිකුරාදා දවසක සාදයක් ඉවර වෙලා අපේ කතානායකයා වාහනය එලවගෙන ගෙදර යනවා. පොඩ්ඩක් විතර මධුවිත එහෙම සප්පායම් වෙලත් හිටපු නිසා පොලීසිය මඟ ඉඳීදෝ කියල සැකයෙන් වාහනේ එලවගෙන යනකොට මෙයාගෙ කරුමෙටම පොලිසියෙන් නැවත්තුවා. බීල කියලත් සුවඳින්ම මාට්ටු. පිංසෙන්ඩු වුනත්, මොන මොන උපාය දැම්මත් වැඩක් උනේ නෑ. රාහාමි මෙයාව එක්කගෙන ගියා පොලිස් ස්ථානෙට.


බීලද කියලා හරියටම දැනගන්න පොලිසියෙන්  Breathalyzer Test එකක් කරනවා. ලංකාවෙ පොලිසිය සුලභව භාවිතා කරන්නෙ මේ සඳහාම නිපදවපු බැලුන් විශේෂයක්. සැකකරුට මේ බැලුමක් පුම්බන්න දෙනවා, ප්‍රශ්වාස වාතයේ තියෙන ඇල්කොහොල් ප්‍රමාණය වැඩිනම් බැලුමේ පාට වෙනස් වෙනවා. ඒ අනුව සැකකරුට විරුද්ධව සාක්ශි ගොඩනැඟෙනවා. මේ ටෙස්ට් එක කරන්නෙ පොලිස් ස්ථානෙකදි විතරයි. පොලිස් රළහමිලාට ඔය බැලුන් උස්සගෙන එහෙ මෙහෙ රාජකාරි කරන්න යන්න බැහැනෙ. ඉතින් අපේ කතානායකවත් පොලිසියට ගෙනැල්ල තියෙන්නෙ මේ පරීක්ෂණය කරන්න.

පොලිස් ස්ථානෙ බීල රිය පදවල අහුවෙච්ච පිරිස ගොඩක් ගෙනැත් ඉඳල තියෙනව. එක එකා නොයෙක් නොයෙක් දහංගැට, වංගු, ජල්තර දානවා ශේප් වෙලා මාරු වෙන්න. අපේ කතානායකයත් හොල්මන් වෙලා බලා ඉන්නවා මොනවද මේ වෙන්නෙ කියල. දැන් බීල කියලා සැක කරන කට්ටියට පොලිසියෙන් බැලුම් පුම්බන්න දෙනවා. බීපු කට්ටිය බැලුම පුම්බන්නෙ නැතුව ඉන්න ෆුල් ගේමක් දෙනවා. ඇයි, බැලුම පිම්බුව ගමන් බිව්වා කියලා සාක්ශි ඇතුව ණඩු දාන නිසා.

ඔන්න බීපු එක්කෙනෙක් ඉන්නවා, බීපු ප්‍රමානෙට වැඩිය ඩෝප් කියල පෙන්නන. රාළහමිලා මෙයාට බැලුම පුම්බන්න දුන්නත් මෙයාට කොච්චර ඩෝප්ද කියනවා නම් මෙයාට බැලුමට හුලන් පිඹින්න වත් බැහැ. හිටගෙන ඉන්නත් බැරි තරම් ඩෝප් නිසා මේ මනුස්සයාව පුටුවක වාඩි කරවලා බැලුම අතට දෙනවා, ඒත් මොන බැලුම්ද? මිනිහගෙ කණ සාක්කුවෙ, ඔලුව උස්සන්නවත් බැහැ. වැඩේ හරියන්නෙ නැති නිසා රාළහමිලා බැලුම අරන් කටෙත් එබුවා. ඒත් වැඩක් නෑ. බැලුම මිනිහගෙ කටෙන් බිමට වැටෙනවා. "ඔන්න ඔහෙ ඩෝප් අඩුවෙනකන් ඉන්න දෙමු", කියල රාළහමිලා ඊලඟ සැකකරු ලඟට ගියා. රාළහමිලා එහෙට මෙහෙට උනා විතරයි අර ඩෝප් කරයා දඩි බිඩි ගාල නැඟිටල මුල්ලකට ගිහින් මොබයිල් ෆෝන් එකෙන් කාටදෝ කතා කරනවා. නියම ඩෝප් රඟපෑම.

තව බීපු එක්කෙනෙක්ව අල්ලගෙන ඇවිත් තියෙන රාළහමි බීලාද කියලා සැකකරුට සැකයි. ඉතින් මිනිහට බැලුම පුම්බන්න දුන්නම මිනිහ කියනවලු "හරි රාළහමි එකක් පිම්බුවොත් මාත් එකක් පුම්බනවා", කියලා. රාළහමිත් ඉතින් වදෙන් පොරෙන් කොහොම හරි සාක්ශි එකතුකරගන්න වලිකනවා.

මේ අස්සෙ තවත් එකෙක්ට බැලුමක් පුම්බන්න දුන්නම මේකා රාළහමිගෙන් අහනවලු; "ඇයි රාළහමි බැලුම් මොකටද, පොලිසියෙ උත්සවයක් වත් තියෙනවද?" කියල. මිනිහ ෆුල් ගේම දෙනවලු නයිට්‍රජන් පුරවපු බැලුම් මීටවඩා හොඳයි, ඒව ගෙනැත්දෙන්නම් කියල මාරු වෙන්න. ඔන්න ලංකාවෙ බීල වාහන එළවන ගොයියන්ගෙ වැඩ.

ඔයගොල්ල බීල වාහන එලවන්න එපා, මොකටද නිකන් පොලිසියට බැලුම් පුම්බන්නෙ?